එයා මැරුණේ මං නිසා..

ඉස්සෙල්ලම සාරියක් ඇන්දේ?
1998 දී අයියගේ වෙඩින්එකට.

අම්මා ගැන තියෙන පරණම මතකය?
කිරිබොන එක තමයි. මොකද මම ගොඩක්කල් යනකල් අම්මාගෙන් කිරි බීපු බබෙක්. අවුරුදු 06ක් විතර යනකල් කිරි බිව්වා.

ඉස්කෝලේ ගියපු මුල්ම දවස?
ඉස්කෝලේ ගියේ කැලණියේ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයට. මං හරි ආසාවෙන් ගියේ. බෑග් එක, සපත්තු දෙක ඔක්කොම මම තමයි තේරුවේ. මගේ සයිස් එකට සුදු සපත්තු තිබුණේ නෑ. මොකද මම චූටියි ගොඩක්. අන්තිමට සපත්තු දෙකක් හදවන්න වුණා.

හුඟක්ම කම්පනයට පත්වුණ සිදුවීම?
සුනාමිය. මට තාම හිතාගන්න බෑ ලංකාවේ එහෙම දෙයක් වුණාද කියලා.

ඉස්සෙල්ලම ටෙලිනාට්‍යයක් බැලුවේ?
කඩුල්ල කියන ටෙලි නාට්‍යය.

අනතුරකට මුහුණ දුන්නේ?
A/L පන්ති යනකොට එකපාරටම මම ගියපු බස් එකේ බේ්‍රක් නැතිවුණා. ඩ්‍රයිවර් කෑගැහුවා හයියෙන් අල්ලගන්න කියලා. ඊට පස්සේ බස් එක ගියපු වේගෙටම කණුවකට හේත්තු කළා. වාසනාවකට කාටවත් කරදරයක් වුණේ නෑ.

තනි තීරණයක් ගත්තේ?
මතක ඇති කාලෙක ඉඳලා මං ගත්තේ තනි තීරණ තමයි.

වරදකට දඬුවම් වින්දේ?
පුංචි කාලේ ඉඳලා මං පිටි කිරි බොන්නේ නෑ. අදටත් එහෙමයි. ඔන්න ඉස්කෝලේ යද්දී 02 පන්තියේදී අපිට කිරි පැකට් එකක් දෙනවා. ඒත් මං බොන්නේ නෑ. මැඩම් මට බලෙන් පොවන්න හැදුවා. බිව්වේ නෑ කියලා රූලකින් අතට ගැහුවා. ඊට පස්සේ අම්මා ඉස්කෝලෙට ඇවිත් කිව්වා ඒ ළමයා කිරි බොන්නේ නෑ කියලා.

අත්වැරැද්දක් නිසා පසුතැවුණේ?
දවසක් අම්මා මාව ලොකු අම්මාගේ ගෙදර නවත්තලා පොඩි අයියාව එක්කරන් එන්න පන්තියට ගියා. මාව දාලා ගියපු නිසා මට හරි කේන්තියි. ඒ දවස්වල මම ලේනෙක් හැදුවා. ඉතිං ලේනා බලන්න ඕන කියලා අර තරහටත් එක්ක මම ඇඬුවා. කොහොමහරි ගෙදර ඇවිත් ලේනාව අරගෙන ආයෙත් ගියා. ලොකු අම්මලාගේ ගෙදර හිටපු අයියා කෙනෙක්ගේ අතින් ලේනා පැනලා ගිහින් කරන්ට් වයර් එකක පැටලුණා. මට තාමත් දුකයි එදා ලේනා මැරුණේ මම නිසා කියලා.

වියෝදුක මොනවගේද කියලා තේරුම් ගියේ?
මම අවුරුදු 06ක් විතර ප්‍රේම කළා. ඒ සම්බන්ධය කැඩුණ එක මට ලොකුවටම දැනුණා.

ජයග්‍රාහී හැඟීමක් දැනුණේ?
කොළඹ විශ්වවිද්‍යාලයට මාව ඉතාම ඉහළින් තේරී තිබුණා. එදා මට ලොකු සතුටක්.

පරාජිත හැඟීමක් දැනුණේ?
ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ඇයි මම මෙහේ ඉන්නේ කියන හැඟීම ආවා. ඒ නිසා තමයි මම ලංකාවට ආවේ.

ගෙදරට හොරා දුර ගමනක් ගියේ?
මම, චරිත්, ඉන්ද්‍රචාප, කසුන් කල්හාර, නදී කම්මැල්ලවීර, රුක්‍ෂාන් අපි හයදෙනා කොළඹ ස්ටේෂන් එකට සෙට්වෙලා නුවර යන ට්‍රේන් එකක නැග්ගා. හරියට කොහේද යන්නේ කියලාවත් දන්නේ නෑ. ත්‍රීවීල්වල නැඟලා එක එක්කෙනාගෙන් අහගෙන අන්තිමට අයිවරි අයිලන්ඩ් කියලා පුංචි දූපතකට ගියා. එහෙදි සින්දු කියලා හොඳටම විනෝද වුණා. මේ A/L කරපු අලුතම වගේ. ගෙදර එද්දී හොඳටම රෑ වෙලා. මට මතක ගෙදරින් ගුටිකෑවා කියලා තමයි.

