හැකිනම් ඉදිරි තුන් මාසයේ ප්‍රබලම සිදුවීම් දහය දැන්ම රටට හෙළි කරන්න…..

සියලු ‍ජ්‍යොතිර්වේදීන්ට විවෘත අභියෝගයක්
ලබන ජනවාරි පළමු වෙනිදායින් ඇරඹී මාර්තු තිස් එක් වනදායින් අවසන් වන ඉදිරි මාස තුන අප රටේ දේශපාලනමය සහ සමාජමය වශයෙන් ඉතා වැදගත් සංසිද්ධීන් රැසක් සටහන් වන කාලපරිච්ජේදයක් බවට සැක නැත. “ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා කවුරුන්ද?” යන්න තීරණය වීමේ සිට ඒ හා සම්බන්ධ වැදගත්; ඇතැම් විට ඓතිහාසික විය හැකි සිදුවීම් දාමයක් ඉදිරි ජනවාරි මාර්තු තෙමස තුළ සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතී.
අනාගතයේ තත්ත්වය මෙසේ තිබිය දී ගත වූ සැප්තැම්බර් පළමු වනදා සිට නොවැම්බර් තිස් වෙනිදා දක්වා වූ තුන්මාසය ද නිහඬ නිසංසල ලෙසින් ගෙවී ගියේ නැත. ඒ එය අප රටේ දේශපාලන සහ සමාජමය වශයෙන් වැදගත් සංසිද්ධීන් රැසක් වාර්තා වූ කාලපරිච්ජේදයක් වූ බැවිනි. එමෙන්ම අද වන විට අප ජන සමාජයේ අතිශය ජනකාන්ත තත්ත්වයට පත් ජ්‍යොතිෂයට අනුව දැනට අප රටේ වෙසෙන සුපිරි තරු ගණයේ ‍ජ්‍යොතීර්වේදියකුට ගත වූ තෙමස තුළ සිදු වූ එම සුවිශේෂී සිද්ධීන් දහය පිළිබඳ මෙලෙස අනාවැකි පළ කළ හැකිවිය යුතු යැයි මට සිතෙයි.
අනාවැකිය: ප්‍රබල කම්කරු නායකයකුගේ අභාවය
සැප්තැම්බර් 01 සඳුදා
ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය කම්කරු නායකයකු වූ බාලා තම්‍පෝ මහතාගේ අභාවය.
අනාවැකිය: ඌව පළාත් සභා මැතිවරණයෙන් රජය ජාම බේරාගනී
සැප්තැම්බර් 20 සෙනසුරාදා
ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව මුළු ඡන්ද 3,49,906ක් හෙවත් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 51.25 ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඌව පළාත් සභාවේ බලය යළි එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වීම.
අනාවැකිය: විරුද්ධ පක්ෂයේ බරපතළ ආරෝවක් සංසිඳෙයි
සැප්තැම්බර් 23 අඟහරුවාදා
එක්සත් ජාතික පක්ෂය තුළ කලක් තිස්සේ පැවැති මත භේදයක් අවසන් කරමින් එහි නියෝජ්‍ය නායක පදවිය සජිත් ප්‍රේමදාස මහතාට හිමිකිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කිරීම.
අනාවැකිය: ප්‍රකට නාහිමිනමකගේ අපවත් වීමක්
ඔක්තෝබර් 04 සෙනසුරාදා
මෙරට වැඩ සිටි ධර්මධර විනයධර සංඝ පීතෘන් වහන්සේ නමක වන පූජ්‍ය බෙල්ලන ඤාණවිමල නාහිමියන්ගේ අපවත් වීම.
අනාවැකිය: ප්‍රබල දේශපාලනඥයකු හා සිසුහු ගැටෙති
ඔක්තෝබර් 05 ඉරිදා
සබරගමු විශ්වවිද්‍යාලයීය කාන්තා නේවාසිකාගාරයක් විවෘත කිරීමට ගිය උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතාට එරෙහිව දැවැන්ත සිසු උද්ඝෝෂණයක් පැන නැගීම.
අනාවැකිය: ප්‍රවාහනය අඩාල වේ මගීහු කොට උඩ
ඔක්තෝබර් 08 බදාදා
දුම්රිය ශේ්‍රණිගත වෘත්තීය සමිති එකමුතුව ඒකාබද්ධව දියත් කළ වැඩ වර්ජනය නිසා මෙරට දුම්රිය සේවය දින කිහිපයක් අඩාල වීම.
අනාවැකිය: රටම කම්පා කරවන ‍පොළොව හා සම්බන්ධ ස්වාභාවික විපතක්
ඔක්තෝබර් 29 බදාදා
වටිනා මිනිස් ජීවිත තිස් හතක් අහිමි කරමින් හල්දුම්මුල්ල, මීරියබැද්දේ දරුණු නාය යාමක් සිදුවීම.
අනාවැකිය: ආණ්ඩුවේ ‘දතක් හැ‍ලේ’ යතිවරයෙක් රජය හැරයයි.
