අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව අද වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම විසින් පසුගිය යුධ සමයේ මෙරට සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන වාර්තාව තාවකාලිකව කල් දැමීමට විරුද්ධවයි එය සංවිධාන කර තිබුණේ. එය දෙමළ ජනතාවට සිදු කරන අසාධාරණයක් බව එහිදී අවධාරණය කෙරුණා. එබැවින් දේශීය පරීක්ෂණයක් වෙනුවට ජාත්‍යන්තර පරික්ෂණ වාර්තාව කඩිනමින් එළිදක්වන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.
මීට අමතරව යුධ සමයේදී උතුරු පළාතේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුව මැදිහත් වී සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බවද විරෝධතාකරුවන් සඳහන් කළා. එමෙන්ම යුධ සමයේ අතුරුදන් වූවන් සොයා දීමට හා දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීමට වත්මන් රජය කටයුතු කළ යුතු බවද ඔවුන්ගේ තවත් ඉල්ලීමක්. විරෝධතාකරුවන් සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් වව්නියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා වෙත සංදේශයක් භාරදීමටද කටයුතු කර තිබෙනවා.