මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ගෙන් තමන් උගෙන ගන්නා පාසැලට සිදුවෙන්නට ගිය මහා විනාශයක් නවතා දැමීමට තම ජීවිතය කැප කළ පාසැල් සිසුවෙකු වීර සම්මානයකින් පිදීමට පකිස්ථානයේ අගමැති නවාස් ෂෙරිෆ් සිය අනුමැතිය පළකොට තිබේ.
පුපුරණ ද්‍රව්‍ය සහිත කබායක් හැඳ බලහත්කාරයෙන් පාසැලට ඇතුල්වන්නට තැත්කළ බෝම්බකරුවකු නවතාදමන්නට ගත් උත්සාහයේදී මියගිය 15 හැවිරිදි අයිසාස් හසාන් ය මෙලෙස වීර සම්මානයට නම් කොට ඇත්තේ.
හසාන් වෙනුවෙන් මෙසේ පුදකර ඇත්තේ “සිතරා ඒ ෂුජාත්” නමින් හඳුන්වන වීර සම්මානයයි.
සඳුදා සිදුවූ මෙම සිදුවීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් කෘතගුණ වැනුම් හා පැසසීම් ගලාඑන්නට විය.
අයිසාස් ගේ වීර ක්‍රියාව නියම ජාත්‍යාලය පෙන්නුම් කිරීමක් ලෙසටයි එය අගය කරමින් අගමැති කාර්යාලය නිකුත් කල නිවේදනයක සඳහන් වන්නේ .
ක්හයිබර් පක්තුන්ක්හවා පළාතේ සන්නිවේදන කටයුතු පිලිබඳ අමාත්‍ය ෂාහ් ෆමාන් පැවසුවේ අයිසාස් හසාන් යනු ක්හයිබර් පක්තුන්ක්හවා පළාත් වාසීන්ගේ සැබෑ මුහුණුවර විදහා දැක්වූ සැබෑ වීරයෙක් බවයි.
මේ අතර හසාන් වෙනුවෙන් ඔහු ගේ පවුලේ අයට වන්දියක් ලබාදීමට ප්‍රාදේශීය අධිකාරිය කටයු තුකරමින් සිටින බවයි පැවසෙන්නේ.
“අභීත ක්‍රියාවක්”
මෙය සිදුවී ඇත්තේ දෙදහස් දාහතර නව වසරේ පළමු වැනි සඳුදා, එනම් හයවෙනිදා, ෂියා මුස්ලිම් වරුන් වැඩි වශයෙන් ජීවත් වන වයඹ දිග පකිස්ථානයේ හන්ගු පලාතේදීය.
බෝම්බකරු කඩාවදිනවිට දෙදහසකට අධික සිසුන් පිරිසක් පාසැල් රැස්වීමට සහභාගී වෙමින් සිට ඇත.
තම මිතුරු සිසුන් තමන් වළකා ලන්නට උත්සාහ කරද්දීත් ඉදිරියට පැමිණෙන මරාගෙන මැරෙන බෝම්බකරු වෙත ගොස් සියගණනක් ජීවිත බේරාගත් හසාන් ගේ එඩිතර බව සැමගේම පැසසුමට ලක්වී ඇති බව හසාන් ගේ ඥාති සොහොයුරෙක් වන මුදස්සාර් බැන්ගිෂ් බී බී සී යේ අලීම් මක්බුල් ට පවසා ඇත.
“ ඔහු එක්ක හිටපු ඉස්කෝලේ යාලුවො කියල තියනව ඒ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් නිසා ලඟට යන්න එපා කියල. එත් ඔහු කිව්වලු මේ ත්‍රස්තවාදිය යන්නෙ අපේ යාලුවො සේරම මරල දන්න. ඒ නිසා මම කොහොම හරි ඒක නවත්වන්න ඕන, කොහොමහරි ඒ මිනිහව අල්ලගන්න ඕන කියල” යනුවෙන් මුදස්සාර් වැඩිදුරටත් පැවසීය.
එබැවින් මව, පියා ඇතුළු හසාන් ගේ පවුලේ අය පවසන්නේ දුක් වීමට වඩා ඔවුන් හසාන් පිළිබඳව ආඩම්බර වෙන බවයි.
bbc