පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වී වසර තුනක් වැනි කෙටි කාලයක් ගත වී ඇතත්, ඔහු රටේ දේශපාලනයේ නිතරම නම කියෑවෙන චරිතයක් වී තිබේ. අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ එක් පුතෙක් වුයේ තවත් අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායකය. ඩී. එස්. ගේ අනෙක් පුතා වුයේ රොබට් සේනානායකය. රොබට් සේනානායක තම රුක්මන්, දේවින්ද, රංජනී හා යස්මින් නමින් දරුවෝ සිව්දෙනෙක් වූහ. අපේ අද කථානායක, රුවන් විජයවර්ධනගේ මව වන්නේ, රොබට් සේනානායකගේ දියණියක් වන රංජනී සේනානායකය. ඔහුගේ පියා, රංජිත් විජයවර්ධනය. විජය පුවත්පත් සමාගමේ සභාපති ඔහුය. රංජිත්ගේ පියා, ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනය. රුවන්ගේ මවුපිය, පරපුරේ පසුබිම එසේය. රුවන්ගේ පියා වන රංජිත් විජයවර්ධනගේ සොහොයුරිය නාලනී විජයවර්ධනය. ඇයගේ එක් පුතකු වන්නේ රනිල් වික්‍රමසිංහය. ඒ අනුව රුවන්, රනිල් වික්‍රමසිංහගේ ඥති සොහොයුරා ය.
රුවන්ගේ නම දේශපාලන කරළියේ නිතර කියෑවෙන්නේ, රනිල් සමග ඔහුට ඇති ඥතිත්වය හා ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ ප්‍රබලම පුවත්පත් සමූහයේ හිමිකරු වන නිසාය. කොළඹ, කිංසි පාරේ ඔහුගේ කාර්යාලයට අප පිවිස ස්වල්ප මොහොතකින් ඔහු පැමිණියේය.
ආ ගිය තොරතුරු කතා කරන විට, ඔහුගේ කාර්යාලය පිළිබඳව විස්තරයක් ද ඔහු විසින් අප වෙත පැවසුවේය.
මේ කාර්යාලය, රොබට් සේනානායකගේ නිදන කාමරය ය, මේ තැන දේශපාලන වැඩකටයුතු කෙරුණු පැරණි තැනක්. මේකේ එහා පැත්ත තමයි වුඩ්ලන්ඩ්ස් මන්දිරය. ඩඩ්ලිගේ මරණය වෙලාවේ, ප්‍රේමදාසට විරුද්ධව හිටපු කට්ටියක් එයාට ගහන්න හදලා තියෙනවා. මේ කාමරයට ප්‍රේමදාසව දාගෙන තමයි බේරගෙන තියෙන්නේ. රුවන්, පරණ කතාවක් අපට පැවසීය.
ඩඩ්ලි සේනානායකගෙ මරණය දවසේ, ප්‍රේමදාස බේරී ඇත්තේ රොබට් සේනානායකගේ නිදන කාමරයට පැමිණීමෙනි. අද රොබට්ගේ මුණුපුරා වන රුවන් හා ප්‍රේමදාසගේ පුත් සජිත් එකම දේශපාලන කරලියේය. වත්මන් දේශපාලන කරළියේ හැසිරීම පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, එජාප නායකත්ව මණ්ඩල සභික රුවන් විජයවර්ධන “දිවයින ඉරිදා සංග්‍රහය” සමග කරන ලද සාකච්ඡාවකි මේ..
ප්රශ්නය – බොදු බල සේනා සංවිධානය සමග සිරිකොත මූලස්ථානයේදී ඇති වූ ප්රශ්නයේදී ඔබ ඇතුළු එජාප මන්ත්‍රීවරු පිරිසක්, එම සංවිධානයෙන් සමාව ගත් බව සමහරුන් කිව්වා… නමුත් එ.ජා.පක්ෂයේ සමහරුන් පවසන්නේ එවැනි සමාවක් ගත්තේ නැති බවයි. බොදු බල සේනා සංවිධානය සමග පක්ෂය වෙනුවෙන් සාකච්ඡාවට ගිය පුද්ගලයෙක් ඔබ….. ඇත්තටම එතැනදී මොකද වුණේ…..?
