ජනපති ජායාරූප ශිල්පී : සුදත් සිල්වා
ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ අනපේක්ෂිත මරණයෙන් පසු ජනාධිපති ධුරයට පත් වූයේ ඩී.බි.විජේතුංගයි. ප්‍රේමදාස වැනි තද පාලකයකු යටතේ සේවය කළ ඔබට ඩී.බි. විජේතුංග ජනපතිවරයාගේ වෙනස දැණුනේ කොහොමද?
එතුමා බොහොම චාම්, නිහඬ අහිංසක චරිතයක්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වූ පසුව එතුමා වැඩබලන ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ඡායාරූපය ගත්තෙත් මමයි. දින කීපයකට පසු පාර්ලිමේන්තුවේ විශේෂ සැසි වාරයක් තිබුණා නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට. එදා විපක්ෂයෙන් ජනාධිපති ධුරයට අපේක්ෂකයකු නම් කළේ නෑ. ඩී.බි.විජේතුංග පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ එකඟතාවෙන් තෙවැනි විධායක ජනාධිපති ධුරයට පත් වුණා. ඒ වේලාවේ මුළු පාර්ලිමේන්තුවම ජනාධිපතිතුමා වට කරගෙන එතුමාට සුබ පැතුවා. ඒක ඓතිහාසික අවස්ථාවක්. මොකද එතුමා ජනාධිපති ධුරයට පත් වූයේ පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථීරත්වයෙන්. ජනාධිපති ධුරයේ පත් වූ පසුව ඩී.බි. විජේතුංග ජනාධිපතිතුමා මහනුවර ගිහින් දළඳා මාලිගාවත් වැඳගෙන මහනුවර ජනාධිපති මන්දිරයට ගියා. ඒ වේලාවේ මමත් එතුමා සමග ජනපති මන්දිරයට ගියාම “සුදත්” කියලා මට කතා කළා.
ඔහු ඔබ දැන ගෙන සිටියාද?
එතුමා මගේ නම දැනගෙන සිටියා. “සුදත් ඔයා තනියමද පින්තූර ගන්නේ” කියලා ජනපතිතුමා මගෙන් ඇසුවා. මම “ඔව් සර්” කීවාම ජනාධිපතිතුමා යළිත් වතාවක් ඇසුවා “එතකොට ඔයා අසනීප වුණොත් පින්තූර ගන්නේ කොහොමද” කියලා. එහෙම වුණොත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඡායාරූප ශිල්පියෙකුගේ සහය ගන්නවා කියලා මම කීවාම ජනපතිතුමා ඒ ගැන ප්‍රසාදය පළකළේ නෑ. “එහෙම බෑ හැමතිස්සේම දෙවැනියෙක් ඉන්න ඕනේ” අපේ පක්ෂයටත් ඒකනේ වෙලා තියෙන්නේ, කොළඹ ගියාම මා මුණ ගැහෙන්න” කියලා කීවා.
කොළඹ ගියාම ජනපතිවරයා මොනවද කීවේ?
“ඔන්න සුදත් මම විජේදාසට කීවා (ජනපති ලේකම් කේ.එච්.ජේ. විජේදාස) ඔයාට දෙවැනියෙක් දෙන්න කියලා. ඔයා කැමති කෙනෙක් ගන්න කීවා”. ඒ වේලාවේදී තමයි මම මගේ සහය ඡායාරූප ශිල්පියා ලෙස චන්දන පෙරේරා බඳවා ගත්තේ.
ඔබ ඩී.බි. විජේතුංග ජනපතිවරයාගේ දුටු විශේෂ චරිත ලක්ෂණ මොනවාද?
එතුමා වැඩිය උත්සවවලට යන්න කැමති වුණේ නෑ. බොහෝ දේ වුණේ ජනාධිපති මන්දිරය ඇතුළේ. එතුමා හෙලිකොප්ටර්වල ගමන් යාමට පොඩි බියක් දැක්වූවා. මේ නිසා ජනපතිතුමා වැඩිය හෙලිකොප්ටර්වල යන්න කැමැති වුණේ නෑ. අවසාන වරට මම එතුමා සමග හෙලිකොප්ටරයේ නැගී ගියේ දකුණු පළාත් සභා මැතිවරණ කාලයේදී.
ඩී.බි. විජේතුංග ජනපතිවරයා සමයේ රටේ විශාල ආන්දෝලනයක් ඇති කරමින් වූ දේශපාලන පිල්මාරුත් ඔබගේ කැමරාවේ සනිටුහන් වෙන්න ඇති.?
