තෝසෙ කෑල්ලක් මල්ලිට කැව්වෙ ඉක්මනට ලොකු කරගෙන සෙල්ලම් බත් උයන්නයි

අම්මා මට මල්ලියෙක් ගේනවලු…” පුංචි සෙනිලා ටික දවසකින් අම්මා එයාට තිළිණ කරන තෑග්ග ගැන හිටියේ පුදුම ආසාවකින්.

“මල්ලි එක්ක ආවම අපි එයාව අපේ ගෙදර එක්ක යනවා”
සෙනිලාගේ අදහස් දැන ගන්න ඥාති හිතවතුන් එහෙම කියනකොට පුංචි සෙනිලාගේ මූණ අමාවක අහස වගේ අඳුරු වෙනවා.
“මල්ලි දෙන්න බෑ… එයා මගේ…”

නූපන් මල්ලිට පුංචි සෙනිලා අයිතිවාසිකම් කිව්වේ ඒ විදියට. තුන්වැනි වියට පාතැබුව සෙනිලාව චූටි අක්කෙක් කරමින් නිලූකාත් ඇන්ජලෝත් දෙවැනි වරටත් මවුපියන් කරමින් පසුගිය අගෝස්තුවේ ජෝශප් පරම්පරාවෙ නම ගෙනියන්න රොනන් ජෝජ් ජෝශප් පුංචි සිඟිත්තා මේ ලෝකේ එළිය දැක්කා.
“පුදුම ලස්සන දරුවෙක්. දේව දූතයෙක් වගේ” රොනන් බලන්න ආපු හැමෝටම එහෙම හිතුණා. ඒ තරමට රොනන් පැහැයෙන්, හැඩයෙන් ඉදිරියෙන් හිටියා. සුදු පුළුන් ගොඩක් වගේ පුංචි මල්ලියෙක් අම්මා ගෙදරට ගෙනාවාම වැඩියෙන්ම ආසා වුණේ සෙනිලා චූටි අක්කා.

“මගේ මල්ලි සුදුම සුදුයි. දෙන්නෑ ඔයාලට මගේ මල්ලිව… අම්මා කිව්වා තව ටික දවසකින් මල්ලිට මාත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කියලා”
පුංචි දෝණි හැමෝටම ආඩම්බරකම් පෑවේ ඒ විදියට. ඉක්මනට මල්ලි ලොකු කරගෙන මල්ලිත් එක්ක සෙල්ලම්බත් උයන්න, අම්මාගේ සාරියත් ඇඳලා මල්ලිගේ ගුරුතුමිය වෙලා අකුරු කියලා දෙන්න පුංචි සෙනිලා කප්පරකට හීන දැක්කා.

“කවදාද අම්මෙ මල්ලි ලොකු වෙන්නේ…? කවදාද අම්මෙ මල්ලි ඇවිදින්නේ?” සෙනිලාගේ ප්‍රශ්නවලට උත්තර දීලා ලේසියෙන් බේරෙන්න අම්මට බැරි වුණා.
මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම අම්මා, වාසනාවන්තම තාත්තා තමන් කියලා නිලූකටත්, ඇන්ජලෝටත් හිතුණේ රොනන් පුතා ඉපදුණ දවසේ. චූටි දුවගේ හුරතල් කතාවෙනුයි, චූටි පුතාගේ කිරි හිනාවෙනුයි මුළු ගේම පිරිලා තිබුණා. ඇන්ජලෝටත් වඩා රොනන් නිසා සතුටු වුණ තව කෙනෙක් හිටියා. ඒ ඇන්ජලෝගේ තාත්තා ලෝරන්ස්.

“පරම්පරාව ගෙනියන්න මුනුබුරෙක් ඉන්නවා. ඊට වඩා සතුටක් තියෙනවද සීයා කෙනෙක්ට?” ලෝරන්ස් නෑ හිතවතුන්ට තමන් විඳින සතුට කිව්වේ ඒ විදියට.
දින, සති, මාස ගෙවිලා ගියා. පුංචි රොනන් දවසින් දවස ලොකු වුණා. පුංචි සෙනිලා මල්ලි එක්ක සෙල්ලම් කරන දවස එනකන් බලාගෙන ඉන්නවා.
“මල්ලි හම්බවුණේ පස්සෙනේ. අපිට ඉස්සෙල්ලාම හම්බවුණේ දූ පැටියානේ. ඒ නිසා අපි ගොඩාක් ආදරේ ඔයාට”

