බැරි නැති බර

දරු ප්‍රසූතිය සඳහා ඇයට තවත් ඉතිරිව ඇත්තේ සති දෙකක් වැනි සුළු කාලයකි. එහෙත් ඒ භාරදූර කර්තව්‍යය පිළිබඳව එතරම් තැකීමක් නොකරන ලියා ඈන් එලිසන් අයෝමය කාන්තාව ඇගේ ප්‍රියතම ඉසව්ව වන බරඉසිලීමේ ක්‍රීඩාවේ දිගටම නියැළී සිටින්නීය.

ගර්භණී අවධියේදී මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම සාමාන්‍යයෙන් සුවදායක ඇවිදීමකට හෝ ගර්භණී අවස්ථාවට උචිත ව්‍යායාම්වලට පමණක් සීමා වේ. සමහරු මෘදු පිහිනීමකද නිරත වෙති.

එහෙත් දරු ප්‍රසූතියට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ලියා ඈන් එලිසන් තමන් ඉමහත් උනන්දුවක් දක්වන බරඉසිලීමේ කාර්යයේ නියැළෙන ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීමත් සමග ලොව කාන්තා පක්ෂය තුළ මහත් කැලඹීමක් හටගෙන තිබේ.

එලිසන් දැනටමත් දෙදරු මවකි. “අම්මා කෙනෙක්ව සිටීමට මම ඉතාමත් කැමතියි. නමුත් ඒ එක්කම මගේ ශරීරයත් හොඳ පෙනුමට තියා ගන්න මට වුවමනායි” තිස්පස් හැවිරිදි මේ කායවර්ධන ක්‍රීඩිකාව පවසන්නීය.

කෙසේ වෙතත් ලොස් ඇන්ජලීස් හි වැසියකු වන ඇයගේ මේ උත්සාහය හැම කෙනෙකුම හොඳින් බාර ගන්නේ නැත. මාස අටහමාරක ගැබිණියක වන එලිසන් මහත්මිය විවේචනය කිරීමට සමහරු පසුබට වී නැත.

“මේ කාන්තාව මහත් අවමානයකි. ගර්භණීභාවය යනු සැහැල්ලුවෙන් සිටිමින් තමන්ගේ ශරීරය ගැන කල්පනාවෙන් සිටිය යුතු කාලයකි. එය සීමාව ඉක්මවා පරීක්ෂාවට ලක් කළ යුතු කාලයක් නොවේ” යැයි එක් විශාරදයෙක් පවසයි.

“මෝඩ ගෑණි..” තවත් කාන්තාවක් කියයි.

එලිසන් අනුමත කරන බොහෝ දෙනෙකුද සිටිති. “ගැබ්බරව සිටින කාලය තුළ සෑම දිනකම මැක්ඩොනල්ඩ් ආහාර ගන්නා අම්මලා ගැන අපි වඩා අවධානය යොමු කළ යුතුයි” කෙනෙක් කියා සිටී.

තමන්ට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව විස්මයට පත්ව සිටින එලිසන් මෙසේ පිළිතුරු දෙයි : “මෙච්චර ආන්දෝලනයක් ඇතිවේවි කියා මා සිතුවේ නැහැ. මෙයින් මට මහත් ආඩම්බරයක් ඇතිවෙලා තියෙනවා. මිනිස්සු මට ආදරේ කරන බවක් හැඟෙනවා. වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ විවේචනවලින් මට වැඩි ශක්තියක් දැනෙනවා.”

මේ අතර ප්‍රසව හා නාරි වෛද්‍ය රාජකීය විදුහල ප්‍රකාශ කරන්නේ ගර්භණී කාලය තුළ ක්‍රීඩා ව්‍යායාම්වල නිරත වීම හිතකර විය හැකි බවයි.

බරඉසිලීම, වැළකී සිටිය යුතු ක්‍රීඩාවක් ලෙසින් ලැයිස්තු ගත කර නැත. එහෙත් ගැබ්ගත් කාන්තාවන් ශරීර එකිනෙක ගැටෙන ක්‍රීඩා හා ස්කූබා ඩයිවින් වැනි ක්‍රීඩාවලින් වැළකී සිටිය යුතු බවටත් තමන්ගේ සමබරතාව නැති කර නොගන්නා ලෙසටත් නිර්දේශ කරයි.

– වර්නන් ගුණසේකර
(විදෙස් පුවත් ඇසුරෙණි)

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...