පිළිතුර – මමත් එතැනට ගියා. අපි එතැනට ගියේ, සමාව ඉල්ලන්න නෙමෙයි. බොදු බල සේනා සංවිධානය ආපහු සිරිකොත ඉදිරිපිටට ඇවිල්ලා කියන ආරංචිය අපිට ආවා. නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් මෙම සංවිධානය හම්බුවෙලා සාකච්ඡා කරන්න ඕනේ කියන තීරණයට පක්ෂය ආවා. මම නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක්. අපේ පක්ෂයට පුද්ගලයෙක් හෝ සංවිධානයක් චෝදනා එල්ල කරනවා නම්, ඒකට මුහුණ දෙන එක මගේ යුතුකමක්.
එදා බොදු බල සේනා සංවිධානය සිරිකොතට කඩාගෙන පැනපුවාම, සිරිකොත ආරක්ෂා කරන්න අපේ පාක්ෂිකයන් පියවර ගත්තා. එතැනදී ඒ අය සාධාරණයි. ඊට පස්සේ දවසක බොදු බල සේනා සංවිධානය සිරිකොතට ආවාම, මමයි, රවි කරුණානායක මන්ත්රීතුමයි, දයා ගමගේ මන්ත්රීතුමයි, අපේ ඥනසාර ස්වාමීන් වහන්සේ සමග එදා සාකච්ඡා කරනකොට, උන්වහන්සේ පැවසුවේ, බොදු බල සේනාවට විරුද්ධව ඡායාරූප එදා තිබුණු ප්‍රදර්ශනයේ තිබුණා කියලා…. ඒ නිසා බොදු බල සේනාවට ගිහිල්ලා ඒක බලන්න අයිතියක් තියෙනවා කියලා…… උන්වහන්සේ පැවසුවා. එහෙනං, ඒකත් හරි………
නමුත් එදා ස්වාමීන් වහන්සේලා අපේ මහලේකම්තුමාට දුරකථනයෙන් කතා කරලා, මේක බලන්න පුළුවන්ද කියලා දුරකථනයෙන් හරි ඇහැව්වා නම් ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි එදා සමාව ඉල්ලන්න ගියේ නැහැ. නමුත් අපේ අතින් වරදක් වෙලා තිබුණා නම් ඒ ගැන මම කනගාටු වෙනවා. කවුරු හරි සිරිකොත ඇතුළට ඇවිල්ලා, අපහසුතාවකට පත්වෙනවාට මම කැමැති නැහැ. අපි ගියේ ඒ ගැන සාකච්ඡා කරන්න විතරයි.
එක්සත් ජාතික පක්ෂය කිසිදාක චීවරයට අගෞරව වන ආකාරයට කටයුතු කර නැහැ. මාහමාන්ය ඩී. එස්. සේනානායක මැතිතුමා පක්ෂය ආරම්භ කළ දා සිට මේ දක්වා බලයට පැමිණි සෑම නායකයකුම මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගනිමින් උන් වහන්සේලාගේ මතයට ගරු කරමින් ක්‍රියා කර ඇති බව සිහිපත් කළ යුතුය.
ප්රශ්නය – ඔබගේ දේශපාලන ජීවිතය වැඩි කාලයක් ගත වූවක් නෙවෙයිs. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු බොහොමයක් සිටිනවා. පක්ෂය වෙනුවෙන් කැපවීම් කළ බොහොම දෙනා සිටිනවා………. එසේ වුවත් කනිෂ්ඨයකු වූ ඔබ, පක්ෂයේ නායකත්ව මණ්ඩලයට එනවා. ඔබ නායකත්ව මණ්ඩලයට පත්වීම සාධාරණයි කියා ඔබ හිතනවාද…..?
පිළිතුර – මාව නායකත්ව මණ්ඩලයට පත් කළේ මන්ත්‍රී කණ්ඩායමක්a, පාර්ලිමේන්තුවට පළවැනි පාර පත්වූ මන්ත්‍රී කණ්ඩායමෙන් තමයි මාව ඒ සඳහා යෝජනා කළේ, හරින් ප්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නිරෝෂන් පෙරේරා, අජිත් පෙරේරා වැනි පිරිසක් තමයි එතැන හිටියේ. මම මේකට පත්වෙන කොට මම ලංකාවේ හිටියෙවත් නැහැ. මම හොනලුලුවල දේශපාලන වැඩසටහනකයි හිටියේ. මට දුරකථනයෙන් එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කතා කරලා කිව්වා මගේ නම නායකත්ව මණ්ඩලයට, නව මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරලා තියෙනවා කියලා…….
