මීට දින කිහිපයක පෙර සැකකරුවෙක් මහනුවර බලා දුම්රියෙන් රැගෙන යද්දී එම සිරකරුවා පොල්ගහවෙලදී දුම්රියෙන් පැන ගියා යැයි සිරකරු භාරව සිටි නියාමකයින් දෙදෙනා පවසන කතාව ගොතන ලද්දක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. මෙම රිමාණ්ඩ් සැකකරුවාට එරෙහිව වාහන කොල්ලකෑමේ චෝදනා රැසක් දිවයින පුරා පොලිසිවලට ලැබී තිබිණ.අවසානයේදී මොහු කොටු වී ඇත්තේ පෑලියගොඩ පොලිසියටයි. මීගමුව පොලිසිය විසින් වාහන කොල්ලයක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව පවරා තිබූ නඩුවක් සඳහා මීගමුව උසාවියට ඉදිරිපත් කළ සැකකරුවා අනතුරුව මීගමුව රිමාණ්ඩ් බන්ධනාගත කෙරිණ. දින කිහිපයකට පසු මොහුට එරෙහිව තවත් නඩුවක් මහනුවර අධිකරණයේ විභාගයට ගැනීමට නියමිත විය. ඒ සඳහා සැකකරුවා මහනුවර උසාවිය වෙත රැගෙන යාම නියාමකවරුන් දෙදෙනෙකුට පැවරිණ. දුම්රියෙන් මහනුවර බලා යන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරියෙන් නියාමකවරුන් දෙදෙනාට උපදෙස් ලැබිණ.
මේ අතර සැකකරුවා මෙම නියාමකවරුන්ට පවසා ඇත්තේ මහනුවරට දුම්රියෙන් නොගොස් තමන්ගේ මෝටර් රථයෙන් එහි යා හැකි බවයි. නියාමකවරුන්ද දෙදෙනාද ඊට එකඟ වී ඇත. රුපියල් පන්දහසක් නියාමකවරුන් අත තැබූ සැකකරුවා සිය ජංගම දුරකතනයෙන් බිරිඳ අමතා පසුදින අළුයම 5.30ට මීගමුව බන්ධනාගාරයේ දොරටුව අසලට වාහනය රැගෙන එන ලෙස දැනුම් දී තිබේ.
පසුදින අළුයම මංචු දැමූ සැකකරුවා නියාමකවරුන් දෙදෙනා විසින් බන්ධනාගාරයෙන් පිටතට ගෙන ගියේ දුම්රියෙන් මහනුවර බලා යන බවට පොත්වල සියලු සටහන් යොදමින්ය.මෝටර් රථයේ දී සැකකරුවාගේ මංචු ගැලවූයේ ඔහු රථය ධාවනය කරන බව පැවසූ බැවින්ය. ඉදිරිපස අසුනේ සැකකරුවාගේ බිරිඳ සිටියාය. නියමකවරුන් දෙදෙනා පිටුපස අසුනට ගොඩ වැදුනහ. සැකකරුවා රථය පදවන්නට විය.
වරකපොළ නගරයට ළඟා වෙද්දී සැකකරුවා “උදේට මොනවා හරි කාලා යමු” යැයි යෝජනා කළේය. නියාමකවරුන් දෙදෙනාද ඊට එකඟ වූහ. රථය වරකපොළ නගරයේ ආපන ශාලාවක් අසල නතර කෙරිණ. සැකකරුවාගේ බිරිඳ සැමියා අමතමින් පැවසුවේ තමන්ට හෝටලයට යන්නට බැරි බවකි. “ඔයා එනකොට මාලු මාලු පාන් ගෙඩියක් අරගෙන එන්න” ඇය සැමියාට කීවා.
අනතුරුව සැකකරුවා සහ නියාමකයින් දෙදෙනා හෝටලයට වැද උදේ ආහාර ගත්හ. බඩ පිරෙන්නම නියාමකවරුන් දෙදෙනා විවිධ කෑම ඇණවුම් කර ගිල දැමූහ. “සර්ලා කෑම කන්න..මම වයිෆ්ටත් මාලු පාන් ගෙඩියක් දීලා එන්නම්” යැයි පැවසූ සැකකරුවා මාලු පාන් ගෙඩි දෙකක් සමග සිසිල් බීම බෝතලයක්ද රැගෙන මෝටර් රථය වෙත පිය නැගුවේය.
ආහාර නිමවා සිගරැට්ටුද දල්වා නියාමකවරුන් බලා සිටියද සැකකරුවා පැමිණෙන පාටක් නැත. ඒ වනවිටත් සැකකරුවා සිය බිරිද සමග වෙනත් දිශාවකට වේගයෙන් පළා යමින් සිටියේය. නියාමකවරුන් දෙදෙනාගේ හිස් ගිනි ගත්හ. “දෙයියෝ සාක්කි..මූ පැන්නේ අපේ තොප්පිත් අරගෙනනේ..” ජ්‍යෙෂ්ඨ නියාමකට කෙඳිරි ගෑවුනි. උසාවියට ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ, මංචු කුට්ටම පවා ඒ වනවිටත් සැකකරු සමග අතුරුදන් වී තිබිණ.
පිස්සන් දෙදෙනෙක් මෙන් වරකපොළ නගරය මැද්දේ එහා මෙහා දුවමින් සැකකරුවා ගැන නියාමකයින් දෙදෙනා විපරම් කළද කිසිම තොරතුරක් නොලද තැන දෙදෙනාම තොප්පිත් නැතිව වෙනත් බසයක එල්ලී මීගමුව බලා පැමිණියහ. අනතුරුව පොල්ගහවෙලදී සිරකරුවා පැන ගිය බවට බොරු පැමිණිල්ලක් කළහ.