විසි එක්වන සියවසේ ජීවත් වන අප වතුපිටි හරකා බාන අපේ දේපළක් ලෙස සලකන්නාක් සේම මීට ශතකයකට පෙර ජීවත් වූ සමහර මිනිස්සු තමන් වැනිම තවත් මිනිසුන් සිය දේපළ සේ සැලකූහ. සුදු හම ඇති අය විසින් කළු හම ඇති පුද්ගලයන් මෙසේ දේපළ ලෙස සලකා වහල් සේවයට යොදා ගැනීමේ කෲරත්වය බොහෝ කලා නිර්මාණයන්ට හේතු පාදක වී ඇත.
මෙවර ඇකඩමි (ඔස්කාර්), ගෝල්ඩන් ග්ලෝබ් සහ බැෆ්ටා සම්මාන උළෙලවල දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ මෙම තේමාව ඔස්සේ
ප්‍රේක්ෂකයා කම්පනයට පත් කරමින් නිර්මාණය වූ ‘12 ඉයර්ස් අ ස්‍ලේව්’ (වහලෙකු ලෙස වසර 12ක්) නම් ඇමෙරිකානු චිත්‍රපටයයි. වසර 86ක ඔස්කාර් සම්මාන ඉතිහාසය තුළ කළු ජාතික අධ්‍යක්ෂවරයෙකුගේ සිනමා නිර්මාණයකට ඇකඩමි උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණු පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වේ. චිත්‍රපටය මෙම ජයග්‍රහණය ලැබුවේ මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන හතක් දිනාගත් ග්‍රැවිටි චිත්‍රපටය සමග දැඩි තරගයක යෙදෙමිනි. ස්ටීව් මැක්වීන් නම් කළු ඇමෙරිකානු ජාතික
අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමා කෘතිය සැබෑ සිදුවීමක් අනුසාරයෙන් නිර්මාණය වූවකි. සොලමන් නෝර්තප් නම් කළු ඇමෙරිකානු ජාතිකයා වහලෙකු ලෙස ගෙවූ ජීවන අත්දැකීම් අළලා 1860 දශකයේදී ලියන ලද ‘ට්වෙල්ව් ඉයර්ස් අ ස්‍ලේව්’ කෘතිය සිනමා නිර්මාණයට පාදක වී තිබේ. චිත්‍රපටයේ තිරපිටපත ජෝන් රිඩ්ලිගේය. ඒ සඳහා ඔහුට හොඳම අනුවර්තිත (චඤචනබඥඤ) තිරපිටපත සඳහා වන ඔස්කාර් සම්මානය ද මෙවර හිමි විය.
1860 ගණන්වල ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර විසූ නිදහස් කළු ජාතිකයෙකු වූ නෝර්තප් පැහැරගෙන යනු ලැබ වසර 12ක් වැවිලි කර්මාන්තය ආශ්‍රිතව වහල් සේවයෙහි යොදවනු ලැබ තිබේ. ඔහුගේ කෘතියට පාදක වී ඇත්තේ එම ජීවන තොරතුරුයි. අධ්‍යක්ෂවරයා සහ තිර රචකයාට ඇමෙරිකාවේ පැවති වහල් සේවය පිළිබඳව සිනමා නිර්මාණයක් කිරීමේ ඕනෑකමක් බොහෝ කලක සිට තිබි ඇත. කෙසේ හෝ සිහිනය සැබෑ වී ඇත්තේ නෝර්තප්ගේ කෘතිය අධ්‍යක්ෂ මැක්වීන්ගේ බිරිඳ අතට පත්වීමත් සමගය.