දරු සෙනෙහස තරාදියක දාලා කිරලා මැනලා කාටද වැඩි කාටද අඩු කියලා කියන්න බැරි වුණත් නිලූකා තමන්ගෙ හිතට හොරා දෝණිගෙ සිත හැදුවා. ඒ පුංචි හිතට ඉරිසියාව, දුක නොදැනෙන්න.
“කොච්චර ආදරේ වුණත් දෝණි ගැන ඇහැගහගෙන ඉන්න. නොදන්නකමට පුතාට මොනවා හරි කරන්න පුළුවන්”

වැඩිහිටියන් නිලූකට මේ විදියට උපදෙස් දුන්නෙ අත්දැකීමෙන්. මොනවා බෙදා ගන්න කැමැති වුණත් පුංචි වුන් ආදරේ බෙදාගන්න නම් පොඩ්ඩක්වත් කැමැති නෑ. මල්ලිට කොච්චර ආදරේ වුණත් සෙනිලා අම්මයි, තාත්තයි එයාට වැඩියෙන් ආදරේ කරනවාට කැමැති වුණා. ඒ බව ඕනෑවටත් වඩා තේරුම් ගත්ත නිලූකාත්, ඇන්ජලෝත් පුංචි හිත නොතැළෙන්න ආදරේ බෙදුවා. ඒ වගේම පුතු පැටියාගේ ආරක්‍ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. වෙනම කාමරයක විශේෂ තොටිල්ලක පුතාව තිබ්බේ චූටි දෝණිට ඕනෑවට වඩා කිට්ටු වෙන්න බැරි වෙන්න. නිලූකා මුළු දවස පුරාම කාලය ගෙව්වේ දරුවො දෙන්නගෙන් මොහොතකටවත් දෑස් ඉවත් නොකරගෙන. දෑස වන් දරු දෙදෙනාට මදුරු තුඩකින්වත් කරදරයක් වෙනවාට හැම අම්මා කෙනෙක් වගේම ඒ අම්මත් කැමැති වුණේ නෑ.

ඇන්ජලෝ පෑස්සුම් කාර්මිකයෙක්. ඔහුට ඔහුගේම වෙල්ඩින් වැඩපොළක් තියෙනවා. නිලූකා දරුවන්ගේ කටයුතු හොයා බලන නිසා දරු දෙන්නටයි, නිලූකටයි දුකක් නැතුව ජීවත් කරවන්න ඇන්ජලෝ හැම විටම උත්සාහ ගත්තා. ඒ නිසා උදේ සවස මහන්සි වෙලා වැඩ කළා. ඒ මූසල ඉරිදා උදා වුණේ කුරුලු
කූඩුවක් වගේ ඉන්න
මේ පවුලේ සතුට උදුරාගන්න කියලා කිසිම කෙනෙක්ට හිතුණේ නෑ.

ඇන්ජලෝගේ අම්මයි, තාත්තයි උදේම පල්ලි ගියේ දේව මෙහෙයට සහභාගි වෙන්න. පුංචි රොනන් කුසේ ඉන්න කාලේ නිලූකාත් චූටි දෝණි එක්ක හැම ඉරිදාම පල්ලි යන එක සිරිතක් වෙලා තිබුණා. ඒත් චූටි පුතා ඉපදුණාට පස්සේ නිලූකට පල්ලි යන්න බැරි වුණේ දරු පැටියා මොහොතකටවත් තමන්ගේ උණුහුමෙන් මුදවන්න බැරි නිසා. උදේම අවදිවෙලා නිලූකා තෝසේ හැදුවේ තමන්ගේ සැමියාගෙයි දෝණිගෙයි බඩ පුරවන්න. මවුකිරි විතරක්ම බොන චූටි පුතාට බණ්ඩිය පිරෙන්නම කිරි දීලා නිදිකරවලා කාමරේ තොටිල්ලේ තියලා නිලූකා මුළුතැන්ගෙට ගියේ දෝණිගෙ බඩ පුරවන්න. චූටි දෝණිගේ පිඟානට තෝසේ දාලා සාලේ පුටුවක වාඩි කරලා නැවතත් අෑ මුළුතැන්ගෙට ගියේ නින්දෙන් නැඟිටින පුතු පැටියාව නාවන්න වතුර රත්කරන්න. තාත්තත් දුව ළඟින්ම හිටපු නිසා නිලූකා හිතේ නිදහසින් වතුර ළිපේ තිබ්බා.
“ආච්චි එනවා”
චූටි දෝණි මිදුලට දුවන සද්දෙට මුළුතැන්ගෙයි හිටපු නිලූකාත් දුවගෙන ආවා. ඒ වෙනකොට ඇන්ජලෝත් රැකියාවට යන්න සූදානම් වෙන්න ගිහින්. තෝසේ කකා හිටපු දෝණි ආච්චි එනවා කියලා දිව්වට ආච්චි ඇවිත් තිබුණෙ නෑ. දෝණි රැවටිලා. ආයෙමත් ගෙට ආපු නිලූකා පුතා ඉන්න කාමරේට ඔළුව දැම්මෙ පුතු පැටියා සුවසේ නිදි සුව විඳින බව තහවුරු කරගන්න. ඒත් තොටිල්ල ඇතුළේ අපහසුවෙන් දඟලන කිරි පැටියා දැක්කමයි නිලූකට උන් හිටිතැන් අමතක වුණේ.
“අනේ මගෙ රත්තරන් පුතේ. ඇයි මගේ මැණික මේ” හුස්ම ගන්න අපහසුවෙන් දඟලන කිරි පැටියා ළමැදට තුරුලු කරගෙන නිලූකා කෑගැහුවා.

