ලංකාවේ ප්‍රබලම දේශපාලන පවුල් දෙකක් වන බණ්ඩාරනායක පවුලේ සහ රාජපක්ෂ පවුලේ ප්‍රබල කාන්තා චරිත දෙකක් පසුගියදා (7දා) ඉන්දියාවේදී එකම වේදිකාවකට නැග්ගාහ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ වර්තමාන ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස එකම වේදිකාවකට නැඟුණේ අධ්‍යාත්මවේදී ශ්‍රී ශ්‍රී රවී ශන්කර්තුමාගේ Art Of Living පදනම මඟින් සංවිධානය කර තිබූ අන්තර්ජාතික කාන්තා සමුළුවේදීය. එම සමුළුවේ ආරාධිත කථිකයන් ලෙස හිටපු ජනාධිපතිනියට සහ ජනාධිපති ආර්යාවට ආරාධනා කර තිබිණි.
ලෝක සාමය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් දේශන පවත්වන ආධ්‍යාත්මවේදී ශ්‍රී ශ්‍රී රවී ශන්කර්තුමා 2004 වර්ෂයේදී සුනාමි ව්‍යසනයෙන් පසුවත් 2006 වර්ෂයේදීත් ලංකාවට පැමිණ තිබේ. 2006 වසරේදී මෙරටට පැමිණ කිළිනොච්චියට ගොස් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්වද මුණගැසී ඇති ශ්‍රී ශ්‍රී රවී ශන්කර්තුමා ප්‍රභාකරන්ට සුදු සළුවක් පිළිගන්වා සාමය වෙනුවෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.
ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව මඟින් ලෝකයේ ප්‍රබලම පුද්ගලයන් අතර පස්වැනි ස්ථානයට තෝරා ඇති ශ්‍රී ශ්‍රී රවී ශන්කර්තුමාගේ පදනම රටවල් 140ක් පුරා ක්‍රියාත්මකය.
අදාළ පදනම මඟින් සංවිධානය කළ මේ සමුළුවට ලංකාවේ මේ ප්‍රබල චරිත දෙකට අමතරව, ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් කොංග්‍රස් කමිටුවේ සභාපතිනි රීටා ජෝශී, ඊශ්‍රායල් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඇලීසා ලැවීයා, ඇෆ්ගනිස්තානයේ කාන්තා කටයුතු ඇමැතිනි ෆුසුන් බනු ගසන්හාර් ඇතුළු තෝරාගත් ප්‍රබල කාන්තාවන් හත් දෙනකුට ආරාධනා කර තිබිණි.