පලතුරු මිලදී ගැනීමේදී ඒවාට විෂ සහිත රසායනික ද්‍රව්‍ය යොදා තිබේ ද නැති ද? යන්න පිළිබඳ සොයා බැලීම සඳහා බොහෝ පාරිභෝගිකයන් තුළ අවබෝධයක් නැත. එම නිසා එසේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය යොදා තිබෙන පලතුරු, එළවළු හඳුනාගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ජාතික රෝහලේ ජාතික විෂ මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා මෙසේ කරුණු පැහැදිලි කරයි.
සාමාන්‍යයෙන් ස්වාභාවික පරිසරය සමඟ එක්ව පලතුරු ඉදෙන විට එම ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ පලතුරු ගෙඩියේ එක් දිසාවක සිටය. අඹ, ගස්ලබු, කෙසෙල් ඒවායේ එක පැත්තකින් ඉදීම ආරම්භ වී එය ක්‍රමයෙන් පලතුරු ගෙඩි පුරා ටිකෙන් ටික කහ පැහැ ගැන්වීම පැතිර යනු දක්නට ලැබේනම් එම පලතුරු විෂ රසායනික ද්‍රව්‍ය නොදැමු ස්වාභාවිකව ඉදුණු එකකි.
විෂ රසායනික ද්‍රව්‍ය යෙදු පලතුරු එක දිසාවකින් පටන් නොගෙන සම්පූර්ණ ගෙඩියම එකම පාටකින් ඉදී තිබෙනු දක්නට ලැබේ.
ඉදුණු පලතුරු ගෙඩියක් කපන විට ගෙඩිය ඇතුළේ සිට ඉදි ඇති බව දක්නට ලැබේනම් එය ද ස්වාභාවිකව ඉදුණු පලතුරකි.
රසායනික ද්‍රව්‍ය යෙදු පලතුරුවල ඉදීම ආරම්භ වෙන්නේ ගෙඩියේ ලෙල්ලට ආසන්නයේ සිටය.
තව ද ස්වාභාවිකව ඉදුණු පලතුරුවල ගෙඩිය පැලී තිබීම, කළු පැහැ ගැන්වීම, පලුදු සිදුවී තිබීම ආදිය දක්නට තිබේ. රසායනික ද්‍රව්‍ය යෙදු පලතුරුවල මෙවැනි පලුදු වීම නොමැත. ලස්සනට පෙනුමට දක්නට ඇත.
තව ද පලතුරුවලට කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය එන්නත් කළ විට එන්නත් කළ ස්ථානය නොපෙනීමට ඒ මත ස්ටිකරයක් අලවයි. ස්වාභාවික පලතුරුවලට එවැන්නක් නොමැත. තව ද එහි සුවඳ බැලීමෙන් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර සුවඳක් ද නැතහොත් රුචිය ඇති කරවන ප්‍රණීත සුවඳක් ද යන්න තුළින් ද ස්වාභාවික සහ රසායනිකව ඉදවූ පලතුරු ද යන්න සොයා බැලිය හැකිය.
විදෙස් රටවලින් ආනයනය කරන ඇපල්, මිදි, දොඩම් ආදියේ කල් ඉකුත් වීමේ දිනයක් සඳහන් නොවේ. එම නිසා එවැනි පලතුරු මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය විමසා මිලදී ගත යුතු වෙයි.
පලතුරු හෝ එළවළුවල යම් විෂ සහිත රසායනික ද්‍රව්‍ය තිබේ ද නැද්ද යන්න සම්බන්ධව යම් පුද්ගලයකුට ගැටලුවක් වේ නම් ඒ පිළිබඳව කොළඹ ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ දුරකථන අංකයට 011-2686143 කතා කර විමසිය හැකිය.