Wednesday , 12 February 2025

ආරාධනාවක් ලැබුණොත් මම දේශපාලනයට එනවා – සනෝජා බිබි‍ලේ

තමන්ගේ ජීවිතයට බොහෝමත් සමීප තමන් බොහෝ ආදරය කරන කෙනකු අහිමිවීම කෙනෙකුට ගෙනෙන්නේ දරාගන්න බැරි වේදනාවක්. ඒ වේදනාව හැඟීම්දැනීම් ඇති කාටත් ‍පොදුයි.

පසුගිය දිනක අපේ ආදරණීය කලාකාරිනියකට ඇගේ ආදරණීය මව අහිමිවුණා. ඒ වේදනාව ඇයත් එක්ක මොහොතකට හරි බෙදාගන්න අපි වත්තල පිහිටි ඇගේ නිවසට ගොඩවුණා.නිතරම පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ මුවගට සිනහවක් එක්කළ ඇය සනෝජා බිබි‍ලේ. වෙනද වාගේ අර අපූරු දඟකාර සිනහව ඇගේ මුවේ නොතිබුණත් හුරුපුරුදු ළෙන්ගතුකම නම් අඩුවක් තිබුණේ නැහැ.

ගොඩක් කනගාටුදායක් ආරංචියක් හම්බුණු වෙලාවක අපි ආවේ කරදර කරන්නනම් නමෛයි. මරණයේ උණුසුම තවමත් නොමැකුණු ඇගේ නිවසට ගොඩවෙලා මං කීවේ ඇයව කතාවට එකතු කරගන්න ගමන්.කරදරයක් නම් නැහැ. ඒත් තාමත් මං ඉන්නේ මොනවත්ම හිතාගන්න බැරි තත්වෙක. මගේ ජීවිතේ මගේ මුළු ලෝකෙම මුණේ මගේ අම්මා. හරි වැරැද්ද පෙන්වලා අද මේ තැනට ගේන්න මගේ අම්මා පුදුම කැපවීමක් කළා. එදා මගේ අම්මට ඕන වුණේ අපිව දොස්තරවරු, ඉංජිනේරුවරු කරන්න. ඒත් ෙදෙවය අපිට දුන්නේ වෙනත් මාර්ගයක්. මට අද දැනෙන වේදනාව වචනයෙන් කියන්න බැහැ. අවුරුදු 77 ක් මගේ අම්මා ජීවත්වුණා. සමහර විට ඊටත් වඩා ජීවත්වෙන්නත් තිබුණා.

ඇයි තවත් ජීවත් වෙන්න තිබුණා කියන්නේ. ඇය නවත්තපු තැනින් ආරම්භයක් හොයන්න මං උත්සාහ කළා. මගේ අම්මා ඉස්පිරිතාලෙට ගියේ හොඳට ඇවිදගෙන. ඒත් එතනින් එළියට එද්දී ඇවිදින්නවත් බැරිවුණා. අපේ රටේ ඇතැම් වෛද්‍යවරු, නර්ස්ලා හිතන්නේ තමන්ගේ පිරිස විතරයි ලෙඩ්ඩු කියලා. එහෙම නැතිවුණානම් මගේ අම්මා හොඳට තව ටික කාලයක් ජීවත් වෙනවා. මං ස්තූතිවන්ත වෙනවා මුල්‍ලේරියාව මූලික රෝහ‍ලේ වෛද්‍ය සාගරිකා මහත්මියට. ඇය මගේ අම්මට බොහෝම හොඳින් සැලකුවා. නමුත් මං ඒ රෝහ‍ලේ නර්ස්ලටනම් කිසිම් සමාවක් දෙන්නේ නැහැ. හේතුව එයාලට මගේ අම්මා තව එක ලෙඩෙක් විතරක් වුණ නිසා.

