බිබිල කොටසර පියංගල රාජමහා විහාරයේ තිබී මීට දින හතළිස් පහකට පෙර සොරුන් ගෙන ගිය පෞරාණික වටිනාකමකින් යුත් මිල කළ නොහැකි රන් ආලේපිත ලෝහමය බුදුපිළිමයේ දකුණු අත කපා හසලක උඩවෙල බර වර්ධන ඔයේ අඩි හතක් ගැඹුර මඩ වළක සඟවා තිබියදී පසුගිය 29 දින සවස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලදී.
සොරකමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු හා කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, යතුරු පැදියක් සහ පිළිමයේ අත කැපීමට උපයෝගි කරගත් බවට සැකකරන ග්‍රයින්ඩරයක් පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සොරුන් ගෙන ගිය සමාධිගත බුදු පිළිමය බර කිලෝ එකසිය හයක් වන අතර උස අඩි දෙකයි අඟල් දෙකකි. පිළිමයේ දකුණු අතේ වැලමිට ප්‍රදේශයෙන් අඟල් හතරක කැබැල්ලක් කපා එම කැබැල්ලත් අඟලේ කැබලි හතරකට කපා එක් කොටසක් උණුකර තිබියදී පොලිසිය පසුව සොයාගෙන තිබේ.
බිබිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතාට කළුතර වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසේ පිළිමයෙන් කපා වෙන් කරගත් අතේ කොටස් හතර තිබෙන බවට ලැබුණු තොරතුරක් මත බිබිල පොලිසියේ උප පොලිස් පරීක්ෂක පියසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වාද්දුව ප්‍රදේශයේ පදිංචි එම සැකකරුගේ නිවසට ගියහ.
එහිදී නිවස පරීක්ෂා කළත් බුදු පිළිමයේ කොටස් හමුවී නැත. අත්අඩංගුවට ගෙන සිටි ප්‍රධාන සැකකරු ලබාදුන් තොරතුරක් මත නිවසේ තිබෙන ශීතකරණය පරීක්ෂා කර බැලීමේදී පිළිමයේ අතේ කොටස් තුනක් සොයාගෙන තිබේ. එහි සිටි නිවස හිමි සැකකරුට එම අවස්ථාවේදී ඇති වූ කම්පනයත් සමඟ හදවත් ආබාධයක් ඇතිවීම නිසා රෝහල්ගත කිරීමට පොලිසියට සිදුව තිබෙන අතර සැකකරුගේ බිරිය එම අවස්ථාවේදී තම සැමියා මිය ගිය බව කියමින් බොරුවට විලාප නැඟීම නිසා අසල්වාසීන් සිය ගණනක් එම නිවසට පැමිණියත් පොලිසිය සිද්ධිය කියූ පසු ඔවුන් පොලිසියට සහයදී තිබේ.
පසුගිය අගෝස්තු මාසයේ විහාරස්ථානයේ පැවැති පිංකමකට තොරණක් ඉදිකිරීම සඳහා හසලක ප්‍රදේශයෙන් පැමිණි කාර්මික නිලධාරියෙකු ඇතුළු ඔහුගේ මිත්‍රයින් පිරිසක් විහාරයේ වැඩ විසූ හිමිනමක සමඟ එක්වී පසුගිය ඔක්තෝබර් 11 දින රාත්‍රි විහාරයේ ආවාසගෙහි මැද මිදුලේ තැන්පත් කර තිබූ බුදු පිළිමය සොරාගෙන ගොස් තිබෙන බවට සැක පහළ වී තිබිණි.
බුදුපිළිමය සොරුගෙන ගිය දා සිට මේ වනතෙක් විහාරයේ වැඩ විසූ හිමිනමක් අතුරුදන් වී සිටින බව ද පොලිසිය පවසන අතර උන්වහන්සේ සහ පිළිමයේ අතේ කොටස් කැපූ බව කියන අන්‍යාගමික පූජකවරයකු සහ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බිබිල පොලිස් ස්ථානාධිපතිවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබිණි.
සොරකම සම්බන්ධයෙන් මාස එක හමාරක කාලයක් පරීක්ෂණය කළ මඩොල්සිම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතා සොරුන් හා පිළිමය සඟවා තිබෙන ස්ථානය පිළිබඳව සියලු තොරතුරු සොයාගෙන ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. එයට අමතරව සැකකරැවන් අතර දුරකථන සංවාද, සොරුන් පිළිමය ප්‍රවාහනය කළ වාහන සහ සැකකරුවන් පිළිබඳව රහසිගත තොරතුරු රැසක් බිබිල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සොයාගෙන තිබේ. එම තොරතුරු වලට අනුව පොලිසිය පිළිමය හා සොරුන් අත්අඩංගුවට ගත්තේය.