“මොනවද මගේ පුතේ මේ කටේ තියෙන්නේ” තමාගේ දෙතනෙන් කිරි උරා බොන කිරි කැටියාගේ කටේ සුදු පැහැති යමක් තිබෙනු දැක නිලූකා පුදුම වුණා.
“මල්ලිට බඩගිනි ඇති කියලා හිතලා මම තෝසෙ කැව්ව අම්මේ”
කිසිදු කබලයක් නොමැතිව චූටි දෝණි එහෙම කියද්දි නිලූකාට දෙලෝ රත්වුණා.
“අනේ රත්තරනේ… මල්ලිට තාම කන්න බෑනේ මගේ පුතේ… අනේ දෙවියනේ මගේ දරු පැටියා බේරලා දෙන්න දෙවියනේ”

සුදුම සුදු රොනන් පුතාගේ සිරුර නිල් පැහැ වෙද්දි තත්ත්වය සුබ නෑ කියලා නිලූකාගේ ගෑනු හිත කිව්වා.
“චූටි දෝණි පුතාට තොසේ කවලා. ඇන්ජලෝ අපි පුතාව ඉස්පිරිතාලෙට අරගෙන යමු. අනේ දෙවියනේ මගේ දරු පැටියට කරදරයක් නම් වෙන්න එපා”
රැකියාවට යන්න සූදානම් වෙමින් සිටි ඇන්ජලෝට සිදුවුණ දේ හිතාගන්න බැරි වුණා. කටේ තිබුණු තෝසේ කෑලි ඉවත් කළත් හුස්ම ගන්න අපහසුවෙන් දඟලන දරු පැටියා රෝහලට රැගෙන යන්න ඇන්ජලෝ තව මොහොතක්වත් පමා වුණේ නෑ.

ඇන්ජලෝගේ අසල්වැසියන් හැමෝම කතෝලික බැතිමතුන්. ඒ හැමෝම පූජාවට පල්ලියට ගිහින් හිටිපු නිසා ඇන්ජලෝට පහසුවෙන් වාහනයක් හොයාගන්න බැරි වුණා. ඇන්ජලෝ පමා වෙන මොහොතක් ගාණේ හදවත කඩා වැටුණේ නිලූකාගේ.
“අනේ රත්තරනේ. ඇස් අරින්න මගේ පුතේ. අම්මා දිහා බලන්න මගෙ මැණික…” නිලූකාගේ අ‍ෙදා්නාව හිස් වාතලයට මුසු වුණේ කිසිම හැඟීමක් දැනීමක් නැති විදියට. ඇන්ජලෝ හොයාගෙන ආව වාහනේ ගම්පහ ඉස්පිරිතාලෙට ඉගිළුණේ විනාඩි දෙකට තුනට. වෛද්‍යවරු අට දෙනෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක්, වෛද්‍ය ශාස්ත්‍රයේ තමන් දන්න හැම ශිල්ප ක්‍රමයක්ම රොනන් පුංචි පුතා වෙනුවෙන් අත්හදා බැලුවත් ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි වගේ වුණා. ඒ වෙනකොටත් පුංචි රොනන් මවු තුරුල වෙනුවට දෙව් මවු තුරුලේ සැතපෙන්න තීරණය කරලා තිබුණා.