ඒත් මට මගේ අම්මා මගේ ළඟ ඉන්නවා දැනෙනවා. මගේ ඔළුව අතගානවා දැනෙනවා. ගැහැනු දරුවකුට අම්මා පණවගේ තමයි.ඇය මොහොතකට සංවේදී වුණා. ඇයගේ ඇස්වලට කඳුළු දෙන්න නම් අපට වුවමනා වුණේ නැහැ. ඒත් ඇයට දුක පිටකරන්න ඉඩදීලා මොහොතක් අපි බලාගෙන හිටියා.

අපේ ආදරණීය කලාකරුවන් දුක බෙදාගන්න ළගින්ම ඉන්න ඇති නේද?
ඇත්තටම ඒ ගැනනම් මං බොහොම කනගාටු වෙනවා. අපේ රටේ ප්‍රවීණයි, ‍‍‍ජ්‍යෙෂ්ඨයි කියලා හිතාගෙන ඉන්න ඇතැම් අය ඒ වෙලාවේ කිසිම සහයෝගයක් ලබාදුන්නේ නැහැ. ඒ වෙලාවෙ මට හිතුනේ මේ අයද ජනතාව වෙනුවෙන් ඡන්දේ ඉල්ලන්නේ කියලා. නමුත් මං නොහිතපු අය එදා මගේ ළඟ හිටියා. විශේෂයෙන් මං ස්තූතිවන්ත වෙනවා සංගීතා වීරරත්නට. මං එයා ගැන වැරදි විදිහට හිතන් හිටියේ. නමුත් කවුද නියම යහළුවා කියන දේ මං තේරුම්ගත්තා. ඒ වගේම මං අපේ ජනාධිපතිවරයාටත් මේ වෙලාවේ විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. එතුමා මගේ අම්මට අවසාන මොහොතේ ගෞරවය දැක්වූවා. ඒ ගෞරවය මගේ ජයග්‍රහණයක්.

ජීවිතේට නව අත්වැලක්, සහයෝගයක් තිබුණා නම් සමහරවිට මේ තනිකම ටිකක්හරි අඩුවෙන්න තිබුණා නේද?
ඇයි තාමත් තනියට ඉන්නේ කියන ප්‍රශ්නය අහන්නේ නැතිව මං ඇයගෙන් එහෙම ඇහුවා.
ඒකනම් ඇත්ත. මගේ අම්මගේ ලොකු ආසාවක් බලා‍පොරොත්තුවක් තිබුණා මම විවාහ වෙනවා දකින්න. ඒ ගැන අම්මයි මමයි හරියට තර්ක කරගත්තා. ඒත් අද මට හිතෙනවා මට මාව දිරිමත් කරන්න පිරිමි ශක්තියක් අවශ්‍යයි කියලා. මගේ අප්පච්චිව නංගිව, අක්කව බලාගන්න මං අම්මට දිව්රලා ‍පොරොන්දු වුණා. ඉතින් ඒකට මට ශක්තියක් ඕන.

ඒ කියන්නේ මෙච්චර කාලෙකට විවාහ නොවුණ එක ගැන දැන් පසුතැවෙනවාද?
මම ඇයගෙන් එහෙම ඇහැව්වේ ඒ මුහුණේ ලියවුණු අසරණකමට තනිකම හොඳින්ම දැක්ක නිසයි.
ඔව් මං ඒ කා‍ලේ හිතුවේ කසාද බැන්දොත් මගේ නිදහස නැතිවෙයි, මාව හිරවෙයි කියලා. මට වුවමනා වුණේ නැහැ කොටුවෙන්න. නමුත් ඒ සිතුවිලි හරිම බොරුවක්. ජීවිතේ කොයි මොහොතෙද කියන්න දන්නේ නැහැ.

ඒ කියන්නේ ඔබ ළඟදීම ජීවිතේට තවත් අත්වැලක් එකතු කරගනිවී.
දැනට යෝජනා කීපයක් ඇවිත් තිබෙනවා. ඒ අතරින් සුදුසු මාව තේරුම්ගත්ත මගේ සහෝදරියෝ, අප්පච්චිට රැකවරණය සපයන්න පුළුවන් කෙනෙක් ලැබුණ ගමන් මං විවාහ වෙනවා. ඒ කෙනා මේ වසරේ මුණගැහුනොත් මේ අවුරුද්දෙම විවාහ වෙනවා.

