ඔලිම්පික් ක්‍රීඩකයන් පුහුණු කරන ශ්‍රී ලාංකිකයා

සිය දැනුම මවු බිමට ලබා දීමේ බලාපොරොත්තුවෙන් කුසල් මේ වසරේ මැද භාගයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතයි
ඔලිම්පික් සහ හිම ඔලිම්පික් ක්‍රීඩා තරඟ සදහා පුහුණු වන ක්‍රීඩකයින් විසි හතර දෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාවය භාරව කටයුතු කිරීම, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා ඖෂධ පිළිබඳ ප්‍රධාන භෞතික චිකිත්සක කුසල් කුමාර ගුණවර්ධනට පැවරී තිබෙන ප්‍රධානම කාර්යයයි.

තරඟ අතරතුර සිදුවන අබාධ වලින් ක්‍රීඩකයින් මුදවා ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය ඉහල මට්ටමකට ගෙන ඒම, ඔහුගේ ප්‍රධානම වගකීමයි.
මෙල්බර්න් නුවර ඇති තම චිකිත්සකාගාරය හරහා තවත් භෞතික චිකිත්සකයන් හය දෙනෙකුගේද සහය ඇතිව ඔලිම්පික් ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් හාරසිය දෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාව භාරව කටයුතු කරන බවත් ඔහු බීබීසී සංදේශයට කියා සිටියේය.

එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ද ඇතුළුව වැඩි වශයෙන් පකිස්ථානය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් ද ඊට අමතරව ඔහුගේ සේවය පතන්නන් අතර සිටී.

ස්වභාවික විධික්‍රම
ක්‍රීඩකයන්ගේ මාංශ පෙශීන්,අස්ථි, සන්ධි හා කශේරුවේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය සලකා ස්වාභාවික විධික්‍රම මගින් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙනවා බව පවසන ඔහු, කිසිවිටකත් ක්‍රීඩකයන්ට ඖෂධ ලබා දීමක් සිදුනොකරන බවද පැවසීය.

ශ්‍රී ලාංකික ක්‍රීකට් ක්‍රීඩකයින් ඇතුළු ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට පුහුණුව ලබා දී ඇති ඔහු තරඟ ජයග්‍රහණ වලදී භෞතික චිකිත්සකවරයෙකු වශයෙන් පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙකු වශයෙනුත් විශාල සතුටක් ලබන බවත් පවසයි.

වසර පහළවක් ක්ෂේත්‍රයේ නියැලීමෙන් එක්රැස් කරගත් දැනුම තම මවු බිමට ලබා දීමේ බලාපොරොත්තුවෙන් ඔහු මේ වසරේ මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ඒමට අදහස් කරගෙන සිටින බවද බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පැවසීය.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට ස්වභාවික විධික්‍රම ඔස්සේ ක්‍රීඩා කෞශල්‍ය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකියාව ලබා දීම ඔහුගේ අපේක්ෂාවයි.

‘ප්‍රායෝගික දැනුම මදි’
මීට වසර දෙකකට ඉහතදී පුහුණුකරුවන් උදෙසා ශ්‍රී ලංකාවේ පැවැත්වූ දේශනයකදී ලාංකික පුහුණු කරුවන් විෂය දැනුම අතින් ඉතා ඉහළ මට්ටමක සිටින බව පැහැදිලි වූ බව පවසන මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා ඖෂධ පිළිබඳ ප්‍රධානියා නමුත් ඒ විෂය දැණුම ප්‍රායෝගිකව ක්‍රීඩකයෙකුගේ කාර්යය සාධනය උසස් මට්ටමකට ලඟා කර ගැනීමට යොදාගන්නා ආකාරය තවත් වැඩි දියුණු කර ගත යුතු බවට තමාට හැගුනු බව පවසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා හා ඖෂධ සම්මේලනයේ ලැබුණු ආරාධනයකට අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට හා ක්‍රීඩා පුහුණුව ඔස්සේ තරග ජය ගැනීමට සහාය ලබාදෙන භෞතික චිකිත්සකයින්ට තම අත්දැකීම් තුළින් ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා දීමට ඔහු අදහස් කරයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...