නොවැම්බර් 17 සඳුදා
ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රජයේ තනතුරුවලින් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීම
අනාවැකිය: සන්ධානය ගොඩනැගූ ප්‍රබලයන් කිහිප දෙනෙක් රජය හැරයති
නොවැම්බර් 18 අඟහරුවාදා
අමාත්‍ය පාඨලී චම්පික රණවක, පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීම.
අනාවැකිය: ‍පොදු අපේක්ෂක ලෙස රජයේම බලකණුවක්. තවත් ප්‍රබලයන් කිහිප දෙනෙක් ඔහු හා එක් වෙති.
නොවැම්බර් 21 සිකුරාදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වී ඉදිරි ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂකයා වශයෙන් තරග වැදීමට ඉදිරිපත් වීම ඒ සමග අමාත්‍ය රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍ය වන එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජිව් විජේසිංහ මහතා ද ‍පොදු අපේක්ෂකයාට සහාය පිණිස රජයෙන් ඉවත් වීම.
නමුදු ඉහත සඳහන් වූයේ අප රටේ හෝ ලෝකයේ වෙනයම් රටක ‍ජ්‍යොතීර්වේදියකු ඉකුත් සැප්තැම්බර් – නොවැම්බර් තෙමස තුළ අප රටේ සිදුවන සුවිශේෂ සංසිද්ධීන් සම්බන්ධයෙන් පළ කළ පූර්ව අනාවැකි දාමයක් නොවේ. එය ඒ තෙමස තුළ අප රටේ සිදු වූ සුවිශේෂ සිදුවීම් විමසා බලා ඊට ගැළපෙන සේ පසුගිය දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා ම’විසින් සකසන ලද ‘ආදර්ශ අනාවැකි’ කිහිපයකි.
මගේ ඒකායන විශ්වාසය අනුව ‍ජ්‍යොතිර්වේදය යනු යථාර්ථයෙන් ඔබ්බට ගිය ඉපැරණි මතවාද සම්පිණ්ඩනයකි. එහෙත්, එම පැරණි ශාස්ත්‍රය ගොඩනැඟී ඇත්තේ යම් ෙසෙද්ධාන්තික පදනමක් මතය. මූලික වශයෙන් ‍ජ්‍යොතිෂය කොටස් දෙකකි. ඒ සායන (බටහිර) සහ නිරයන (පෙරදිග) වශයෙනි. ඒ දෙයාකාරයේ ‍ජ්‍යොතිර්වේදය තුළින් ප්‍රකාශ කළ හැකි දේ පිළිබඳ සීමා නිර්ණයන් ද තිබේ. එහෙත් කිසියම් විභාගයකදී අපේක්ෂකයා ලබන ලකුණු සංඛ්‍යාව, මැතිවරණයකදී එක් එක් පක්ෂයට අත්වන ආසන හෝ ඡන්ද අපේක්ෂකයාට හිමි ඡන්ද සංඛ්‍යාව හෝ ජාත්‍යන්තර තරගයකදී අපගේ ක්‍රිකට් කණ්ඩායම සහ එහි එක් එක් ක්‍රීඩකයන් ලබන ලකුණු සංඛ්‍යාව පිළිබඳ තුලනාත්මක නිශ්චයකට පැමිණීමේ කිසිදු ක්‍රමයක් සායන හෝ නිරයන ‍ජ්‍යෙතිෂ්‍යය තුළ නොමැති බව සහතිකවම ප්‍රකාශ කරමි.යමකු එවන් දේ සම්න්ධයෙන් අනාවැකි කියන්නේ නම් එක්කෝ ඔහු ලෝක හොරෙකි, නැත්නම් කපටියෙකි. එසේත් නැත්නම් පල් මෝඩයකු හෝ මානසික රෝගයකින් පෙළෙන්නෙකි. නමුදු අද ‍ජ්‍යොතිර්වේදීන් ලෙස පෙනී සිටින ඉහත තරාතිරම්වලට අයත් කිහිප දෙනකු රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ පවා විශ්වාසයත් ගෞරවාදරයත් දිනාගෙන හිඳීම බරපතළ සමාජ ඛිෙදවාචකයකි.
පෙරදිග හෙවත් නිරයන ‍ජ්‍යොතිෂය පුරාණ සෘෂි භාෂිතයන් බව සම්ප්‍රදායෙහි එයි. එහෙත් පැරණි සෘෂිවරුන්ටවත් කිව නොහැකි එවන් සිද්ධාන්ත විරෝධී අනාවැකි නූතන ‍ජ්‍යොතීර්වේදී ‘සුපිරි තරු’ විසින් මාධ්‍ය මගින් රටට ප්‍රකාශ කරනු අපට පෙනෙයි. ඇසෙයි. ඒ අනුව එවැන්නවුන් හැඳින්වීමට ඇති සුදුසුම ව්‍යවහාරය සෘෂිවරුන්ගේ බාප්පලා සහ මහප්පලා බව මගේ වැටහීමය.