‘12 ඉයර්ස් අ ස්‍ලේව්’ චිත්‍රපටයට සම්මාන පිට සම්මාන හිමි වීම අරුමයක් නොවන බව එය නරඹන ඕනෑම අයෙකුට පසක් වේ. සියලුම නළු නිළින්ගේ තාත්වික රංගනය වහල්බවේ කෲරත්වය අපට සැබෑ ලෙසින්ම දනවන්නේ විටෙක තිරය දෙස බලා සිටීම පවා වේදනාකාරී අත්දැකීමක් බවට පත් කරවමිනි. නෝර්තප්ගේ චරිතයට පණ පොවන නයිජීරියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පී චුවිටෙල් එජියෝෆෝ බැෆ්ටා සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් අතර, ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් යන සිනමා උළෙලවල දී ඊට නිර්දේශ විය. මෙම චරිතය සඳහා ඔහුට මේ වන විට සම්මාන කිහිපයක්ම ලැබි ඇති අතර, නිර්දේශිත සිනමා උළෙල ප්‍රමාණය ද 25ක් පමණ වේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් වැය කර තැනූ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඩොලර් මිලියන 140ක ආදායමක් ලැබිය. මෙය 2013 වසරේ එළිදැක්වූ හොඳම සිනමා පටය ලෙස නිව් යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, ඇසෝසියේටඩ් පේරස් ඇතුළු මාධ්‍ය ඔස්සේ බොහෝ විචාරක සම්මානයන්ට ද පාත්‍ර විය. සිය තෙවන අධ්‍යක්ෂණ ව්‍යායාමය පිළිබඳව සම්මානය ලබා ගන්නා අවස්ථාවේ අධ්‍යක්ෂ මැක්වීන් පැවසුවේ හුදෙක් මරණයෙන් බේරී සිටීමට පමණක් නොව සැබෑ ලෙසින්ම ජීවත් වීමට සියලු දෙනාට අයිතියක් ඇති බවයි.
චිත්‍රපටයේ ශ්‍රම සූරාකෑමට මෙන්ම ලිංගික සූරාකෑමට ලක් වන වහල් තරුණියකගේ චරිතයට පණ පෙවූ කෙන්යානු ජාතික ලුපිතා න්යොන්ග් හොඳම සහය නිළිය සඳහා වන ඔස්කාර් සම්මානය හිමි විය. තමන්ට මෙම ප්‍රීතිය හිමි වූයේ තවත් කෙනෙකු අත්විඳි මහත් වේදනාවට පින් සිදු වන්නට බව කිසිවිටෙකත් අමතක නොකරන බව ලුපිතා සම්මානය ලබා ගනිමින් හැඟුම්බරව පැවසුවාය. මෙම සිනමා නිර්මාණය හුදෙක් ඉතිහාස පාඩමක් නොව මිනිසුන් වශයෙන් අප සැවොම සමාන බව යළි යළිත් මතක් කර දෙන නිර්මාණයක් බව අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම නිතර සිහිපත් කරයි.
බෙනඩික්ට් කම්බර්බැච්, මයිකල් ෆාස්බෙන්ඩර්, පෝල් ගියාමටි ඇතුළු නළු නිළියෝ ‘12 ඉයර්ස් අ ස්‍ලේව්’හි සෙසු චරිත රඟපාති. ජනප්‍රිය හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් දායක වන අතර, චරිතකයට ද පණ පොවයි. ප්‍රධාන චරිතය වයලින වාදකයෙකු වීම හරහා චිත්‍රපටය පුරා සංගීතය ද අපූරුවට මුසු කරගෙන තිබේ. සිනමාපටයට පසුබිම් වූ අවධියේ පැවති ඇඳුම් මෝස්තර, භාෂා භාවිතය ආදිය පිළිබඳව විශේෂඥ සහයෙන් පූර්ව සමීක්ෂණ රැසක් සිදු කළ බව පැවසේ.
