රතුපස්වල හාමුදුරුවන් මුදලට යටවී ජනතා සටන පාවා දුන්නාද?

බිමට පිරිසිදු ජලය ඉල්ලා රතුපස්වල ජනතාව විසින් මිනිස් ජීවිත තුනක්ද අහිමි කරගනිමින් කරන ලද සටන තවමත් නිමාවට පත්ව ඇති බවක් දක්නට නැත. පෙනෙන්නට ඇත්තේ ජයග‍්‍රහණයකින් තොරවම එකී සටන නිමාවකට පත්වන ලකුණුය. ඒ වෙන කිසිවක් නිසා නොව එදා බිමට පිරිසිදු ජලය ඉල්ලා එකාමෙන් සිටි ජනතාව දැන් පිල් කිහිපයකට බෙදී එකිනෙකා ඇන කොටා ගන්නට පටන් ගෙන ඇති බැවිනි. ඇතැම් විට එය රතුපස්වල ජනතා හඬ යටපත් කිරීමට ක‍්‍රියාත්මක යම් සංවිධානාත්මක වැඩපිළිවෙළක කොටසක් වන්නටද පුළුවන. එය කවුරුන් විසින්, කෙසේ ක‍්‍රියාත්මක කළේ දැයි පැහැදිලි නැතත්, රතුපස්වල ජලය විසවීමට මුල්වූ බවට චෝදනා නැගුණු වෙන්ගේ‍රාස් කර්මාන්තශාලාව වැලිවේරියෙන් ඉවත් කරන්නැයි හඬ නැගූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අවසානයේ දී කර්මාන්ත ශාලා පාලනාධිකාරිය සමග ගිවිසුමකටද එළඹුණහ. ඒ ඉකුත් 10 වෙනිදා ගම්පහ ‍පොලිස් අධිකාරී කාර්යාලයේදීය.

එම ගිවිසුම අත්සන් කිරීමට පෙර පැය හයක පමණ කාලයක් දෙපාර්ශ්වය අතර සාකච්ඡුාවක් සිදුවුණ අතර එහිදී දෙපාර්ශ්වයම එකඟ වන්නේ මාස හයකින් කර්මාන්ත ශාලාව වැලිවේරියෙන් ඉවත්කරගෙන යාමටත්, එතෙක් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමටත්ය. ගම්වැසියන්ගේ පාර්ශ්වයෙන් තෙරිපැහැ සිරිධම්ම හිමියන් මෙම සාකච්ඡුාවේදී නායකත්වය දැරූ අතර කර්මාන්ත ශාලාව වෙනුවෙන් හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා නායකත්වය දරා තිබිණි. නීතිඥවරුන් ඉදිරියේ ගිවිසුමක්ද ඔවුහු එහිදී අත්සන් කළහ.

ඊට අනුව 2014 අපේ‍්‍රල් 30 වෙනිදා වෙනිගේ‍රාස් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය නතර කොට කර්මාන්තශාලාව වැලිවේරියෙන් ඉවත් කර ගනු ඇත. ඒ කාලය තුළ කොටස් වශයෙන් කර්මාන්ත ශාලාවේ චිමිනි ගලවා ඉවත්කර ගනු ඇත. ගිවිසුමේ පැහැදිලිවම ඒ එක් එක් කොටස් ඉවත් කර ගැනීම් සම්බන්ධ දින වකවානුද සඳහන් කර තිබිණි. ඒත් සමගම රතුපස්වල ජල ගැටලූ‍වට සෘජුවම මුහුණ දී සිටින පවුල් 3000 කට කම්හ‍ලේ වියදමින් පානීය නළ ජලය ලබාදීමට එකඟතාවයක්ද ගිවිසුමේ සඳහන් විය. ඊටත් අමතරව වැඩවර්ජනයක් හේතුවෙන් කර්මාන්ත ශාලාවෙන් ඉවත්කරනු ලැබූ, රතුපස්වල ජීවත් වන 117 ක් වූ සේවකයන් පිරිසක්ද සේවයට බඳවාගන්නට එකඟාතාවක් ඇති විය. කර්මාන්තශාලාව බියගමට රැුගෙන ගිය පසු රතුපස්වල ජනතාව සේවක පුරප්පාඩුවලට බඳවා ගන්නටත් ගිවිසුමෙන් එකඟ වී තිබිණි. සිරිධම්ම හිමියන් අත්සන් කල ගිවිසුම පහලින්

DSCF0741

 

 

