ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට අවාසි සහගත අන්දමින් වෙළෙඳ දැන්වීමක් විකාශය කිරීමේ සිද්ධියකට අදාළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය රූපවාහිනි නාළිකා හතරකට නොතීසි නිකුත් කළාය.
ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි, හිරු රූපවාහිනි, ස්වර්ණවාහිනි සහ දෙරණ රූපවාහිනි නියෝජනය කෙරෙන බලධාරින් මේ මස 23 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුවේ. එකී වෙළෙඳ දැන්වීම විකාශය කිරීම වළක්වාලමින් රීට් නියෝගයක් නිකුත් කරන ලෙස සිරිසේන මහතා කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්‍ෂේප කෙරිණි.
මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් ඇමැතිවරයකුව සිටින අවධියේදී ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක වත්මන් විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් කරන ලද කතාවක ඇතැම් කොටස් විකෘති කොට වෙළෙඳ දැන්වීමක් වශයෙන් ඉහත සඳහන් රූපවාහිනි නාළිකා මගින් විකාශය කොට ශ්‍රී ලාංකික ඡන්ද දායකයාගේ ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය සඳහා බලපෑම් කර ඇති බව සිරිසේන මහතාගේ පැමිණිල්ලෙහි සඳහන් වෙයි.
යම් අපේක්‍ෂකයකුට විශේෂ සැලකිල්ලක් දක්වා ප්‍රවර්ධනය වන අයුරින් හෝ වෙනත් අපේක්‍ෂකයන්ට අගතියක් වන අයුරින් ගුවන් කාලය නැතහොත් ප්‍රවෘත්ති පත්‍ර ඉඩකඩ වෙන්කිරීම නොකළ යුතුය. තරගයට එළැඹ සිටින අපේක්‍ෂකයකුගේ ජයග්‍රහණය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කරන ලද ප්‍රකාශ විකාශය නොකළ යුතුය.
ප්‍රසිද්ධ නොකළ යුතුය යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා පනවා ඇති උපමාන උල්ලංඝනය කර ඇති බවද පෙත්සමේ සඳහන් වෙයි. මේ වෙළෙඳ දැන්වීම විකාශය කිරීම තහනම් කෙරෙන නියෝගයක් හා අතුරු තහනම් නොතීසි විත්තිකරුවන් වෙත නිකුත් කරන ලෙස සිරිසේන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ නාළිකා වෙනුවෙන් පෙනී සිටි කුෂාන් ද අල්විස්, අලිසබ්රි සහ කුවේර ද සොයිසා යන ජනාධිපති නීතිඥවරු එම වෙළෙඳ දැන්වීම විකාශය අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහස සඳහා වූ මූලික අයිතිය අනුව කළ බව කියා සිටියහ. එය වැළැක්වීම මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් බවද පැවැසූහ.
නීතිඥ සඳුන් ගමගේ මහතාගේ උපදෙස් මත චරිත් ගල්හේන, චතුර ගල්හේන, නලින් අමරජීව, එස්. රාජපක්‍ෂ නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පැමිණිලිකාර සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටියේය.