Wednesday , 22 January 2025

මාතරට හිටිය ගල් දෙකම කුඩුවුණා: අද රනිල්ට මංගලත් නෑ-සාගලත් නෑ

මාතර – එම්.සී. දුශාන්ත

මාතර ආසනයට හොඳ නායකයෙක් අවශ්‍යයි. අපි මාතරට හොඳ නායකයෙක් හදාගනිමු. මම දකින දේ ඒක. මොකද දේශපාලනය කරන්න නම් ජනතා විශ්වවිද්‍යාලයට යන්න ඕන. ජනතාවත් එක්ක ගැටෙන්න ඕන.

ජනතාවට සමීප වෙන්න ඕන. මේ මාතර ආසනයේ මංගල විනාශ වුණා. අන්තිමට මංගලත් නෑ, සාගලත් නෑ. මාතරට ඒ මුල්ගල් දෙකම කඩා වැටිලා. රනිල්ට මේ කොයි ගලක්වත් නෑ, තිබුණු ඒ ගල් දෙකම කුඩු වෙලා. ඉතින් මාතර එක්සත් ජාතික පක්ෂය ගැන අපට කතාවක් නෑ. මාතර ආසනයට අපට ඒ පැත්තේ නායකයෙක් බලාපොරොත්තු වෙන්න බෑ යැයි වනජීවී අමාත්‍ය විජිත් විජිතමුණි ද සොයිසා මහතා පසුගියදා මාතරදී පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් මාතර පුරපති සොසීන්ද්‍ර හඳුන්ගේ මහතාගේ මූලිකත්වයෙන් මාතර ඉසදීන් නගරයේ පැවැති ජනහමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
මේ මැතිවරණය ඇල්මැරුණු ස්වභාවයක් තියෙන්නේ. මේකේ ගෝ එක නෑ. සද්ද බද්ද නෑ. මාතර මංගල සමරවීර මහත්තයා ඉන්නේ කොහේද කියලවත් දන්නේ නෑ මේ දවස්වල. එතුමාත් මගේ මිත්‍රයෙක්. අපි එකට හිටියා. ආණ්ඩු ගන්න අපි එකට වැඩ කළා. කනගාටුවට කරුණ එතුමාටත් පොඩි වැරැදීමක් වුණා තාත්තාට වගේම. මහානාම සමරවීර උන්නැහේට වගේ එතුමාත් කකුල් මාරු කර ගත්තා. එතුමා ඉන්න ඕනෙ පිලේ නෙවෙයි අද එතුමා ඉන්නේ. එතුමාට වාසනාව නැතිවුණා මාතර ජනතාවට විශාල සේවයක් කරන්න. ඒක එතුමාමයි කර ගත්තේ. මොකද මේ දේශපාලනයේ ෂෝර්ට්කට් නෑ.

මේ රටේ තිබුණ ඉතා භයානක යුගයක සමාප්තියක් දකින්න මහින්ද චින්තනය යටතේ අපට පුළුවන්කම ලැබුණා. අද අපේ රට ජාතිය නිදහස්. ජාතික ප්‍රශ්නයේ එක පැතිකඩක් සම්පූර්ණයෙන්ම අවසන් කළා. හැබැයි අපිට ජාත්‍යන්තරව මෙය ජයග්‍රහණය කිරීමට දුර ගමනක් යන්න වෙනවා. ජේ.වී.පී. එක යූ.ඇන්.පී. එක දේශපාලන වාසි ගන්න නොයෙක් වහසි බස් ‍ෙදාඩවනවා. ඒකට අපිට ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලො විපක්ෂය.

අපි කියන්නෙ විපක්ෂය අපිට බනිනවා මදි. තල්ලු කරනවා මදි. ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක කාර්යභාරය අපේ රටේ ඉෂ්ට වෙන්නේ නෑ.
ඒ නිසා සමහර වෙලාවට අපිටත් විපක්ෂයේ පාට් එක ඇක්ට් කරන්න වෙනවා.

ආණ්ඩුව වෙනස් කරන්න දැනෙන පොඩි සේයාවක්වත් තියේද යූ.ඇන්.පී. එකේ, මට තේරෙන්නේ නෑ කවදා එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට නැවැත මේ රටේ බලයට එන්න පුළුවන් ද කියලා. ඒ නිසා අපි ඒ ගැන කතා කරන්නේ නෑ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...