විහාරාධිපති බදුල්ලගම්මන ගුණරතන හිමියෝ නැතිවූ පිළිමය සොයාදෙන ලෙස ජනාධිපතිතුමාට හා පොලිස්පතිතුමාට ද දන්වා තිබෙන බව කීය. බරවර්ධන ඔයේ අඩි හතක් යට මඩ වළක තිබියදී බුදුපිළිමය සොයාගත් 29 දින සවස හසලක අවට බැතිමතුන් දහසකට අධික පිරිසක් පැමිණ මල්, පහන්, සුවඳදුන් පිරිනමා නමස්කාර කළහ. මේ වනවිට බිබිල පොලිසියේ මහජන ප්‍රදර්ශනයට පිළිමය තබා තිබේ.
අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරුවෙකු වෙන තිලක් නැමැත්තෙකු බිබිල පොලිසියේදී විහාරාධිපති බදුල්ලගම්මන ගුණරතන හිමි සහ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ මෙසේ පාපෝච්චාරණය කළේ ය.
“අපේ ගමේ කුමාරුකියලා මගේ මිත්‍රයෙක් ඉන්නවා. එයා තමයි මාව මේ සොරකමට සම්බන්ධ කරගත්තේ. සිද්ධිය වුණ දින රාත්‍රි 12 ට විතර අපි හතර දෙනෙක් පන්සලට ආවා. දෙන්නෙක් ලොරියේ ආවා. කුමාරු එක්ක මම යතුරු පැදියෙන් පන්සලට ආවා. අපිට ඇතුළට එන්න පොඩි හාමුදුරුවෝ පිටුපස දොර ඇරලයි තිබුණේ.
අපි දෙන්නා ඇතුළට ගිහින් පිළිමය පෙරළා පෙරළා එළියට ගෙනාවා එතැන සිට යතුරු පැදියේ තියාගෙන ලොරියට ගෙනත් එළිවෙන කොට හසලක උඩවෙලට ගෙන ගියා. පසුදින අන්‍යාගමික පූජකවරයෙක් ගෙනත් පිළිමයේ අතේ කෑල්ලක් කැපුවා. ඒ කැබලි හතර කුමාරු කළුතරට අරන් ගියා. 14 දින පොඩි හාමුදුරුවෝ උඩවෙලට ආවා.
කුමාරු මට කීවා හාමුදුරුවන් කොළඹට ගෙන්වාගෙන යන්න කියලා. අපි හාමුදුරුවන්ට ඇඳුම් ගෙනත් දුන්නාට පසු පොඩි හාමුදුරුවෝ සිවුර ගලවලා ගිනි තැබුවා. ඉන් පස්සේ මම කොළඹට ගෙන්වාගෙන ගිහින් මම හිටපු තැනක නතර කර ගත්තා. මධුශංක කියලා නමකුත් අපි තැබුවා.
පසුව කුමරු මට කතා කරලා කීවා හාමුදුරුවෝ හරිම මෝඩයි එයා හිටියොත් අපිට ප්‍රශ්නයක් වෙන නිසා මට හාමුදුරුවෝ මරන්න පුළුවන් ද කියලා ඇහුවා. මම බෑ කීවා. පසුව කුමාරු 18 දින අපි කොළඹ හිටපු තැනට ත්‍රිවිලරයකින් ඇවිත් හාමුදුරුවෝ දාගෙන ගියා මැරුවාද නැද්ද කියලා මම දන්නේ නෑ. ත්‍රිකුණාමලයට හරි කැලයකට හරි ඇරගෙන යන්න ඕනි කියලත් කුමාරු කීවා යැයි තිලක් පැවසීය.
සොරාගත් බුදු පිළිමය රුපියල් කෝටි හයකට විකුණන්න පුළුවන් කියලා පසුව බෑ කියලත් කුමරු සැකකාර මිත්‍රයින්ට පවසා තිබේ. එම මුදල් වලින් පොඩි හාමුදුරුවෝ රට යන්න ඕනි කියලත් කීව බව තිලක් කීය.
දැනට අතුරුදහන් වී සිටින කිවුලතලාවේ ධම්මිස්සර හිමිගේ මව හා පියා වෙනත් විවාහයන් සිදුකරගෙන වෙන් වෙන්ව ජීවත්වන අතර වයස අවුරුදු හතේදී පැවිදි දිවියට පැමිණ වෑගම පිරිවෙනට ඉගෙනීමට පැමිණ ධම්මිස්සර හිමි ටික කලක් නතර වීමට කොටසර පියංගල රාජ මහා විහාරයට පැමිණ තිබේ.