“කෑම පිට උගුරේ ගිහින් අපි හැමදේම කළා. ඒත් බේරාගන්න බැරි වුණා.” වෛද්‍යවරු එහෙම කියන කොට මොන අම්මාටද ඉවසන්න පුළුවන්?
“ඇයි මගේ වස්තුවේ මාව දාලා ගියේ? මම කොහොමද පුතේ හිත හදාගන්නේ..?”
නිලූකාගේ මවු සෙනෙහස උතුරා දෝරේ ගලා ගියා. මේ මාස හතරටම උණ හෙම්බිරිස්සාවකටවත් බෙහෙත් උගුරක් නොබීපු පුංචි රොනන්ට අක්කා ආදරේට කවපු තෝසේ කෑල්ලේ මාරයා හැංගිලා හිටියා කියලා කොහොම විශ්වාස කරන්නද?
“ඉක්මනට මල්ලියා ලොකු කරගන්නයි මම එයාට තෝසේ කැව්වේ”

මල්ලිට වෙච්ච දේ ගැන බරක් පතළක් නැති දෝණි ගිරව වගේ කියනවා. ඒ නොතේරුම්කම නිසා. ඒත් තේරෙන කාලෙක මල්ලි පැටියාව ලොකු කරන්න කවපු තෝසේ කෑල්ලෙන් ඇස් දෙක වගේ හිටපු මල්ලියා සදහටම අහිමි වුණා කියලා දැනෙනකොට අක්කට මොනව හිතෙයිද?
ගේ මැද්දෙ සාලේ පුංචි පෙට්ටියක මල්ලියා ඉන්නකොට අක්කා හිතුවෙ අම්මා කුක්කු බීලා මල්ලියා ‍ෙදායි කියලා. තොටිල්ල වෙනුවට අලුත් තොටිල්ලක් අම්මයි තාත්තයි ගෙනත් දීලා කියලා. සිහිමූර්ඡා වෙන තරමට නිලූකා හඬාවැටුණත් ඇන්ජලෝ හිටියේ ගහක් ගලක් වගේ.
මුළු ගමම අඬවමින් පුංචි රොනන් දේවදූතයෙක් වගේ සැරසිලා අවසන් ගමන් ගියා. සඳුදා හැන්දෑවේ ගම්පහ මොගොඩ ගමින් මළ හිරු බැහැලා ගියේ රොනන්ගේ බිලිඳු සිරුර පස්වලට යටකරමින්මයි.

“අනේ මගේ මල්ලි. මට මගේ මල්ලිට උම්මා එකක් දෙන්න ඕනෑ…”
මල්ලිගේ සිරුර පස්වලට යටකරද්දි පුංචි සෙනිලා ඒ විදියට කෑගැහුවේ අමාරුවෙන් කඳුළු සඟවාගත්ත ගම්මුන්ගේ නෙත්වලට අලුත් කඳුළු එකතු කරමින්. දෝණිගේ අ‍ෙ¼දා්නාවට ගහක් ගලක් වගේ කඳුළු හිරකරගෙන තමන් ජාතක කළ පුතාගේ අවසන් කටයුතු කරපු ඇන්ජලෝට ඉහිලුම් නැතුව ගියා.

නිලූකා ඇන්ජලෝ විතරක් නෙවෙයි රොනන්ගේ සීයා, ආච්චි, සුදු අම්මා, නැන්දා තාමත් රොනන් වෙනුවෙන් කඳුළු බොනවා. ඒත් පුතේ ඔයා ආයෙත් නොඑන බව ඒ හැමෝම දන්නවා.
ඔයාගේ අම්මා තමයි පුතේ මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. ඔයාගේ තාත්තා තමයි මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා. ඔයාගේ චූටි අක්කා එයාට කන්න දුන්න තෝසේ කෑල්ල ඔයාට කන්න දුන්නේ ඔයාට හුඟාක් ආදරේ නිසා. ඉක්මනට ලොකු මහත්කරගන්න ඕන නිසා. ඒ නිසා සුදු පුතේ අක්කා පැටියා ගැන පුංචි තරහක්වත් හිතන්න එපා. එයා තමයි මේ ලෝකේ ඔයාට හිටපු හොඳම අක්කා.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...