විවාහ නොවුණේ ආදරෙන් පැරදුන නිසාද?
ආදර සම්බන්ධතා තිබුණා. ඒත් ඒවා බිඳුණා. මට වුවමනාවක් තිබුණේ නෑ විවාහ වෙන්න. ඇත්තටම මට ඕන වුණේ මගේ අම්මා තාත්තා ළඟට වෙලා ජීවත් වෙන්න. ඒත් මං අද තනිවෙලා. මං කැමති නිශ්ශබ්ද ජීවිතයක් ගත කරන්න. විවාහය හොඳට හිතලා කරන්න ඕනේ. නැතුව දික්කසාද වෙන්න මට අවශ්‍ය නැහැ.

ඔබට හිතෙන්නේ නැද්ද කලාවෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරගන්නවා වගේ දේශපාලනයට සම්බන්ධවෙලා ජනතාවට සේවයක් කළොත් හොඳයි කියලා.
ඒ පාරනම් අර දුක නැතිවෙලා ‍පොඩ්ඩක් විතර නැතිවෙලා දඟකාර හිනාව ‍පොඩ්ඩක් විතර මතුවුණා. මට ඒකෙන්ම හිතගන්න පුළුවන් වුණා ඇය දෙන පිළිතුර.
මම ඇත්තටම කැමතියි දේශපාලනය කරන්න. ඒත් මං දේශපාලන පසුබිමක උපන් කෙනෙක් නමෛයි. ඒ නිසා මං දන්නේ නෑ දේශපාලනයට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා. හැබැයි ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන් දේශපාලනයට එනවා.
පක්ෂයක් තෝරාගෙනද එන්නේ නැත්නම්…..
රටට ජනතාවට වැඩක් කරන්න පුළුවන් පක්ෂයක් තමයි තෝරාගන්නේ.

ක්ෂේත්‍රයේ යහළු මිත්‍රකම් පවත්වන්නේ කොහොමද?
මම හැමෝම එක්ක යාළුයි. හැබැයි මට පාට් දාන්න ආවොත් මං එතනින් එහාට කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නේ නෑ. මං ප්‍රවීණයන්ට ගරු කරනවා. ඒ වගේම අලුතින් ක්ෂේත්‍රයට පැමිණෙන අයත් ඒ ගරුකිරීම තමන්ගේ ප්‍රවීණයන්ට ගරුකරන්න ඕන.

ඔබට කටකතා එහෙම හැදිලා තියෙනවා නේද?
ගොඩාක් හැදිලා තියෙනවා. ඒත් ඉතිං ඒවා ඔප්පු කරන්න බැරිවුණා. පදනම් විරහිත කටකතා මං ඒ දේවල්වලින් ගැලවෙන්න දන්නවා.

හෙට දවස කොහොම වෙයිද?

සහෝදරියෝ, අප්පච්චි බලාගන්න ඕන. ලොකු ප්‍රාර්ථනා නම් නැහැ. මම කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය කරනවා. ඊට අමතරව මං නීති උපාධිය හදාරනවා. ඒක මගේ අම්මාගේ සිහිනයක්. එහෙනම් අක්කි අක්කිගේ දුක සැප අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තූතියි. සියලුම ප්‍රාර්ථනා ඉෂ්ටවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි නංගි.
ඒ කතාබහ අවසන් කළේ අපේ ළෙන්ගතුකම වැඩිවෙන තවත් කාරණයකුත් එක්කයි. ඒ ඇයයි මමයි අධ්‍යාපනය ලබලා තිබුණේ එකම පාසලක. ඒ නිසාම මේ සොඳුරු කතාබහට නැවතත් අලුත් ආරම්භයක් ලැබුණා කියලා මට මොහොතකට හිතුණා.

ශකිලා රාජපක්ෂ

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...