මම එතකොට ඇහැව්වා….. “මේකෙන් ප්‍රශ්නයක් ඇතිවෙයිද” කියලා. “නැහැ…… ඒක අපි නායකතුමාට කිව්වා, ඒ වෙලාවේ නායකතුමා, අපිව බැනලා එලවා ගත්තා කියලා…..” එරාන් මන්ත්‍රීතුමා මට කිව්වා. නායකතුමා දැඩිව විරුද්ධ වුණා. මගේ නම නායකත්ව මණ්ඩලයට යෝජනා වීම ගැන. නායකතුමා අහලා තිබුණා. “ඕගොල්ලෝ හිතනවාද මමත් රාජපක්ෂ කෙනෙක් කියලා. මගේ ඥතීන් මේකට ගේන්න” කියලා.. “ඕගොල්ලෝ මෙයාව ගේනවා නම්, මම මෙතැනින් අයින්වෙලා යනවා” කියලා බැනලා තිබුණා……”
“එහෙමනම් මගේ නම දාන එක හොඳ නැහැ” කියලා මම ආයෙත් කිව්වා. එතකොට එරාන් මන්ත්‍රීතුමා කිව්වා “අපි තීරණයක් අරගෙන තියෙනවා. තරුණයෙක් නායකත්ව මණ්ඩලයේ ඉන්න ඕනේ කියලා…… ඒ නිසා ඔයා මේක භාර ගන්න” කියලා. මේ මන්ත්‍රී කණ්ඩායම දිගටම මේ ස්ථාවරයේ සිටියා.
පස්සේ මමත් කිව්වා, මම මේකෙන් අයින් වෙන්නම් කියලා. මොකද නායකතුමා, අනිත් කට්ටියට කියලා, මාව මේකට දැම්මා කියලා කවුරු හරි කියන්න පුළුවන් නිසා එහෙම වුණොත් ඒක නායකතුමාටත් හොඳ නැහැ. පක්ෂයටත් හොඳ නැහැ. මටත් හොඳ නැහැ. ඒ නිසා අන්තිමටත් මම, හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාට කිව්වා, මම මෙතැනින් අයින් වෙන්නම්, හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ආර්ථික විද්‍යාඥයකු නිසා නායකත්ව මණ්ඩලයේ ඉන්න එක සුදුසුයි කියලා මම යෝජනා කළා.
ඒ අවස්ථාවේදී, හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා, දැඩිව හිටියා. ඔහු එතැනට ඇතුල් වෙන්නේ නැහැá එතැනට මම යා යුතුයි කියලා, අන්තිමට මටත් කරගන්න දෙයක් නැහැ. මට මණ්ඩලයට ඇතුල් වෙන්න සිද්ධ වුණා.
ප්රශ්නය(- චෝදනාව එල්ල වෙන්නේ. විපක්ෂ නායකතුමා, තම ඥාති සොහොයුරාව පක්ෂ නායකත්වයට ගෙන ඒම සඳහා යන ගමනක ආරම්භයක් ලෙසයි මේ පත්වීම සිදු වුණේ කියලා.
පිළිතුර(- ඒක අමූලික බොරුවක්. ඔය වගේ කතාවක් එන බව දන්න නිසා තමයි, මම කිව්වේ, මේකෙන් මම අයින් වෙන්නම් කියලා. නායකතුමාව දන්න කට්ටිය දන්නවා, එතුමා කවදාවත් තමන්ගේ ඥතියකු ගැන බලන්නෙවත් නැහැ කියලා දේශපාලනයෙදී සුදුස්සාට සුදුසු තැන දෙන එක තමයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විදිහ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වගේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා, දේශපාලනය කරන්නේ. ජේ. ආර්. ජයවර්ධන එදා ප්‍රබල දෙවැනි පෙළක් හැදුවනේ. ප්‍රේමදාස මහතා, ගාමිණී දිසානායක මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා වගේ අය හිටියනේ. එතැනත් දක්ෂයාට තමයි තැන එන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ වගේ තමයිá ඥාතිත්වය එතුමා කොහෙත්ම ගණන් ගන්නේ නැහැ. රටට, පක්ෂයට සේවය කරන්න පුළුවන් සුදුස්සකුට එතුමා නායකත්වය භාර දෙයි.
