සචින් තෙන්දුල්කාර් කියන්නේ නිතරම තම පෞද්ගලික ජීවිතය ගැන කතාබහ කරන්න ලැජ්ජාවක් දැක්වූ සුපිරි තරුවක්. ඒ හින්දම ඔහු සහ ඔහුගෙ දයාබර බිරිඳ අංජලී අතර වූ ප්‍රේමය ගැන ලොවට හෙලිදරව් වුණේ ඉතාමත් අඩුවෙන්. කොහොම වුණත් පසුගියදා සචින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගත් මොහොතෙ ඔහු ඉතා හැඟීම්බරව තම බිරිඳ ගැන කතා කළා. එහි ප්‍රතිඵලයක් විදිහට මතෛක් රහසක්ව පැවැතුන ඔවුන්ගේ ආදරය පිළිබඳ බොහෝ දේවල් අනාවරණය වී තිබෙනවා.
සචින් අංජලීව මුල්වරට දැක ඇත්තේ 1990 දී ඒ ඔහු තම ප්‍රථම විදෙස් ක්‍රිකට් තරගයට සහභාගි වී එංගලන්තයේ සිට නැවත එන අතර මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී. අංජලී එහි ඇවිත් සිටියේ විදේශයක සිට පැමිණෙන තම මව කැඳවා ගෙන යාම සඳහායි. දෙන්නගෙ දෑස් මුල්වරට එකිනෙක හමුවූ මොහොතේදීම මොකක් දෝ හැඟීමක් දෙන්නටම ඇතිවූ බව පසුව ඔවුන් සඳහන් කොට තිබුණා.
මේ වනවිට අංජලී වෛද්‍යවරියක් වීම සඳහා ඉගෙන ගනිමින් හිටියේ. ඇය තම ඉගෙනීමේ කටයුතු සඳහා කෙතරම් තදින් කැපවී සිටියාද පවසතොත් ඇයට ක්‍රිකට් ගැන අල්ප මාත්‍රයකවත් දැනුමක් තිබි නැහැ. කොටින්ම තම හදවත පැහැරගත් සචින් ගැනවත් ඇය දැන සිටියේ නැහැ. පසුව මේ දෙදෙනා මිතුරෙකුගේ නිවසකදී නැවත මුණ ගැසී ඇති අතර එහිදී දෙදෙනාට දෙදෙනා වඩාත් හොඳින් හඳුනාගෙන තිබෙනවා. මේ සමගම ක්‍රම ක්‍රමයෙන් අංජලී ක්‍රිකට් ක්‍රීඩාව ගැන තම දැනුම වැඩි කර ගන්න ක්‍රම ක්‍රමයෙන් කටයුතු කොට තිබෙනවා.
මුල් දවස්වල අංජලීව බලන්න යාමේ තදබල ආසාවකින් පෙළුනු සචින් ඒ බව තමන්ගෙ හොඳම මිතුරකු වන ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බ්ලිට පවසා තිබෙනවා. ඒ වෙද්දී අංජලී සේවය කරලා තියෙන්නේ මුම්බායෙ ජේ.ජේ රෝහලෙයි. කොහොම හරි ලෙඩෙක් ගැන කියාගෙන ගිහින් තමයි සචින් ඇයව Sachin1මුණ ගැසී තියෙන්නේ.
කොහොම වුණත් සචින් ඒ වන විට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ලබා තිබූ ප්‍රසිද්ධිය නිසාම මේ දෙන්නට වෙනත් පෙම්වතුන් මෙන් නිදහසේ හමුවීමට අවකාශ ලැබුනේ නැහැ. මේ අතර දවසක තමයි අංජලීගේ යාලුවෝ කට්ටිය “රෝජා” චිත්‍රපටය බලන්න යන්න සූදානම් වුනේ. අංජලී සචින්ටත් කතා කළාම මුලින්ම “බෑ” කිව්වට සචින් පස්සේ “හා” කිව්වේ අංජලීගේ හිත රිදෙයි කියලා. එදා සචින් සිනමාහලට ඇතුළු වුණේ බොරු රැවුලක් හා උපැස් යුවලක් පැළඳගෙනයි. කොහොම හරි විවේකය කාලය උදාවෙනකම් සියල්ල හොඳින් කෙරී ගෙන ගියා. විවේක කාලයට සිනමාහලේ ආලෝකය දැල්වූ වෙලාවේ සචින් පැළඳ ගෙන සිටි උපැස් යුවල ගැලවී බිමට වැටීමත් සමගම සචින් ලෝලීන් ඔහුව හඳුනාගෙන වටකරගත්තා. ඊට පස්සේ බොහෝදෙනා උත්සාහ කළේ රෝජා පැත්තක තියලා සචින්ව බලන්නයි. ඔහුගේ සමරු අත්සන ලබා ගන්නයි. ඒ හින්දම රෝජා බාගෙට බලලා සිනමාහලෙන් එළියට බහින්න සචින්ටයි – අංජලීටයි සිදුවුණා.
1994 අවුරුද්දේ දෙන්නගෙ විවාහය ලියාපදිංචි කරලා. අවුරුද්දක් ගත වෙන තුරුම එය සියලු දෙනාගෙන් වසන් කරගෙන සිටීමට සමත් වුණා. 1995 අවුරුද්දේ විවාහය සිදුවුණේ වෝර්ලිහි ජුවෙල් ඔෆ් ඉන්ඩියා තරු පන්තියේ හෝටලයේදීයි. විවාහ මංගල උත්සවය පැවැත්වෙද්දී ශාලාව තුළට මාධ්‍යවලට ඇතුළු වීමට අවස්ථාවක් ලැබුනෙ නැහැ. ඒත් චාරිත්‍රවලින් පස්සේ ඉන් පිටතට පැමිණි මනාල යුවල සිනාමුසු මුහුණින් සියගණන් වූ කැමරාවලට මූණ දුන්නා.
සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ අශෝක් මේතාගේ දියණියක වූ අංජලී 1995දී සචින් සමග යුග දිවියට එළැඹුනේ වසර 5ක ප්‍රේම කතාවක් මල් ඵල ගන්වමිනුයි. ඒ වන විට සචින්ට වඩා අංජලී වසර 5කින් වැඩිමල් වුවත් එය තමන්ගේ විවාහයට බාධාවක් ලෙස සචින් සැලකුවේ නැහැ. ඇත්තෙන්ම ඔවුන්ගේ මේ වසර 18ක යුග දිවියේ සාර්ථකත්වයට ද එය කිසිදු අයුරකින් බාධාවක් වී නැහැ.
වෛද්‍ය උපාධිය නිමවීමෙන් පසු අංජලී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පත්වීම් ලබා කෙටි කලක් සේවය කළත් ඇය පසුව සචින් වෙනුවෙන් එය අත් හරිනු ලැබුවා. ඒ සචින්ගේ ඉල්ලීමක් හින්ද නමෛයි. ඔහුගේ කාර්යබහුලත්වය නිසා තම පවුලයි රැකියාවයි දෙකම එකවර කිරීමට අපහසු බව අංජලීම තීරණය කළ හින්දා. ඉන්පසුව ඇය සාරා දියණියට සහ අර්ජුන් පුතණුවන්ට දයාබර මවක් වෙමින් පවුලේ සියලු කටයුතු තම කරට ගත්තා.
ළමා විශේෂඥ වෛද්‍යවරියක ලෙස ඇයට දිගු ගමනක් යාමට ඉඩ තිබුණත් ඒ සියල්ල අත්හැර දැමීම ගැන ඇගෙන් විමසන අයට ඇය දෙන්නේ මෙහෙම පිළිතුරක්.
“ඒ ගැන කතා කරද්දී බොහෝ දෙනා කියනවා මං එහෙම තීරණයක් ගත්ත එක අපරාධයක් කියලා. ඒත් මං නිතරම හිතන්නේ මං ගත්ත තීරණය ඉතා නිවැරදි එකක් කියලයි. සචින්ගෙ කාර්යබහුල බවත් එක්ක මමත් කාර්ය බහුල වුණානං අපට පවුලක් නැති වෙන්න ඉඩ තිබුණා”.
අංජලිකා මෙතරම් කැපවීමක් කළත් සචින් තුළ එහෙම කැපවීමක් නැහැ කියලා කියන අයත් ඉන්නවා. මතුපිටින් එහෙම බලන අය ඒ සඳහා පෙන්වන උදාහරණයක් තමයි විවාහයෙන් පස්සේ කවදාවත් දීපවාලි උත්සවය සමරන්නටවත් සචින් අංජලී එක්ක එකට ගත නොකළාය කියන එක. “ඒක ඇත්ත. ඒත් සචින් එහෙම කළේ එයාගේ කාර්ය බහුල බව හින්ද කියලා මං හොඳටම දන්නවා. එහෙම නොහිටියාය කියලා වෙනසක් නැහැ. සචින් ගෙදර ඉන්න හැම මොහොතකම අපිට දීපවාලි වගේ තමයි. අංජලී කියන්නේ හැගීම්බරව.
අංජලී තමන්ගේ ජීවිතයේ වඩාත්ම නොඉවසිලිවන්ත වෙන්නේ සචින් පන්දුවට පහර දෙන්න පිටියට ආ විටයි. ඒ වෙලාවේ අංජලී කෑම බිම පවා නොගෙන දුරකථන ඇමතුම්වලට පවා පිළිතුරු නොදී රූපවාහිනිය ඉස්සරහට වෙලා පපුව ගැහි ගැහී සචින් “බැට්” කරන හැටි බලාගෙන ඉන්නවලු. නිකම්ම නමෛයි ඉදිරියේ තියෙන ගණ දෙවි රූපය දිහා බලාගෙන “සචින් අවුට් වෙන්න එපා” කියමින් යාඥා කරමින්. විවාහයට පස්සෙ මෙහෙම ක්‍රිකට් බැලුවත් විවාහට කලින් ඇය කරලා තියෙන්නේ සචින් ක්‍රීඩාකරන තරග පටිගත කරලා පස්සේ ඒවා නරඹන එකයි.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න මොහොතේ මාධ්‍ය ඇමතූ සචින් තම බිරිඳ ගැන සඳහන් කරමින් මෙසේ පවසා තිබෙනවා.
“මගේ ජීවිතයේ සුන්දරම මොහොත 1990 මට අංජලීව හමුවූ මොහොතයි. ඒවෙලේ ඈ පිළිබඳව මට දැනුන හැඟීම කෙතරම් නිවැරදිදැයි සිතෙන්නේ ඇය අපේ පවුල වෙනුවෙන් කරන කැපවීම් දිහා බලන විටයි. මගේ කාර්යබහුල බව ඉවසා ගෙන හිටපු ඇයට මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මගේ ජීවිතයේ හොඳම බැඳීම ඇයයි. ඇයව මට විවාහ කරගන්න අවසර දුන් ඇගේ දෙමව්පියන්ටත් මං ස්තූතිවන්ත වෙනවා”
ගැමුණු රත්නායක
lakbima