පේ‍රෂර් එක අඩු කර දිවි ගමන දික් කර ගන්න ආයුර්වේදයෙන් උපදෙස්

“මට පේ‍රෂර්” යැයි පවසන පුද්ගලයන් කී දෙනෙකු ඔබට ෙදෙනිකව මුණ ගැසෙන්නේදැයි සිතා බලන්න. පේ‍රෂර් යනු පීඩනය වුවත් ‍පොදු භාවිතයේදී පේ‍රෂර් යනු “අධි රුධිර පීඩනය” හඳුන්වාදෙන ආකාරයයි. වත්මන් සමාජයේ ඉතා පුළුල් ලෙස පැතිරී ඇති රෝග තත්ත්වයක් වන අධි රුධිර පීඩනය නොහොත් පේ‍රෂර් එක සහ ඊට හේතු වන කරුණු කාරණා මෙන්ම අධිරුධිර පීඩනයෙන් මිදී දිවි ගෙවනා ක්‍රමය පිළිබඳ හෙළ වෙදකමේ එන සිද්ධාන්ත මත පිහිටා බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය ම.හේ. නිමල් කරුණාසිරි මහතා කරන විග්‍රහයක් ඇසුරෙන් මේ ලිපිය ලියවේ.

සත්වයෙකුගේ ජීවය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය කරුණක් ලෙස රුධිර සංසරණය දැක්විය හැක. රුධිර සංසරණයේ මූලික අවශ්‍යතාව වනුයේ රුධිර පීඩනයයයි. ආයුර්වේද නියමයන්ට අනුව රුධිර පීඩනය අවස්ථා තුනකදී මිනිසාට ගැටලු පමුණුවයි. ඉන් පළමු වැන්න අධි රුධිර පීඩනය වන අතර දෙවැන්න අව රුධිර පීඩනයයි. මේ කරුණු දෙකම රුධිර සංසරණ වේගයට සෘජුව බලපාන අතර, සිරුරේ ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධතියේ ස්ථාන ගණනාවක ගැටලු ඇති කිරීමට මෙම කරුණු දෙක ඉවහල් වෙයි. තුන්වැනි අවස්ථාව රුධිර කාන්දුවයි. අභ්‍යන්තර රුධිර වහනය ලෙස හඳුන්වන මෙම තත්ත්වයටද රුධිර සංසරණයේ පීඩනය නොහොත් “පේ‍රෂර්” එක තීරණාත්මක ලෙස බලපායි.
අපගේ දිවි පැවැත්මට සෘජුව බලපාන රුධිර පීඩනයේ මේ කී විත්තින් තුන ‍පොදු ෙජෙව වෛද්‍ය විද්‍යාත්මක ආකෘතියක පිහිටා විග්‍රහ කර ප්‍රතිකාර කිරීමට බටහිර මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ද පෙළඹීම නිසා රුධිර පීඩනය ආශ්‍රිත රෝග තත්ත්වයන් සමනය කිරීම වෙනුවට තාවකාලිකව යටපත් කිරීම වර්තමානයේදී සුලභව සිදුවෙයි.
රුධිර පීඩනය යනු විචල්‍ය දෙයකි. එය ස්ථිර අගයකට නොපිහිටයි. එබැවින් රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීමට මෙන්ම ප්‍රතිකාර ලැබිමටද පෙර රුධිර පීඩනය ආශ්‍රිත කරුණු කාරණා හුදු ෙජෙව විද්‍යාත්මක ආකෘතියෙන් බැහැරව විග්‍රහ කර බැලීම වැදගත්ය. රුධිර පීඩනයට සෘජුව හේතුවන පාරිසරික සමාජයීය ආර්ථික සහ මානසික කරුණු පිළිබඳ වෙන් වෙන්ව විමසා බැලීම රුධිර පීඩනය ආශ්‍රිත රෝග තත්ත්වයකට ප්‍රතිකාර කිරීමට මෙන්ම ප්‍රතිකාර ලැබිමේදීද අනිවාර්යයෙන්ම වැදගත් වෙයි.