කොටසර පියංගල රජ මහා විහාරයේ තාවකාලික වැඩ විසූ අතුරුදන් වී සිටින දිවුලතලාවේ ධම්මිස්සර හිමි (20) සොයා ගැනීමට බිබිල පොලිස් ස්ථානාධිපති චන්දන බස්නායක මහතා දින කිහිපයක් තිස්සේ පරීක්ෂණ පවත්වන අතරතුර ත්‍රිකුණාමලය කුච්චවේලි පොලිසිය සොයාගත් නාඳුනන මළ සිරුරක් පොලොන්නරුව මහ රෝහලේ තැන්පත් කර තිබෙන බවට 05 දින තොරතුරක් ලැබී තිබේ.එම තොරතුරු ඔස්සේ එම මළ සිරුර පිළිබඳව කුච්චවේලි පොලිසියෙන් ලබාගත් තොරතුරු අනුව පසුගිය ඔක්තෝබර් 21 දින ත්‍රිකුණාමලය නීලාවේලි මුහුදු තීරයේ ළඳු කැලෑවක තිබූ මෙම මෘත ශරීරය දිවුලතලාවේ ධම්මිස්සර හිමියන්ගේ බවට පොලිසිය තීරණය කර ඇත.
ත්‍රිකුණාමලය සහ අනුරාධපුර රෝහල්වල මෘත ශරීරාගාරවල එම දිනවල ඉඩ පහසුකම් නොතිබුණ නිසා නාඳුනන මළ සිරුර පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට ගෙනවිත් තිබියදී බිබිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතා පොලිස් කණ්ඩායමක් හා අපවත්වූ හිමිගේ පියා ද 05 දින රෝහලට යවා මෘත ශරීරය හඳුනාගෙන තිබේ.
බුදුපිළිමය සොරකමට අනුබල දී විහාරස්ථානයෙන් ගමට ඇවිත් සිවුරට ගිනි තබා සොරකමට සම්බන්ධ තිලක් නැමැත්තා සමඟ වෙස් මාරු කරගෙන මහරගම ප්‍රදේශයේ පෞද්ගලික වැඩපොළේ සිටියදී කුමරු නැමැති ප්‍රධාන සැකකරු ත්‍රිවිලර් රථයකින් පැමිණ රහසිගතව ඔහු රැගෙන ගොස් ඇත. පසුව ත්‍රිකුණාමලය නිලාවේලි වෙරළ තීරයට ගෙන ගොස් පහරදී මේ අය මරා දමන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ අත්අඩංගුවට ගත් යුද හමුදාවේ සේවය කළ රොෂාන් නැමැති සැකකරුත් මෙම ඝාතනයට සම්බන්ධව ඇති බවට පොලිසිය සැක කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙකු ඥාතීන් වෙන අතර එයින් දෙදෙනෙකුම යුද හමුදාවේ සේවය කරන අය බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
විහාරාධිපති වෙල්ලස්ස, බින්තැන්න හා මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක බදුල්ලගම්මන ගුණරතන හිමියෝ මෙසේ කීහ.පිළිමය නැති වූ දින සිට ඇතැම් අය අපි දිහාත් වැරදි විදියට බැලුවා මම ජනාධිපතිතුමාටත්, පොලිස්පතිතුමාටත් දුරකථනයෙන් කිවුවා.
එතුමන්ලා ගොඩාක් උදවු කළා.2011 වසරේදීත් පන්සලේ තිබුණ දඹරන් පිළිමයක් සොරු ගෙන ගියා තාම සොයාගත්තේ නෑ. පොලිසිය හිටියට පන්සලට ආරක්ෂාව මදි විදිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් අවශ්‍යයි. පිළිමය සොයාදුන්න සියලුම නිලධාරින්ට ස්තුති කරනවා” උන්වහන්සේ පැවසූහ.
සොරකම පිළිබඳව සියලු තොරතුරු සොයාගැනීමෙන් අනතුරුව මොනරාගල පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ, මැදගම වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් රත්නායක, ගොනගංආර පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දන මහතා ඇතුළු එම පොලිස් ස්ථානවල නිලධාරීහු පිරිසක් හසලක ප්‍රදේශයේදී බුදුපිළිමය හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහභාගි වූහ.
මේ සියලු කතාව සමස්ත ලෙස ගත්තොත් කිව හැක්කේ මිනී මැරුවොත් සොරකම් කළොත් පව් පළ දෙන බවයි.
සටහන හා ඡායාරූප
මාපා බණ්ඩාර