උද්ඝෝෂණය කරමින්, ජීවිත අහිමිකරගනිමින් තවදුරටත් කර්මාන්ත ශාලාවට එරෙහිව සටන් කිරීමෙන් ජනතාවට ලැබෙන සෙතක් නොමැති බව වටහා ගැනීමෙන් හෝ වෙනත් බලපෑමකට යටවීමකින් හෝ එම ගිවිසුමට තෙරිපැහැ හිමියන් ගම්වාසීන්ගේ පැත්තෙන් එකඟ වූවා විය හැකිය.හි රතුපස්වල ජනතාව කණ්ඩායම් කිහිපයකට බෙදී වෙන්වී එකිනෙකා ඇනකොටා ගන්නට බලපාන්නේ එම ගිවිසුමය. එතෙක් රතුපස්වල ජනතා නායකත්වය දැරූ සිරිධම්ම හිමියන් එම ගිවිසුමත් සමග පසෙකට විසිවී ගියේ උන්වහන්සේ සටන පාවා දුන් බවට උන්වහන්සේ සමග එකට සිටි පිරිස්වල චෝදනා සහ පරිභවවලටද ලක්වෙමිනි.

ඒත් සමගම උන්වහන්සේ එම ගිවිසුමට අත්සන් කර ජනතාව පාවා දුන්නේ විශාල මුදලකට යටවී බවට චෝදනාද ඇතැමුන් එල්ල කරන්නට ගත්තේය. තෙරිපැහැ හිමියන්ට එරෙහිව ගොඩ නැගෙන්නට වූ එවන් චෝදනා වඩාත් තීව‍්‍ර වන්නට වූයේ ගිවිසුම අත්සන් කළ දින රාත‍්‍රීයේ සිටම උන්වහන්සේ වැඩසිටි ගල්ඔළුව ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයෙන් අතුරුදන්ව තිබිමය. ඒ සාමණේර හිමිවරුන්ද සමගය. උන්වහන්සේගේ දුරකථන පවා පසුදා තිබුණේ අක‍්‍රියවය. මෙහිදී සිරිධම්ම හිමියන්ට එරෙහිව නැගී සිටි ජනතාව පාලනය කරමින් උන්වහන්සේ වෙනුවෙන් හඬක් නැගුවේ නම් ඒ සිරිධම්ම හිමියන් විසින් පිහිටුවන ලද ‘සියනෑ ජලය සුරැුකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප‍්‍රමිත හෙට්ටිආරච්චි මහතා පමණි. සිරිධම්ම හිමියන්ගේ කීර්ති නාමයට හානි කිරීමට එම ගිවිසුම සැලසුම් සහගත ක‍්‍රියාවලියක් බවද ඔහු කීවේය. එහෙත් දැන් ඔහුද පවසන්නේ තෙරිපැහැ සිරිධම්ම හිමියන් ජනතා සටන පාවාදුන් බවය. සියනෑ ජලය සුරැුකීමේ ජන නැගුමේ අනුශාසකධුරයෙන්ද උන්වහන්සේව ඉවත් කළ බවද ප‍්‍රමිත හෙට්ටිආරච්චි මහතා පවසන්නේය.

දැන් මේ සිදුවන්නේ කර්මාන්ත ශාලාව වැලිවේරියේම තබා ගැනීමට උවමනාවෙන් සිටි අයට අවශ්‍ය දේය. කර්මාන්ත ශාලාවට එරෙහිව මතුවූ ජනතා බලය දැන් බිඳවැටෙමින් ඇති නිසාය. තෙරිපැහැ සිරිධම්ම හිමියන් මෙම ලිපිය සටහන් තබන දා 19 සවස් වනතුරුම වැලිවේරිය විහාරස්ථානයට නැවතත් පැමිණ සිටියේ නැත. වැලිවේරියේ විහාරස්ථානයෙන් පැදුරටත් නොකියා අතුරුදන්වීමට හේතු වශයෙන් ගම්‍පොළ විහාරස්ථානයක සිට තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප‍්‍රකාශ කළේ සාමණේර හිමිනමකගේ ඥාතියෙකුගේ මළ ගෙදරකට ගිය බවය. ඉකුත් 18 වෙනිදා උන්වහන්සේිදින පතා පුවත් පතකට ප‍්‍රකාශ කරනු ලැබුවේ තමන් වහන්සේ අසනීප තත්ත්වයෙන් පෙළෙන බැවින් වැලිවේරියට පැමිණීමට තවත් දින කිහිපයක් ප‍්‍රමාද වන බවය.