ප්රශ්නය(- එජාප අර්බුදයේදී හොඳ භූමිකාවක් රඟපාන්න ඔබට පුළුවන්. එක් අතකින් ඔබ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියෙක්. අනෙක් අතින් තරුණයෙක්. සජිත් ප්‍රේමදාස මහතා සමඟ කතාකර පක්ෂ අර්බුදය සඳහා විසඳුමක් ගෙන ඒමට ඔබ උත්සාහයක් දරන්නේ නැත්තේ ඇයි?
පිළිතුර(- මගේ ස්ථාවරය නම් සජිත් ප්‍රේමදාස මහතා නායකත්ව මණ්ඩලයේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. එතුමා එක්ක අපේ මන්ත්‍රී කණ්ඩායමක් කතාකරන්නත් කැමැති වුණා. මගේ බලාපොරොත්තුව තමයි, එතුමා මේ නායකත්ව මණ්ඩලයට ළඟදීම එයි කියලා. පක්ෂය ඉදිරියට ගෙන යන්න නම්, එතුමා මේ මණ්ඩලයේ ඉන්නම ඕනේ. තලතා අතුකෝරාළ මහත්මියත් අනිවාර්යයෙන්ම මේ මණ්ඩලයේ ඉන්න ඕනේ. එහෙම වුණොත් අපිට එකමුතුව මේ ගමන යන්න පුළුවන් වෙයි.
ප්රශ්නය(- එජාපයේ තිබෙන ප්‍රශ්නයට මේ නායකත්ව මණ්ඩලය විසඳුමක් නෙවෙයි කියලා බොහෝ දෙනෙක් කියනව, මේක තවත් මණ්ඩලයක් පමණයි කියලා. පක්ෂය වැටී තිබෙන අර්බුදයෙන් ගොඩඑන්නට මේ මණ්ඩලයට පුළුවන්ද?
පිළිතුර(- අනිවාර්යයෙන්ම පුළුවන්. මම කරු ජයසූරිය මන්ත්රීතූමා එක්ක පසුගියදා කතා කළා. දැන් මේ මණ්ඩලයට තමයි පක්ෂය ගැන වගකීම තියෙන්නේ කියලා එතුමා කිව්වා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අඩියක් පිටිපස්සට ගත්තා. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. එතුමාගේ බලතල නායකත්ව මණ්ඩලයට පවරලා ඉවරයි. ඒ බලතල තියෙන්නේ නායකත්ව මණ්ඩලය අතේ. අපි දැන්a පාක්ෂිකයන්ගේ හිත දිනා ගන්න පටන් ගන්න ඕනේ. අපිට වැඩපිළිවෙළක් තියෙනවා. එහෙම යනකොට පාක්ෂිකයන්ට පෙනෙයි අපේ මණ්ඩලයෙන් පක්ෂයට අලුත් ජීවයක් ලැබෙනවා කියලා.
ප්රශ්නය(- ඔබගේ නායකතුමා ප්‍රකාශ කර තිබුණා 2014 වෙනකොට එජාප රජයක් බලයට පත්කරනවා කියලා. ඇත්තටම මේ නායකත්ව මණ්ඩලයට එවැනි ගමනක් යන්න සැලසුමක් තියෙනවාද?
පිළිතුර(- අපි දැන් ඒ සඳහා සැලසුමක් හදාගෙන යනවා. ඉදිරියේදී එන මහ මැතිවරණය, ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය සඳහා මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන අපි විධිමත් සැලසුමක් හදනවා. ඇත්තටම අද (බ්‍රහස්පතින්දා) තමයි නායකත්ව මණ්ඩලයේ පළමුවැනි රැස්වීම. අපේ සැලසුම් සකස් කරගෙන පක්ෂ සාමාජිකයන් සමඟ බිම් මට්ටමට ගිහිල්ල ඔවුන්ගේ අදහසුත් අරගෙන අලුත් ගමනක් යන්නයි අපේක්ෂා කරන්නේ.