ගාමිණී දිසානායක යළිත් වරක් එතුමාගේ කාලයේ එක්සත් ජාතික පක්ෂයට ආවා. ඒ වගේම ශ්‍රී ලනිපයේ හුන් අනුර බණ්ඩාරනායකත් එතුමාගේ කාලයේ එජාපයට පැමිණ ඇමැති ධුරයක්ද භාර ගත්තා. අනුතුනේ දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසු ආන්දෝලනාත්මක සිද්ධිය වූයේ පොදු පෙරමුණට සහය දුන් විමල් ෆ්‍රැන්සිස්කු මන්ත්‍රීවරයා ජනපතිතුමා හමුවී එජාපයට යාමයි. මෙවැනි සුවිශේෂී සිද්ධීන් රැසක් මගේ ඡායාරූප එකතුවේ තිබෙනවා.
එජාපයට නැවත පැමිණි ගාමිණී දිසානායක 94 එජාප ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් වූ පසු ඔහු වෙනුවෙන් ඔබට ඡායාරූප ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැද්ද?
එතුමා ජනාධිපති අපේක්ෂකත්වයට පත් වන විටත් මම ජනපතිතුමාගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස රාජකාරි කරමින් සිටියා. ඒ වෙලාවේ ගාමිණී දිසානායක මහත්තයා මට කීවා “සුදත් ඔයා මගෙත් එක්ක ඡන්ද වැඩට ගිහින් පින්තූර අරන් දෙන්න” කියලා. මම එතුමාගේ යෝජනාවට කැමැති වුණා. නමුත් මට එතුමා සමග යන්න බැරි වුණා.
ඇයි ඔබ ගාමිණී දිසානායක සමග නොගියේ?
ගාමිණී දිසානායක මහතාගේ ඉල්ලීම ගැන මම ජනපති ලේකම් කේ.එච්.ජේ. විජේදාස මහතාගෙන් ඇසුවා. ලේකම්තුමා මට කීවා “සුදත් ඔයාට යන්න බෑ. ඔයා ජනාධිපතිතුමා ළඟ වැඩ කරන සේවකයෙක්. ජනාධිපතිතුමා එතුමාගේ වැඩකට යනවා නම් ඔයාට යන්න පුළුවන්. එහෙම නැතිව ගාමිණී දිසානායකගේ වැඩට ගියොත් ඒකේ වගකීම ගන්න අපට බෑ” කියලා. එතුමා දුන් උපදෙස් අනුව මම ගියේ නෑ. ජනපති ලේකම්වරයාගේ උපදේශය නිසා තමයි තොටළඟ බෝම්බයෙන් මගේ ජීවිතය බේරුණේ. එහෙම නැතිව ජනපති ලේකම්වරයා මට යන්න කීවා නම් මම යනවා. එහෙමනම් ගාමිණී දිසානායක මහතා සමග තොටළඟ බෝම්බයට මාවත් බිලිවෙන්න තිබුණා.
රාජ්‍ය නායකයන්ගේ, මැති ඇමැතිවරුන්ගේ බිරියන් හා දරුවන්ගේ ඡායාරූප පත්තරවල නිතර දක්නට ලැබුණත් ඩී.බි.විජේතුංග ජනපතිවරයාගේ පවුලේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් නොවුණේ ඇයි?
එතුමාගේ පවුලේ අය ඡායාරූපවලට පෙනී සිටියේ නෑ. විශේෂයෙන් ජනපති ආර්යාව එළියට එන්නේ නැතිව හුඟාක් අවස්ථාවල සිටියේ පිළිමතලාවේ ගෙදර. එක සැරයක් එතුමියගේ ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වූ වේලාවක ජනපතිතුමා මට කීවා “සුදත් හාමිනේ නුවර ඉන්නවා. එයාගේ පින්තූරයක් අරන් එන්න” කියලා. ජනපති ආර්යාව පමණක් නොවේ එතුමාගේ දියණියත් කිසිම අවස්ථාවක ප්‍රසිද්ධියේ එළියට ආවේ නෑ. ඔවුන් දෙදෙනාත් බොහෝ නිහඬව චාම් ජීවිත ගත කළා.
ඩී.බි.විජේතුංග ජනපතිවරයා විශ්‍රාම ගිය පසු ඔබට හමු වූයේ නැද්ද?