යම් පුද්ගලයෙකුට අධිරුධිර පීඩනය වැළඳීමට බලපාන හේතු කාරක අතර ෙජෙව විද්‍යාත්මක හේතු මුල්තැනක් ගනී. රුධිර නාල අවහිර වීම මෙන්ම, වකුගඩු අක්මාව වැනි ප්‍රධාන ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝග තත්ත්වයන් නිසාද ඔබ අධිරුධිර පීඩනයට ලක්විය හැක. එවැනි පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමේදී රෝග මූලය නොසලකා රුධිර පීඩනය සාමාන්‍ය අගයකට ගැනීම පමණක් ඉලක්ක කර ප්‍රතිකාර කිරීම දිගු කාලීන ගැටලු රාශියක් ඇති කරයි. මෙවැනි අවස්ථා බොහෝ විට ඉතා අවාසනාවන්ත ආකාරයෙන් කෙළවර වෙයි. රෝග මූලයන් නිසි ලෙස වටහා ප්‍රතිකාර ඇරඹීම මීට ඇති හොඳම විසඳුමයි.

ඔබ විසින් සිදු කරනා වැරදි ජීවන පුරුදුද අධි රුධිර පීඩනයට ඔබ ලක් කරයි. එළිමහනේ කය වෙහෙසවා සිදු කරන ක්‍රියාවන් ගෙන් ඈත්ව සිටීම, ක්‍රීඩා සහ ව්‍යායාම් සඳහා යොමු නොවීමද මනස අධිකව වෙහෙසීම සහ ආතතිය වඩවන ආකාරයෙන් දිවි ගෙවීමද රුධිර පීඩනයට හේතු වෙයි. ඔබේ ආහාර රටාව ඔබ අධිරුධිර පීඩනයට නතු කරනා ප්‍රධාන සාධකයක් වෙයි. ඕනෑම පුද්ගලයෙකු ලබා ගන්නා ආහාර පුද්ගල සාත්ම මෙන්ම දේශ සාත්ම විය යුතු බව ආයුර්වේදයේ පැහැදිලිවම සඳහන් කරයි.
මෙම ප්‍රකාශය අද වන විට විද්‍යාත්මකවද තහවුරුව ඇත.

ඒ අනුව ශ්‍රී ලාංකික ඔබේ ආහාරයට ඇමෙරිකාවේ වැවෙන තිරිඟුවලට වඩා දේශීයව වැවෙනා කුරක්කන් සහ මෙනේරි වැනි බෝග සුදුසු බව සිහියේ තබා ගැනීම වැදගත්ය. අවාසනාවකට මෙන් ඔබේ ආහාරයට කුරක්කන් වැනි දේශීය ආහාර එක් කර ගනු වෙනුවට සුදු කරන ලද පිටිවලින් සකසන ලද ආහාර එක්කර ගැනීමට පුරුදු වීම නිසා ඔබ රෝග රාශියක් වැළඳීමේ අවදානමකට ලක් වෙමින් සිටී. අධි රුධිර පීඩනය ඉන් එකක් පමණි.

ආහාර ගැනීමේ කලාවද අද වන විට බරපතළ ලෙස විකෘති වෙමින් පවතී. අනාදිමත් කාලයක් අතේ ඇඟිලිවලින් ආහාර ගත් අප අධිරාජ්‍යවාදී ඉතිහාසයකට ගැතිවී හැන්ද ගෑරුප්පුව භාවිතා කිරීමද, අපට අනන්‍ය දේශීය ආහාරවලින් ඈත් කිරීමට හේතු වී ඇත. කොස් ඇට, මුරුංගා, නියඹලා මැල්ලුම්, පිට්ටු, බත් වැනි ආහාර අතින් අනා මිස හැඳි ගෑරුප්පුවලින් ඇන කෑමට නොහැකිය. වර්තමානයේ බොහෝ දෙනෙකු ෆ්‍රයිඩ් රයිස්, සොසේජස් වැනි ලවණ, අම්ල, තෙල්, යන සිරුරට හානි දායක ද්‍රව්‍ය අඩංගු ආහාර කලාවකට නතු වී සිටියි. මෙම තත්ත්වය ඔබේ පමණක් නොව ඔබේ දරුවන්ගේ සෞඛ්‍යයද බරපතළ අවදානමකට ඇද දමා ඇත. එකී අවදානම කොතරම්ද යත් අධික රුධිර පීඩනයෙන් නතර නොවී පිළිකා, මධුමේහය, රුධිර ගත මේදය, අම්ල පිත්ත වැනි රෝග රාශියක් වෙත ඔබ තල්ලු කරනා බව නොරහසකි.

