සෞදි ගිය පස්දරු බිරියගේ යටිබඩ බලෙන් ඔපරේෂන් කරලා

කිසිම අසනීපයක් නැතිව හිටිය බිරියගේ යටිබඩ බලෙන් ඔපරේෂන් කරලා ලංකාවට එව්වට පස්සේ දවස් පහකින් ඇය මිය ගියා. දැන් දරුවො පස්දෙනා ජීවත් කරවන්න මම නොවිඳිනා දුක් විඳිනවා. උකසට තියපු ගේ බේරගන්න බැරි වුණොත් මායි දරුවොයි මහපාරට වැටෙනවා.

අම්බලන්ගොඩ රන්‍ෙදාඹේ, ඔලගම පාර, පදිංචිව සිටි ප්‍රියානි මෙන්දිස් (41) මහත්මිය සෞදි අරාබියේ නිවෙසක රැකියාව කරමින් සිටියදී කළ ශාල්‍යකර්මයකින් පසුව අසාධ්‍යව පසුගිය අප්‍රේල් මස 26 වැනිදා ශ්‍රී ලංකාවට එවීමෙන් පසුව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මැයි 02 වැනිදා මිය ගියාය. ඉන් පසුව දරුවන් ජීවත් කරවීමේ අසීරු සටනක යෙදෙන ඇගේ සැමියා වන එල්.ප්‍රේමරත්න සිල්වා මහතා  එසේ පැවැසීය.

ප්‍රේමරත්න මහතා මෙසේද පැවැසීය. බලෙන් ඔපරේෂන් එකක් කළා කියලා බිරිය මට දුරකතනයෙන් කතා කරලා කිව්වා. මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහින් ඇයව ගෙන්වා දෙන ලෙස ඉල්ලීමක් කළා. එතැන වැඩකරන නිලධාරියෙක් “එයාව ගෙන්වන්න ඔයා ළඟ සල්ලි තියෙනවද” කියා ඇසුවා. මා ළඟ සල්ලි නැති නිසා බිරියව රට යවපු ඒජන්සියේ දුරකතන අංකය මම ඉල්ලුවා. නමුත් එය ලැබුණේ නෑ. මම ආපසු ගෙදර ආවා. දවස් තුනකට පස්සේ අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරියෙක් ඇවිත් මට කිව්වා බිරිය මීගමුව රෝහලට ඇතුළත් කරලා තියෙනවා කියලා. මට ඇයව බලන්න යන්නවත් සල්ලි තිබුණේ නෑ. බිරිය හොඳ සිහියෙන් ආ බවත්, ඇගේ යටිබඩේ අඟල් හයක පමණ කැපුමක් ඇති බවට හා බලෙන් ඔපරේෂන් කළ බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කළ බවත් මට දැනගන්න ලැබුණා.

බිරිය මියගියාට පස්සේ මරණ පරීක්ෂණයේදී මම කිව්වා මේ මරණය ගැන මට සැකයි කියලා. පරීක්ෂණය කරපු වෛද්‍යවරයා කිව්වා ඒ ගැන පොලිසියට පැමිණිලි කරන්න කියලා. මම අම්බලන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කළා. මාස පහක් ගතවෙලත් තාම පරීක්ෂණයක් කළේ නෑ.

මගේ වැඩිමහල් දුවගේ වයස අවුරුදු 16යි. දහය වසරේ ඉගෙන ගන්නවා. අවුරුදු 13ක් වන දෙවැනි දුව අට වසරේ ඉගෙන ගන්නවා. තුන්වැනි දුවට අවුරුදු දහයයි. පහ වසරේ ඉගෙන ගන්නවා. හතරවැනි දුවට අවුරුදු අටයි. සමේ රෝගයක් නිසා පාසල් යවන්නෙ නැතිව ඉඳලා දැන් එක වසරේ ඉගෙන ගන්නවා. බාලම දරුවා පුතාට අවුරුදු පහයි. එයත් එක්ක ඉන්නෙ එක වසරෙ.

මම මේ තරමින් හරි දරුවන්ව ජීවත් කරවන්නෙ, පාසල් යවන්නෙ ධනසිරි මහත්මයයි, පාසලේ මුල් ගුරුතුමයි, ගුරුවරුයි, අසල්වැසියොයි කරන උදවු උපකාර නිසයි.
බිරිය මිය ගිහින් මාස පහක් ගත වුණා. විදේශ සේවා කාර්යාංශය නිහඬව ඉන්නවා. බිරිය රට ගියේ කාර්යාංශයේ ලියාපදිංචිය, රක්ෂණය ඇතිව. දරුවන් වෙනුවෙන් වන්දියක් ලබා දෙන්න කියා එහි නිලධාරීන්ගෙන් මම ඉල්ලනවා.

උපුටාගැනීම මව්බිම පුවත්පත​

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...