‘සිරිධම්ම හාමුදුරුවෝ ජනතාව පාවා දුන්න කියලා මම හිතන්නේ නැහැ. සල්ලි අරගත්ත කියල විශ්වාස කරන්නෙත් නැහැ. උන්වහන්සේ මේ වෙලාවේ බලන්න ඇත්තේ උපවාස කරනවට උද්ඝෝෂණය කරනවට වඩා ජනතාවට යමක් කරන්න වෙන්න ඇති. ජනතාවට තිබෙන ප‍්‍රශ්නය කර්මාන්ත ශාලාව ඉවත් කරන එක නමෛයි. ඒක ඉවත් කළත් අවුරුදු දහයක් පහළොවක් යනකම් ළිංවල ජලයේ තියෙන ආම්ලිකතාවය අඩුවෙන්නේ නැහැ. ඒ නිසයි ජල සම්පාදනයෙන් වතුර දෙන්න බට එලූ‍වේ. වතුර දෙන්න වෝටර් බෝඞ් එක ප‍්‍රදේශයේ ජනතාවට අයදුම්පත් දුන්නා. පස් දෙනයි එම අයදුම්පත පුරවල භාරදීලා තියෙන්නේ. හැබැයි තුන් දහසකට වැඩි පවුල් සංඛ්‍යාවක් ප‍්‍රදේශයේ ඉන්නවා. හැබැයි ඒ අයට වතුර ගන්න තරම් වත්කමක් නැහැ. අනික වතුර දෙන්න රුපියල් 19,500ක මුදලක් බඳින්න ඕනේ. ප‍්‍රශ්නය වතුර නම්, වතුර ගන්න ජනතාවට මුදල් නැත්නම්, ඊට විකල්පයකට යන්න ඕනේ. මම දකින්නේ මේ වෙලාවේ සිරිධම්ම හිමියන් කළේ ජනතාව පැත්තෙන් හිතල වැඩ කරපු එකයි. උන්වහන්සේ ඒ ගැන ජනතාවගෙන් අහල ඒ තීන්දුව ගත්තු නැති එකයි මෙතැන සැකයට ලක්වෙලා තිබෙන්නේ මේ කතාව පුවත් පතට කීවේ රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරියෙකි. ජල ප‍්‍රශ්නය නිසා එම නිලධාරියාගේ පවු‍ලේ සාමාජිකයන්ද අසනීප වී සිටින අතර ඔවුන් අවුරුදු ගණනාවක සිටම බොන්නේ බෝතල් ජලයය. වැලිවේරියේ සටනට නායකත්වය පවා දුන් එම නිලධාරියා තම නම හෙළි නොකරන ලෙසද අපගෙන් ඉල්ලීමක් කරනු ලැබිය.

වැලිවේරියේ ජල ප‍්‍රශ්නයත් සමග විවිධාකාර දේශපාලනඥයන්, පක්ෂ නායකයන් පවා සිරිධම්ම හිමියන් මුණ ගැසෙන්නට පැමිණ තිබිණි. ඔවුන් උන්වහන්සේට අවධාරණය කර තිබුණේද සටන අත් නොහරින ලෙසය. ඒ අතර ඇතැම් දේශපාලනඥයන්ගේ සැලසුම වී තිබි ඇත්තේ එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයට උන්වහන්සේව ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් කිරීමටය. ඊට එක්තරා දේශපාලන පක්ෂයක බලධාරීන් අතර කතා බහක්ද තිබි ඇත. එහෙම තියෙන්න ඇති. ඒ වුණාට මම නම් ඒ ගැන මොකවත් දෙන්නේ නැහැ සිරිධම්ම හිමියන් ඒ ගැන සඳහන් කළේ එලෙසය.

අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ ජල ප‍්‍රශ්නය ඇදුණේ ෆැක්ටරියේ හොරකමකට සේවකයෝ දෙන්නෙක් ඉවත්කිරීමත් සමගයි. ඊට එරෙහිව වැඩ වර්ජනයක් පවා කර්මාන්ත ශාලාවේ ක‍්‍රියාත්මක වුණා. ඒ වෙලාවේ කර්මාන්ත ශාලා පාලනාධිකාරිය සේවකයෝ 117 ක් වැඩ වර්ජනය කළාට ඉවත් කළා. ඔන්න එතකොටයි ජල ප‍්‍රශ්නය එළියට ආවේ. කර්මාන්ත ශාලාව වහන්න ඕනේ කියුවේ. මේ වෙලාවේ එම සේවකයෝ 117 දෙනා ලොකු පරිත්‍යාගයක් කරල තියෙනවා. ඒ තමයි මේ වෙලාවේ ඒ අයව සේවයට බඳවා ගැනීමට පාලනාධිකාරිය එකඟ වෙලා තිබුණත් කර්මාන්තශාලාව බියගමට ගිය පසු තමන් සේවයට පැමිණෙන්නම් යයි කියා තිබිම. යැයි ගම්වැසියෙක් සැඟවුණු කතාවක් හෙළි දරව් කළේය.