හුදු භෞතික ඉලක්ක හඹා යෑමේ පහසුව තකා ඔබ විසින් සංකීර්ණ කර ගෙන ඇති ඔබේ ජීවිතයේ ඇති අවිවේකී බවද ඔබ රෝගී කරවයි. රජකු ලෙස ගතයුතු උදෑසන ආහාරය රිය පදවන අතරතුර යාචකයෙකු ලෙසින් ගැනීමට ඔබ පෙළඹීම නිසා ඔබේ සෞඛ්‍යය විනාශ වීම පමණක් නොව රටේ මාර්ග නීතිද උල්ලංඝනය වෙයි.
අධ්‍යාපනය සම්බන්ධව දරුවන් තුළ ඇතිකර ඇති අහේතුක බිය සහ සීමාන්තික තරගකාරිත්වය නිසා ඔවුන් ආතතියට ලක්වීමට අමතරව බරපතළ ‍පෝෂණ ගැටලුවලටද ලක්වෙමින් පවතී.

ඔබ දිවි ගෙවන පරිසරයද ඔබේ රුධිර පීඩනයට සෘජුව බලපෑම් කරයි. ඝෝෂාකාරී බවින් පිරි මානසික සුවය බිඳ දමන පරිසරයක් මෙන්ම පෞද්ගලික හේතුමත ඔබ නොරුස්සන පරිසරයක දිවි ගෙවීමද ඔබේ රුධිර පීඩනයද ඉහළ දමයි.

ඔබේ ආර්ථික සහ සමාජීය ගැටලුද ඔබේ රුධිර පීඩනය ඉහළ දමනා බව නොකියාම බැරිය. බොහෝ දෙනා තමන්ට දරා ගත නොහැකි ආකාරයේ විය පැහැදම්වලට නතුවීම නිසා දිගු කාලීන ණය බරින් පීඩා විඳින අතර එයද ඔබේ රුධිර පීඩනය ඉහළ දැමීමට හේතුවක් වෙයි.

ඔබේ එදිනෙදා වැඩකටයුතු නවීකරණය කිරීමට යෑම නිසාද ඔබ රෝගී වෙයි. අතීතයේදී සියලු මානව චර්යාවන් ශ්‍රමය වැය කිරීම මත පදනම් වී තිබුණි. ආහාර සපයා ගැනීම, ආහාර පිළියෙළ කිරීම, ගමන් බිමන් යෑම වැනි සෑම දෙයක්ම දහදිය වැටෙනා ක්‍රියාවන්ගෙන් සමන්විත විය. ආර්ථික දියුණුව සහ ඔබේ සමාජීය දිවිය ඉහළ යෑමට සාපේක්ෂව මෙකී ජීවන රටාව බිඳ වැටුණ බව නොරහසකි. සුපිරි වෙළඳසලක දොරකොඩට වාහනයකින් ගොස් තෝරා ගන්නා බඩු භාණ්ඩ එහි සේවකයෙකු ලවා වාහනයට පටවා ගන්නා තරමට ඔබේ දිවිය සංකීර්ණ වී තිබිමත් ආහාර පිසීම වැනි බොහෝ දේ එක බොත්තමක් තදකර කරගැනීමට හැකි වීමත් නිසා පසුගිය දශක කිහිපයේ ඔබේ චර්යාවන් බරපතළ වෙනස්කම්වලට ලක්විය.