කීප වතාවක් හමුවුණා. නමුත් අවාසනාවකට මෙන් එතුමා අභාවප්‍රාප්ත වූ මොහොතේ මට එතුමාට අවසන් ගෞරව දැක්වීමට පැමිණීමට නොහැකි වුණා. ඒ වේලාවේ මා සිටියේ විදේශගත වෙලා. එක සැරයක් එතුමාට වෛද්‍යවරුන් උපදෙස් දීලා තියෙනවා ඔබතුමා අසනීප වෙලා බෙහෙත් ගන්න පිටරට යන්න ඕනෑ වුණොත් පාස්‍පෝට් එක ඕනේ. ඒක හදා ගන්න කියලා. ඒ වෙලාවේ එතුමා නිලධාරීන්ට කියා තිබුණේ පාස්‍පෝට් එකට පින්තූර ගන්න මට එන්න කියලා. ඒ පණිවුඩයට මම කොළඹ සිට පිළිමතලාවේ ගිහින් පාස්‍පෝට් එකට එතුමාගේ පින්තූර ගත්තා. ජනාධිපතිතුමා මට කෑම ලෑස්ති කරලා තිබුණා. දවල්ට කාලා මම එන්න හදන විට එතුමා මට රුපියල් පන්දහසකුත් දුන්නා. සර් මට සල්ලි එපා කියලා මම කීප වතාවක්ම කීවත් සල්ලි ගන්න කියලා එතුමා පෙරැත්ත කළා. මේ සිද්ධියට පසුවත් මම නුවර යන විට කීප වතාවක්ම එතුමා බලන්න ගියා.
අනූ හතරේදී එජාපය පරදවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේදී ඩී.බි.විජේතුංග ජනපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
එතුමා කලබල වූයේ නෑ. සාමකාමීව ප්‍රශ්නයක් ඇති නොවන ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට බලය දීලා ගෙදර ගියා.
ඔබ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස පත් වුණේ කොහොමද?
එතුමිය ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන වෙලාවේ ජනපති ලේකම් ධුරයේ රාජකාරි කළේ කේ.එච්.ජේ. විජේදාස මහත්තයා. ඔහු මට කීවා චන්ද්‍රිකා මැතිනිය ජනපති ධුරයේ දිව්රුම් දෙන ඡායාරූප ගන්න කියලා. මම ඒ නිල උත්සවයේ ඡායාරූප අරගෙන පත්තරවලටත් දීලා එතුමියට ඇල්බමයකුත් හදලා දුන්නා. දින කීපයක් ගියේ නෑ. මට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ක්ෂණික මාරුවක් ලැබුණා.
කවුද ඔබ මාරු කළේ?
ජනාධිපතිතුමිය නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති කීපයක් මා යූ.ඇන්.පී.කාරයකු ලෙස හංවඩු ගහලා මට මාරුවීමක් දුන්නා. සාමාන්‍යයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට මාරු කරන්නේ අමාත්‍යංශ ලේකම්වරුනේ. නමුත් ඉතිහාසයේ මුල්වරට පරිපාලන සංචිතයට මාරු කළ එකම ඡායාරූප ශිල්පියා වූයේ මමයි. මම මාසයක් සංචිතයේ හිටියා. මාසයේ අන්තිමට පරිපාලන අමාත්‍යංශයෙන් මට කීවා ඔයාට පඩි දෙන්න අපට බෑ. ඔයාලා ජනපති කාර්යාලයට අයිති කට්ටිය. එහෙට ගිහින් පඩි ඉල්ල ගන්න කියලා. මම ජනපති කාර්යාලයට ඇවිත් එහි අතිරේක ලේකම් නියංගොඩ මහත්තයා හම්බුවෙලා සිද්ධ වූ දේ කීවාම එයාට මේ වැඩේ තේරුණා. ඔහු යළිත් වරක් ලියුමක් ගහලා මටත් චන්දන පෙරේරාටත් පඩි දීලා ජනමාධ්‍ය හා සංචාරක අමාත්‍යංශයට යැව්වා. ඒ කාලේ එහි ලේකම්වරයා වූයේ ලයනල් ප්‍රනාන්දු මහත්තයා. ඔහු බොහෝ හොඳ නිලධාරියෙක්. එතුමා මාව ධර්මසිරි සේනානායක ඇමැතිවරයා ළඟට එක්කන් ගිහින් අපි අගය කරලා කතා කළා. මෙයා අපි ආරිය රූබසිංහට (රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ) භාරදෙමු කියලා. මාව නව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යොමු කළා. අනූපහේ ඉඳන් මම ජපානය බලා යනතුරු සේවය කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ. මම අනූහයේ සිට අනූඅට දක්වා දෙවසරක් ජපානයේදී ඡායාරූප ශිල්පය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබුවා.
මිහිරි ෆොන්සේකා
ඡායාරූප – චින්තක උදයකාන්ත ,සුදත් ද සිල්වා