වෙනස්කමක් නිසා හිත රිදුණේ?
පොඩි දෙයක් වුණත් මම හිතන්නේ මිනිස්සු මට වෙනස්කම් කරනවා කියලා. ගයාන් මට ළමයෝ කියලා කතා කළත් මට හිතෙන්නේ වෙනස්කමක් කළා කියලා. ශානි කියලා නම කියලා කතා කළත් මට හිතෙන්නේ වෙනස්කමක් කළා කියලා.

ඔයාගේ රූපයට ලැබුණු අමතක නොවන ප්‍රතිචාරයක්?
හුරුබුහුටියි කියලා තමයි කියන්නේ.

ඉකිගහලා ඇඬුවේ?
එහෙම හැමදාම වගේ අඬනවා.

වංචාවක් කරන්න ගිහින් මාට්ටු වුණේ?
චූටිනැන්දගේ (දමයන්ති ෆොන්සේකා) එක එක ක්‍රීම් ජාති හොරාට ඇඟේ ගාගන්න ගිහින් අහුවෙලා තියෙනවා. තව තාත්තාගේ කැටෙන් සල්ලි අරගෙනත් අහුවුණා.

පිරිමි ළමයෙක් ගැන ආකර්ෂණයක් ඇති වුණේ?
මම 9 පන්තියේ ස්කූල් වෑන් එකේ ගියපු පිරිමි ළමයෙක්. හැමෝටම පෙම්වතුන් ඉන්නවා කියලා දැනුණ නිසා මටත් කෙනෙක් හිටිය නම් කියලා හිතිලා තමයි හැඟීමක් ආවේ. හැබැයි ඉතිං වෑන් එකේ යනකොට අත වනනවා විතරයි.

ලැබුණ ආදරණීයම තිළිණය?
දවසක් රෑ තාත්තා මට හොඳටම ගැහුවා. පහුවැනිදා උදේම වැඩට ගිහින් එද්දි තාත්තා මට ලස්සන හෑන්ඩ් බෑග් එකක් ගෙනාවා, එයාට දුක හිතිලා. මට ඒක ලොකුම ලොකු තෑග්ගක් වගේ දැනුණා. තාත්තා මට කොයිතරම් ආදරේද කියලත් හිතුණා.

අමතක නොවන රසික ප්‍රතිචාරය?
ෂේමන් වෝර්කර් කියලා මගේ Face Book යාළුවෙක් ඉන්නවා. එයා මගේ චිත්‍රයක් හරිම ලස්සනට ඇඳලා මගේ ජ්චජඥ ඕධධඬ එචතත එකට ර්ථීධඵබ කරලා තිබුණා. ඒක දැක්කම මම ගොඩක් සතුටු වුණා.

තමන්ගෙම අතින් කෑමවේලක් උයලා දුන්නේ?
අම්මටයි තාත්තටයි.

මුණ ගැහුණ විශ්වාසවන්තම පුද්ගලයා?
කෞෂල්‍ය කුමාරසිංහ.

රංගන ශිල්පිනියක් විධියට කැමරාවට මුහුණ දුන්නේ?
චූටිම කාලේ මම රඟපාලා තියෙනවා. හැබැයි ලොකු දැනුමක් තිබිලා නෙමෙයි. රංගන ශිල්පිනියක් විදියට වගකීමක් ඇතුව ඉදිරියට යන්නේ අරුණ ගුණරත්නගේ ‘සූර්ය වින්සතිය’ කියන කෙටි චිත්‍රපටයත් එක්ක.

පත්තරේක මුල්පිටුවට ආවේ?
අවුරුදු 07දී විතර සරසවිය පත්තරේ.

ගැහැනුකම හිසරදයක් වුණේ…?
අනේ කවදාවත් එහෙම දැනිලා නෑ. කොල්ලෙක් නොවුණා කියලා නෑ. මම හැමදේම කරලා තියෙනවා. මම සියලුම දේවල් කරපු ළමයෙක්. නරක වැඩ පවා කරලා තියෙනවා.

රඟපාපු මුල්ම ප්‍රේම ජවනිකාව?
සූර්ය වින්සතිය කෙටි චිත්‍රපටයේදී ප්‍රියංකර පෙරේරා එක්ක අයිස්ක්‍රීම් කකා ඇවිදගෙන ගියා.

දැකපු ලස්සනම හීනය?
හිනාවෙලා හිටපු හැම දවසකම ලස්සන හීන දකිනවා.

අහපු පිළිකුල් සහගතම කට කතාව?
තාම නෑ නේද….? සමහර විට එහෙම එකක් ඉස්සරහට හැදෙයි.

සැබෑ කරගන්න කැමැති හීනය?
මං ආසයි පැරිස්නුවර වීදියක ඇවිදගෙන යන්න.

ජීවිතයට හුඟක්ම සමීප ගීතය?
කඩමණ්ඩියේ ‍ෙදාළ අයිනේ…

වාසනා සුරංගිකා විතානගේ
අසන්ත ගමආරච්චි

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...