මෙකී වෙනස්කම් අපට සිදුවූ වැරදි ලෙස වටහා ගෙන ඉන් බැහැර වීම වෙනුවට බහුතරයක් ඒවා දියුණු සමාජයක අනිවාර්ය පහසුකම් ලෙස අර්ථ දක්වන්නට වීම අතිශය කනගාටුදායකය. ඔබත් මේ වැරදි අර්ථකථනයේ යෙදෙන්නේ නම් එකී චර්යාවන් නිසා ඔබට වැළදෙන අධික රුධිර පීඩනය වැනි රෝගද සතුටින් පිළිගැනීමට හිත හදා ගත යුතුය.
මේ ආකාරයෙන් බලන කල අධි රුධිර පීඩනය යනු වෛද්‍ය විද්‍යාත්මක කෝණයකින් පමණක් බලා විග්‍රහ කළ හැකි රෝගයක් නොවන බවත්, එය ඔබ දිවිගෙවනා සමාජය සහ පාරිසරික පසුබිම් සමගත් බැඳී ඇති අතිශය සංකීර්ණ රෝගයක් බවත් වටහා ගත හැක.එනිසා අධි රුධිර පීඩනයෙන් මිදීමට රුධිර පීඩනය ඉලක්ක කර ගත් ඖෂධීය ප්‍රතිකාරවලට පමණක් නොහැකි බව වටහා ගත හැක.
අධි රුධිර පීඩනයෙන් මිදෙනුවස් ඔබේ චර්යාවන්, ආහාර පුරුදු, ශරීරයට හිතකර ලෙස සංවර්ධනය කරගත යුතු අතර ආතතියෙන් සහ කනස්සලෙන් තොරව සැහැල්ලු සිතින් දිවි ගෙවීමද ඉතා වැදගත් වෙයි.

මිනිසුනට වැළදෙන බොහෝ රෝග මුළුතැන්ගෙය තුළදී පාලනය කළ හැකි බව කියවේ. ඒ අනුව ඔබගේ ආහාර කලාවද පුද්ගල සාත්ම සහ දේශ සාත්ම ආකාරයෙන් ගොඩ නගා ගත යුතු බව අපි අවධාරණය කරන්නෙමු. සුදු කරන ලද පිටි, නිවුඩ්ඩ ඉවත් කරන ලද හාල්, සුදු සීනි, සහ කෘත්‍රිම ආහාර ඔබේ ආහාර වේලෙන් ඉවත් කිරීමත් ලාංකිකයාගේ ජානගත උරුමයන් වන කුරක්කන්, තල, මෙනේරි, මුං, නිවුඩු සහල්, පලතුරු, එළවළු වැනි ආහාර මෙන්ම මත්ස්‍ය ආහාරද ඔබේ ආහාරයට යහමින් එක් කර ගැනීමද අධික රුධිර පීඩනයෙන් මිදීමට උපකාර වෙයි.

අධික රුධිර පීඩනය යනු වෛද්‍ය වෘත්තිකයෙකුට පමණක් පාලනය කළ හැකි රෝගයක් නොවන බවද වටහා ගැනීම ඉතා වැදගත් වෙයි. ඔබේ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාව වඩාත් හොඳින් ඇත්තේ ඔබට පමණක් බව වටහා ගෙන කටයුතු කිරීමත් සරල දිවි පැවැත්මකට නතුව දිවි ගෙවීමත් රුධිර පීඩනයට එරෙහිව සපයා ගත හැකි හොඳම ආයුධ බව අපි අවධාරණය කරන්නෙමු. අධික රුධිර පීඩනයේදී පමණක් නොව ඔබට වැළඳෙන ඕනෑම රෝගයකදී පළපුරුදු සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලැබිමද ඉතා වැදගත් බව අපි අවධාරණය කරන්නෙමු.

බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය ම.හේ. නිමල් කරුණාසිරි

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...