පක්ෂයෙන් දැන් ඈත්වෙලා ඉන්න, රුක්මන් සේනානායක, ඉමිතියාස් බාකීර් මාකර් වැනි මහත්වරු පක්ෂයට ආයිත් ගන්න ඕනේ. ඒ සඳහාත් අපි කටයුතු කරගෙන යනවා.
ප්රශ්නය(- මන්ත්‍රීතුමනි, ඔබ කියන ආකාරයට තමයි, හැමදාම සිද්ධ වුණේ. මැතිවරණය ළං වෙනකොට පක්ෂයේ සියලු දෙනාම එකතුවෙලා. ඒ සඳහා මුහුණ දෙනවා. ඒත් මැතිවරණයක් පරාජය වුණාම, අවසාන වගකිවයුත්තා වෙන්නේ රනිල් වික්‍රමසිංහ. මොකද ඔබ මේ ගැන හිතන්නේ. රනිල් නිසාද මේ පරදින්නේ.
පිළිතුර(- මේක ලේසි උත්තරයක්. පැරදුණාම එහි සම්පූර්ණ වගකීම දාන්නේ නායකතුමාට. ජයග්‍රහණය කරනකොට, ඒකේ අයිතිය සියලු දෙනා ගන්නවා. මම හිතන්නේ ඒකත් දේශපාලනයේ ස්වභාවයක්. අපේ සමහර සංවිධායකවරු තවමත් ගම්වල ගිහිල්ලා නැහැ. අපි ඒවා නිවැරදි කරගත යුතුයි. එතැන ඉඳන්ම නිවැරදි කරගෙන ගමන යන්න ඕනේ. ඒක නිසා පරාජයේ වගකීමත් සියලු දෙනාම එකට දැරිය යුතුයි.
ප්රශ්නය – ඔබ හිතනව සජිත් ප්‍රේමදාස කියන චරිතය එජාපයේ ජයග්‍රහණය සඳහා වැදගත් කියලා.
පිළිතුර(- අනිවාර්යයෙන්ම ඔව්… සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා, සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා, තලතා අතුකෝරාල කියන මේ සියලු දෙනාම අපිට අවශ්‍යයි. එක එක මතවාද පක්ෂවල තියෙනවා. ආණ්ඩු පක්ෂයේත් ඒවා තිබෙනවා. නමුත් ආණ්ඩුවේ මතබේද එළියට එන්නේ නැහැ. මේ පක්ෂයේ තියෙන හැම දෙයක්ම මාධ්‍යයට කියනවා. මාධ්‍යයෙන් කවුරු හරි නායකතුමා විවේචනය කරනකොට ඒක නායකතුමාට විතරත් නෙමෙයි, පක්ෂයටම බලපානවා. පාක්ෂිකයෝ මේක දැකපුවාම හිතන්නේ. මේ අය හැම වේලෙම ගැටුම්, මේගොල්ලන්ට ඡන්දය දීලා වැඩක් නැහැ කියලා. පක්ෂය ඇතුළේ තියෙන ප්‍රශ්න පක්ෂය ඇතුළේම කතා කරලා විසඳගන්න ඕනේ.
ප්රශ්නය(- සජිත් ප්‍රේමදාස මහතාට, එජාපය තුළ ප්‍රධාන තැනක් ලැබුණොත් සේනානායක, විජයවර්ධන, වික්‍රමසිංහ පවුල් දාමයට තිබෙන ඔබ අනාගත පක්ෂ නායකයා කරගැනිමේ අවශ්‍යතාවට ඉන් පහරක් වදිනවා. මේ නිසා ඔබගේ පක්ෂ නායක බලාපොරොත්තුවට ඉන් පහරක් වදිනවා නේද?