මෙම සේවකයන්ට තමන්ගේ රැුකියාවට වඩා කර්මාන්ත ශාලාව වැලිවේරියෙන් ඉවත් කිරීම වැදගත්වී ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ අතර ජල ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කෙරෙන උද්ඝෝෂණ, රථ පෙළපාළි පවා තහනම් කිරීමට ‍පොලීසිය පියවරගෙන හමාරය. ඒ මහජන සේවයට මුල්තැන දෙමින් බව ‍පොලීසිය කියන කතාවකි. දැන් රතුපස්වල ජනතාව මෙහෙයැවීමට නායකත්වය දෙන්නට ඉදිරිපත් වී සිටින සියනෑ ජලය සුරැුකීමේ ජන නැගුමේ කැඳවුම්කරු ප‍්‍රමිත හෙට්ටිආරච්චි මහතාටද මරණ තර්ජන එල්ල වී හමාරය. ඒ බව ඔහු මල්වතු හිරිපිටිය ‍පොලීසියට පැමිණිල්ලක් ද කර තිබේ. විවිධ දේශපාලන පක්ෂ මේ වන විට තම තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට අනුව රතු පස්වල ජල ප‍්‍රශ්නය කරලියට ගෙන යන්නට උත්සහ දරන විට, ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් ජනතාවගෙන් තවත් කොටසක් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව රූකඩ බවට පත්කර ගෙන සිටින්නේ ජනතා උද්ඝෝෂණ එහෙන් පිටින්ම යටපත් කිරීමේ ච්තෙනාවෙන් බව පෙනේ.

රතුපස්වල ජලය දුෂණය වීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන 12කින් කෙරුණු පරීක්ෂණ වාර්තාද ගම්පහ දිස්ත‍්‍රික් ‍ලේකම් ඡෙ–.ඡෙ–. රත්නසිරි මහතා අතට පත්වන්නේ ද මේ අලකලංචි අස්සේය. පේරාදෙණිය, මොරටුව, කැලණිය යන විශ්ව විද්‍යාලවල විද්‍යාපීඨවල සහයද ඇතිව පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැුසක සහභාගිත්වයෙන් කෙරුණු එම පරීක්ෂණ මගින් රතුපස්වල පමණක් නොව ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැුසක්ම ආවරණය විය. දැනගන්නට ඇති ආකාරයට එම පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇතැයි පැවැසෙන්නේ රතුපස්වල ජලය අපවිත‍්‍රවීමත්, කර්මාන්ත ශාලාවත් අතර සම්බන්ධකමක් නැති බවකි. නයිටෙ‍්‍රට් මිශ‍්‍රණය පමණක් එම ප‍්‍රදේශයේ පසෙහි ඇති බව එහි සඳහන් වන අතර එය සමනය කළ හැකි බවට විද්‍යාත්මක මතයක් එහි ඉදිරිපත් කර තිබෙන බවද සඳහන්ය.

ජලයේ ආම්ලිකතාවය ඇත්තේ රතුපස්වල පමණක් නොව, ගම්පහ දිස්ත‍්‍රික්කයේ බොහෝ තැන් වල තත්ත්වය එසේම බවද එම පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇති බව කියයි. ඒ තුළින් පරීක්ෂකයන් කියන්නට උත්සහා දරා ඇත්තේ කර්මාන්ත ශාලාව සහ ජලය ¥ෂණය වීම අතර සම්බන්ධයක් නැති බව විය හැකිය. එසේ ගම්පහ ජලය දුෂණය වීමට හේතු ලෙස දක්වා ඇතැයි පැවැසෙන්නේ ගෙවී ගිය පහළොස් වසර තුළ එහි ජනගහනය සිව් ගුණයකින් වැඩිවීම, වැසිකිළි ප‍්‍රමාණය වැඩිවීම, රසායනික ‍පොහොර භාවිතය වැඩිවීම, රසායන ද්‍රව්‍ය ‍පොළාවට වැඩි වශයෙන් එකතුවීම ආදිය වේ. මෙකී වාර්තාව ළඟදීම දිස්ත‍්‍රික් ‍ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා අතට පත්කරනු ඇත. ජනාධිපතිවරයා මෙම ප‍්‍රශ්නයේදී පැහැදිලිවම සඳහන් කරනු ලැබුවේ කර්මාන්ත ශාලාවෙන් ජල ප‍්‍රශ්නය ඇතිවේනම් අනිවාර්යයෙන්ම කර්මාන්තශාලාව රතුපස්වලින් ඉවත් කරන බවය. දැන් මේ වාර්තාවට අනුව වරදකරු කර්මාන්ත ශාලාව නොව ජනතාවමය. ඒ අනුව ඉදිරි මාස 06 කින් ගලවා ඉවත් කරගෙන යනවා යැයි කී කර්මාන්ත ශාලාව තවත් චිරාත් කාලයකට නොගැලවෙනු ඇත. ඊට එරෙහිව ඇති ජනතා හඬද කොටස් වලට කැඞී දැන් නිහඩ වී ඇති බැවින් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියටද රිසිසේ තම නිෂ්පාදන කටයුතු ද කරගෙන යාමට හැකිවනු ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...