චිත්‍රපටයේ ඓතිහාසික කරුණු සමහර විචාරකයන්ගේ නිර්දය විවේචනයට ද ලක් වී තිබේ. කෙසේ වුවද චිත්‍රපටය සම්බන්ධයෙන් පළ වූ විචාරවලින් බොහොමයක් පැසසුම්ය. සිනමා පටයක් තුළ වහල්භාවය මෙතරම් නිවැරදි ලෙස පිළිබිඹු වනු තමන් මීට පෙර දැක නැති බව බ්‍රිතාන්‍යයේ රීඩින් සරසවියේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය එමිලි වෙස්ට් පවසා තිබුණි. ‘12 ඉයර්ස් අ ස්‍ලේව්’ ඇමෙරිකානු වහල්භාවය පිළිබඳව නිර්මාණය වූ හොඳම චිත්‍රපටය ලෙස ටෙලිග්‍රාෆ් පුවත්පතේ පළ වූ රොබි කොලින්ගේ ලිපියෙහි ද දැක්වේ. වහල්බව අත්විඳි පුද්ගලයෙකුගේම සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වීම, ‘12 ඉයර්ස් අ ස්‍ලේව්’ චිත්‍රපටය වහල්බව තේමා කොටගත් සෙසු චිත්‍රපටවලින් වෙනස් වන ප්‍රධාන හේතුව ලෙස නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ විචාරයක සඳහන් විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු කළු ජාතික ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළම කළු ජාතිකයන්ට ඉතිහාසයේ සිදු වූ අසාධාරණය පිළිබඳව සාකච්ඡා කරන සිනමා කෘතියක් සම්මානයට පාත්‍ර වීම පිළිබඳව ද තවත් විචාරකයෙකු සතුට පළ කර තිබුණි.
‘12 ඉයර්ස් අ ස්‍ලේව්’ චිත්‍රපටය පිළිබඳව විචාරයක යෙදෙමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළේ එය රූපය, අන්තර්ගතය, හැඟීම් සහ රංගනය යන සියලුම අංශවලින් ඉහළම තලයේ ඇති උත්කෘෂ්ට නිර්මාණයක් බවයි. ප්‍රබල හැඟීම් ඉදිරිපත් කිරීමේ සාර්ථකත්වය එහි විශේෂ පැසසුමට ලක් වී තිබුණි. ටයිම් සඟරාවේ රිචඩ් කොර්ලිස් ද මෙම චිත්‍රපටයෙහි අධ්‍යක්ෂවරයා පැසසුමට ලක් කර තිබුණේ හුදෙක් හැඟීම් අවුස්සන්නෙකු නොව නිර්දය කලාකරුවෙකු ලෙසය. නිර්මාණයේ ප්‍රබලත්වය මෙන්ම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ප්‍රබල දායකත්වය පිළිබඳව ද ඔහු ප්‍රශංසා කර තිබුණේ මෙය හුදෙක් විශිෂ්ට චිත්‍රපටයක් නොව අවශ්‍ය චිත්‍රපටයක් බව පවසමිනි.
චිත්‍රපටයට සම්මානය ලැබිමත් සමග සිදු වූ එක් සුවිශේෂී සිදුවීමක් වූයේ චිත්‍රපටය නිසා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මීට වසර 161කට පෙර සිය පුවත්පතෙහි පළ කරන ලද පුවතක නිවැරදි කිරීමක් පළ කිරීමයි. 1853 ජනවාරි 20 දා එම පුවත්පතෙහි සොලමන් නෝර්තප් පිළිබඳව පළ වූ ලිපියක ස්ථාන දෙකක ඔහුගේ නම ‘නෝතේරාප්’ සහ ‘නෝත්‍රප්’ ලෙස වැරදියට පළ වී ඇත. ඔස්කාර් සම්මානයත් සමග චිත්‍රපටයට ලැබුණු ජනප්‍රියත්වය සමග එම පැරණි ලිපිය ට්විටර් සමාජ වබේ අඩවියේ නැවත පළ වූ අවස්ථාවේ මෙම වරද අනාවරණය වී තිබේ.
ප්‍රණීතා අබේවික්‍රම