මාර්තු 28 ඔබාමා සටනට 29 මහින්ද ඡන්දෙට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරයට ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවේ ඡන්ද විමසීම ලබන මාර්තු 28දා පැවැත්වේ. ඊට පසුදින එනම් ලබන මාර්තු 29දා බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය. තානාපති ආරංචි මාර්ගවලින් හෙළිදරව් වී ඇති ආකාරයට මේ යෝජනාව සම්මත වීම අනිවාර්යය.

එම පරාජය හමුවේ රටේ ආණ්ඩුවේ ස්ථාවරත්වය පෙන්වීම මෙලෙස මැතිවරණයට දින නියම කිරීමේ අරමුණ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.මීට දින දහයකට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා විදේශ ඇමැති ජී.ඇල්. පීරිස් මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ අදාළ යෝජනාව අනිවාර්යයෙන්ම මානව හිමිකම් කොමිසමේ මේ සැසිවාරයට ඉදිරිපත් කරන බවයි.

ලබන මාර්තු 08 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබූ පළාත් සභා මැතිවරණය කල් දැමීමට මේ දැනුම්දීම මූලික හේතුවක් වී තිබේ. එසේම මෙරටට පැමිණීමට නියමිතව සිටි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු භාර සහකාර ලේකම් නිශා දේශායි බිස්වාල් මහත්මියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට අවස්ථාවක් ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේද අදාළ නිල දැනුම්දීමෙන් පසුව බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.

මේ වනවිට ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර මෙලෙස සීතල යුද්ධයක් ආරම්භ වී ඇති අතර මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ඉදිරියේදී මැද පෙරදිග රටවල් සහ අප්‍රිකා රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තර කිරීමටද ආණ්ඩුව පියවර ගෙන තිබේ. මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව මඟින් ලංකාවට එරෙහිව අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කිරීමට හෝ ආර්ථික සම්බාධක දැමීමට ඉඩකඩ හදා ගැනීමේ උත්සාහයක් ඇති බවද තානාපති ආරංචි මාර්ග අනාවරණය කරයි.

Mawbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...