පිළිතුර(- ඇත්තටම මම දේශපාලනයට ආවේ මුල ඉඳන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා මට දුන්නේ එකම තතතුරයි. ඒ බියගම සංවිධායක ධුරය විතරයි. යොවුන් පෙරමුණේ සභාපතිකම මට ලැබුණේ හිටපු යොවුන් පෙරමුණු සභාපති, සංජීව සිරිවර්ධන මහතා ඉල්ලීමක් කර තිබෙනවා… මගෙන් පස්සේ මේ තනතුර රුවන්ට දෙන්න කියලා. එහෙමයි මට ඒක ලැබුණේ. නායකත්ව මණ්ඩලයට මාව යෝජනා වුණ විදිහත් මම කිව්වා. මට සේනානායක, විජයවර්ධන ඥතිකම් තිබ්බ පලියට නායකයා වෙන්න බැහැ. ඒකට සුදුසුකමක් තියෙන්න ඕනේ. පක්ෂයේ නායකයා කියන්නේ ඊළඟට රටේ නායකයා කියන එකනේ. ඒකට අත්දැකීම් අවශ්‍යයි. එජාප ආණ්ඩුවක් ගෙන ඒමටයි අපි මුලින්ම කටයුතු කරන්න ඕනේ. ඒ සඳහායි දැන් අපි මහන්සි විය යුත්තේ. උරුමයක් තිබ්බ පමණින් පක්ෂයේ නායකයා වෙන්න බැහැ. ඒකට සුදුකමක් තියෙන්නත් ඕනේ. ජනතාව කැමැති වෙන්නත් ඕනේ.
ප්රශ්නය(- වෙන අය පියවරෙන් පියවර පඩිපෙළෙන් එනකොට, ඔබට ලිµaට් එකේ උඩට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද “අලි” තාම පල්ලෙහා ඉන්නේ. ඒ නිසා පක්ෂ නායකත්වය ඔබට වැඩි ඈතක නෙවෙයිනේ.
පිළිතුර(- මමයි මුලින්ම ඒ සඳහා ලෑස්ති විය යුත්තේ. දැන් මගේ ඉලක්කය නායකත්වය නොවෙයි. පක්ෂයේ ජයග්‍රහණය.
ප්රශ්නය(- ඔබගේ පියා මේ රටේ ප්‍රධාන පුවත්පත් ආයතන දහරාව අයත් සමාගමේ හිමිකරු. සමහර පත්තර තුළින් අද වැඩියෙන්ම බැටකන චරිතයක් බවට ඔබත් පත්වී සිටිනවා.
පිළිතුර(- පුවත්පතක් හෝ ප්රවෘත්ති නාලිකාවක් හැකිතාක් ස්වාධීනව වැඩ කරන්න ඕනේ. මම කනගාටු වෙනවා සමහර පුවත්පත් ප්රවෘත්ති පළ කරන්නේ විකෘති කරලා හදලා දානවා. මේක මාධ්‍ය කලාවටත් නින්දාවක්. ජනතාව මුළා කරන්නයි මේ අය හදන්නේ. තමන්ට ඕනෑ දේ කරගන්න ප්රවෘත්ති විකෘති කරන එකට මම ඇත්තටම විරුද්ධයි. කවදාවත් ලංකාවේ මාධ්‍ය ඉතිහාසයේ මෙහෙම දෙයක් වෙලා නැහැ. ඒ මඩ ප්‍රහාරවලට මමත් ලක්වෙලා තියෙනවා. දේශපාලනය කරනකොට ඒවාට මුහුණ දෙන්න වෙනවා. ඒත් මේ වගේ මඩ මාධ්‍ය කලාවක් මීට පෙර කවදාවත් අපි අහලා, දැකලා නැහැ.
ප්රශ්නය(- ඔබගේ පවුලට අයත් පුවත්පත් සමූහයෙන් ඒ සඳහා පිළිතුරු දෙන්න ඔබට පුළුවන්නේ.
පිළිතුර(- අපි කවදාවත් ඒ වගේ දේවල් කරලා නැහැ. මගේ පියා ලංකාදීප හා අනිකුත් පුවත්පත් කර්තෘ මණ්ඩලවලට නිදහස දීලා තියෙනවා ඒ පුවත්පත් ස්වාධීන ලෙස ගෙනියන්න. ඒ පුවත්පත් ප්‍රයෝජනයට අරගෙන මාව පුම්බන්නවත්, මට විරුද්ධ අයට මඩ ගහන්නවත් කටයුතු කරන්නේ නැහැ. මම දේශපාලනයට ආවාම, විජය පුවත්පත් සමාගමෙන් ඉවත් වුණා. කවුරු හරි දේශපාලනයට එකතුවුණොත්, මේකේ අධ්යක්ෂ හැටියටවත් නිලතල දරන්න බැහැ කියලා නීතියක් එම සමාගමේ තිබෙනවා. ඒ නීතියට අනුව මම කටයුතු කළා.
පියසේන දිසානායක,
මනෝඡ් අබයදීර