ඒ අතර පසුගිය කාලයේ රූපවාහිනී වැඩසටහන්වලින් පෙනී සිටි සුපිරි තරු බවට පත් එවන් ජනකාන්ත ‍ජ්‍යොතිර්වේදීන් කිහිප දෙනකුගේ ‘කටමැත’ දෙඩීම් කිහිපයක් පිළිබඳ විද්‍යුත් සහ ලිඛිත සාක්ෂි වැඩිදුර විමර්ශනය සඳහා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ‍ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක තාරක වරාපිටිය මහතා විසින් මා වෙත පත් කොට තිබේ. ඒවායින් සමහරක් අන්තර්ජාලයේ ‘යූ ටියුබ්’ වබේ අඩවියේ ද තිබේ. ඒවා අතුරින් කිහිපයක් මෙසේය.
1. පසුගිය මාර්තු 08 දා ගුවනේදී අතුරුදන් වූ මැ‍ලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 දරන ගුවන් යානයට සිදුවන ඉරණම පිළිබඳ අනාවැකියක් තමන් කල් ඇතිවම පවසා ඇතැයි එක් ‍ජ්‍යොතිර්වේදියකු පවසා තිබේ.
මේ අතර එම යානය නිරුපද්‍රිතව කිසියම් ස්ථානයකට ගොඩබස්වා ඇතැයි එවැනි හාස්‍යජනක අනාවැකි පළ කිරීමේ උපන් හපන්කමක් ඇති ‘ආධ්‍යාත්මවේදියකු’ මාධ්‍යයට පවසා තිබේ.
2. 2013 ජුනි 07, 08 යන දිනවල ගාල්ල, කළුතර, කොළඹ සහ ගම්පහ යන ප්‍රදේශවලින් මුහුදු ධීවරයන් පනස්හත් දෙනකු මරුමුවට පත් කරමින් සහ අතුරුදන් කරමින් සිදු වූ කාලගුණික විපත පිළිබඳව තමන් කල් ඇතිව දැන සිටි බව ද එහෙත් ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීමට තමන්ට අවශ්‍ය නොවූ බවට ‍ජ්‍යොතිර්වේදියකු කියා තිබේ.
3. පසුගිය ඔක්තෝබර් 29 බදාදා දා මුළු රටම කම්පා කරමින් සිදු වූ මීරියබැද්දේ නාය යාම පිළිබඳ තමන් කලින් ප්‍රකාශ කර සිටියද සමාජයේ කිසිවකුත් ඒ පිළිබඳ තැකීමක් නොකළ බව ද ‍ජ්‍යොතිර්වේදියකු කියා තිබේ.
ඒ අනුව පුරාතන සෘෂිවරුන්ගේ මහප්පලා බාප්පලා නමින් හැඳින්විය හැකි ඉහත කී ජනමාධ්‍ය මගින් සුපිරි තරු බවට පත් කළ යුගයේ ජනකාන්ත ‍ජ්‍යොතිර්වේදීන් කිහිප දෙනා ඇතුළු රජ මැදුරේ සිට පච ගහ යට දක්වා වූ පරාසයන් තුළ හිඳ තම වෘත්තීය කටයුතුවල යෙදෙන විවිධ සමාජ තලවලට අයත් සකල විධ ‍ජ්‍යොතිර්වේදීන් හට විවෘත අභියෝගයක් කිරීමට මම කැමැත්තෙමි.
හැකි නම් මා ඉහත දක්වා ඇති ‘ආදර්ශ අනාවැකි පත්‍රය’ අනුව යමින් 2015 ජනවාරි 01 සිට මාර්තු 31 දා තෙක් අප රට තුළ සිදුවන ප්‍රබලතම සිදුවීම් දහය පිළිබඳව අදාළ දින හෝ ආසන්නම කාලවකවානු ද සමග ඉදිරි දෙසතිය තුළ අනාවැකි ප්‍රකාශයට පත් කරන්න. එසේ පළ කෙරෙන අනාවැකි ලබන දෙසැම්බර් 28 ‘ලක්බිම’ ඉරිදා සංග්‍රහයෙන් ඒවා බුද්ධිමත් පාඨක භවතුන් වෙත ඉදිරිපත් කිරීමට ‘ලක්බිම’ සූදානම්ව සිටී.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉහත සඳහන් සියලුම මාදිලිවල ‍ජ්‍යොතීර්වේදීන් දැනුවත් කිරීමෙන් ඔවුන් තුළ එවන් අනාවැකි කීමේ සැබෑ හැකියාවන් සමාජගත කරවීමට දායක වන්නට ඔබටත් පුළුවන. මෙම ලිපිය ලිවීම තුළින් මා අපේක්ෂා කරන සමාජ මෙහෙවර එමගින් හෝ බරපතළ සමාජ අසාධාරණයන්ට තුඩු දෙන මෙම ‘‍ජ්‍යොතිෂ ‍ප්‍රෝඩාව‘ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමය.
තිලක් සේනාසිංහ

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...