පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීමට එම දරුවාගේ මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලීම, ඇයගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට තැත්කිරීම ඇතුළු අධි චෝදනා හතරකට වරද පිළිගත් කොට්ටාව ආනන්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයා සිදුකර ඇති නින්දිත ක්‍රියාව අනුව එවැනි උත්තරීතර රැකියාවක යෙදීමට ඔහු තවදුරටත් නුසුදුස්සෙකු බව ඊයේ (15) ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විත්තිකරු හට අට වසරක සිර දඬුවමක් නියම කරමින් එම දඬුවම දස වසරකට අත්හිටුවීමට නියෝග කළාය.
එම අත්හිටවූ සිරදඬුවමට අමතරව කොට්ටාව ආනන්ද විදුහලේ හිටපු විදුහල්පති ගීගහ ගමගේ ධර්මදාස නමැති විත්තිකරු හට රුපියල් විසිදහසක දඩ මුදලක් ගෙවීමට ද විනිසුරුවරිය ඊයේ (15) නියෝග කළාය.
හිටපු විදුහල්පතිවරයා සිදුකර ඇති ඉතාමත් නින්දිත ක්‍රියාවට අධිකරණයට දැඩි දඬුවම් පැමිණවීමේ හැකියාව තිබුණද ඉන් උසස් අධ්‍යාපනය ලබන විත්තිකරුගේ දියණියන් තිදෙනාට හා උත්තරීතර රැකියාවක නිරතව සිටින විත්තිකරුගේ බිරියට විඳීමට සිදුවන ප්‍රතිවිපාක සැලකිල්ලට ගෙන විත්තිකරු හට මෙසේ ලිහිල් දඬුවමක් නියම කිරීමට අධිකරණය තීරණය කළ බව ද විනිසුරුවරිය ඊයේ (15) ප්‍රකාශ කළාය.
නඩු තීන්දුවෙන් පසු විත්තිකරු හට රැකියාව අහිමි වුවද වෙනත් රැකියාවක් කරමින් ඉදිරියට සමාජය ඉදිරියේ නම්බුකාර ලෙස ජීවත්වන ලෙස ද විත්තිකාර හිටපු විදුහල්පතිවරයාට අවවාද කරමින් විනිසුරුවරිය ප්‍රකාශ කළාය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජනී සෙනෙවිරත්න මහත්මිය මේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය.