රයන් – කෝලා 2013 වර්ෂයේ සදාකාලික ප්‍රේමයෙන් බැඳි පෙම්වතුන් යුවළ වී හමාරය. ඒ තම තමන්ගේ ජීවිත එකිනෙකා වෙනුවෙන් කැප කිරීම තුළිනි. 2010 වසරේ මිතුරන්ගේ හැඳිනීමෙන් අහම්බෙන් හඳුනාගත් රයන් හා කෝලා පෙම්වතුන් බවට පත්වන්නේ පළමු දැකීමෙන් ඇති කරගත් හැඟීමෙනි. ඉන්පසු දැඩි බැඳීමකින් වෙළුණු මොවුන් එම වසරේම එක්‌ව ජීවිත ගත කිරීමට එක පවුලක් වන්නට තීරණය කළෝය. ඒ අනුව ඔවුන්ට 2011 වසරේදී රැල්ප් නම් පළමු දරුවා ඉපදිණි. පසුව 2013 පර්ල් නම් දෙවන දරුවාද ඔවුන්ගේ පවුල සම්පූර්ණ කළේය. දරු දෙදෙනාත් සමග මොවුන් ගත කළ දිවිය ඉතා සතුටින් විනෝදයෙන් පිරි එකක් විය. මේ සියල්ල මෙසේ සිදු වූවත් රයන් හා කෝලා නීතියෙන් විවාහ වී සිටියේ නැත. ඒ ගැන ඔවුනට කිසිදු අවශ්‍යතාවක් ද නොවූයේ දෙදෙනාටම තිබූ එක හිත හා විශ්වාසයයි.
රයන්ගේත් කෝලාගේත් දෙවන දරුවා ඉපදුණ මුල් කාලයේදී රයන්ගේ උදරයේ දැඩි වේදනාවක් ඇති වී තිබෙන අතර නිතර නිතර එය හටගන්නටත් පටන් ගෙන තිබේ. මේ සඳහා ප්‍රතිකාර ගන්නට ගිය රෝහලෙන් රයන්ට පවසා ඇත්තේ එය සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවයි. නමුත් රයන්ගේ රෝගී තත්ත්වයේ අඩුවක් නොවුණි. ඒ නිසා රයන් හා කෝලා රෝහලේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ නිසි පරික්‌ෂාවක් සිදුකර රෝගය කුමක්‌දැයි නිශ්චිතව සොයා දෙන ලෙසය. එසේ ඉල්ලා සිටීමට ඔවුන්ට සාධාරණ හේතුවක්‌ද තිබිණි. ඒ රයන්ගේ ඥතීන් කිහිපදෙනකුම පසුගිය කාලයේ මහා අන්ත්‍රයේ හටගත් පිළිකා රෝගය නිසාවෙන් මිය ගොස් තිබීමය.
පසුව ඔවුන්ගේ ඉල්ලීම පරිදි රෝහලේ වෛද්‍යවරු රයන්ට සී. ටී. ස්‌කෑන් පරීක්‍ෂණයක් කළේය. එවිට ඔවුන්ට පෙනී ගියේ රයන්ට මහා අන්ත්‍ර පිළිකාවක් වැළඳී ඇති බවත් එය සුව කිරීමට නොහැකි වන තරමට පැතිරී ගොස් ඇති බවත්ය. ඒ අනුව ඔහුට ජීවත්විය හැක්‌කේ තවත් සුළු කාලයක් බව වෛද්‍යවරුන් විසින් පවසන ලදී. ඇමරිකා එක්‌සත් ජනපදයේ කේන්ට්‌හි ජීවත් වු රයන් 23 හැවිරිදි වියේ පසු වුවත් දැන් ඔහු සුව කළ නොහැකි පිළිකා රෝගයකින් පීඩා විඳිමින් හිඳී. ඔහුට ජීවිතය ගැන බලාපොරොත්තුවක් දැන් තබාගත නොහැකිය. තම ජීවිතයේ අවසන් කාලය ගෙවන ඔහුට රෝහලේ සයනයක් මත තනිව වැතිර හිඳිමින් සුසුම්ලන්නට අවසරයක් නැත. ඒ ඔහුගේ ආදරණීය පෙම්වතිය නැතිනම් බිරිඳ ඔහු ළඟම සිටිමින් ඔහුව තනි නොකරන නිසාය.
සාමාන්‍යයෙන් මෙවන් අවස්‌ථාවකදී සිදුවන්නේ පවුලක් අවුල් සහගත බවට පත්වීමය. නමුත් මින් නොසැලී සිටි කෝලාට අවශ්‍ය වූයේ හැකි ඉක්‌මනින් රයන් හා නීත්‍යානුකූලව විවාහ වීමටය. එහෙයින් පසුගිය දිනෙක රයන් සහ කෝලා රෝහලේ දේවගැතිවරයෙකුගේ ආශිර්වාදය ලබා ගනිමින් නීතියෙන් විවාහ වූහ. ඊට ඔවුන්ගේ පවුලේ නෑදැයන් මිතුරන් එක් විය. රෝහලේ ඇඳක් මත වැතිර සිටින රයන්ට කෝලා දැක්‌වූ සෙනෙහස දැක රෝහල් කාර්යය මණ්‌ඩලයට ද ඇති වූයේ සතුට මුසුවූ ශෝකයකි.
තම ජීවිතයේ අවසන් දින කිහිපය සෙමෙන් සෙමෙන් ගෙවී යද්දී තමාට අප්‍රමාණව ආදරය කරන තම ආදරණීය බිරිඳ සහ දරුවන් දෙදෙනා ගැන රයන් සිටියේ ඉතා සිත් අමාරුවෙනි. මන්ද රැකියාව ලෙස කෝලා කොණ්‌ඩා සැකසුම් ශිල්පිනියක් ලෙස කටයුතු කළත් කුඩා දරුවන් දෙදෙනාත් සමග තනිවම කෙසේ රැකියාව කරගෙන යාමට හැකිවේදැයි සිතාය. නමුත් ඔවුන්ගේ වාසනාවට මෙන් මේ පිළිබඳව දැන ගත් රයන්ගේ හොඳම මිතුරෙකු සංවේදී මිනිසුන්ගේ අවධානය උපකාරය ලබා ගැනීම පිණිස Go Fund me නම් වෙබ් අඩවියක රයන්ගේ අනුවේදනීය කතාව ඇතුළත් කර පළ කළේය. ඒ සඳහා මේ වන විට කාරුණික මිනිසුන් විශාල පිරිසකගේ ආධාර ලැබී තිබේ. රයන් හා කෝලා වෙනුවෙන් පවුම් හත්දහසකට වැඩි මුදලක් දැන් ඔවුන්ගේ ඉදිරි කාලය සඳහා යොදා ගැනීමට ලැබී ඇත. රයන් ඒ ගැන දැඩි සතුටකින් පසුවේ.
රයන් සමග ගත කරන අවසාන අලුත් අවුරුද්ද මෙය වනු ඇතැයි බිරිඳ කෝලා පවසයි. එහෙයින් එය ඉතා විශේෂ කර ගනිමින් අර්ථවත් කර ගනිමින් සමරන්නට ඇය උත්සාහ දැරුවාය. කෙසේ වෙතත් මරණය ගැන බලාපොරොත්තු ඇතිව රයන්ගේ ඉරණම විසඳෙද්දී අපි සැම බලාපොරොත්තු රහිතව අපගේ ඉරණම විසඳෙනතුරු බලා සිටින්නන් වෙමු.
ගනීෂා අමාලි