ඌවේ විපක්ෂනායක හරීන් ප්‍රනාන්දුට ද වැඩ කිරීම සඳහා සන්ධානය සමග එක්වන ලෙසට ආරාධනා කර ඇති බව ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂයේ සිට ජනතාවට සේවකයක් කළ නොහැකි බැවින් සන්ධානය සමග එක්වන ලෙසට තමා ඔහුගෙන් ඉල්ලා ඇතැයි ඒ මහතා අද (15) කොළඹදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
එසේම ඌව මැතිවරණයට තරඟ කළ සන්ධාන අපේක්ෂකයින් සියලුදෙනා ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කරන බවත්, ඒ අනූව ඔවුන් එහාට මෙහාට යනවා නම් යන්නේ රටට වැඩක් කළ හැකි පැත්තට බවත්, ඔහු පැවසීය.
තවද ඌව පළාත් සභාව කල්දැමීම ගැන මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ “ මට වගේම තමයි හරීන්ටත් සීතල අල්ලන්නේ නෑ” යනුවෙනි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා වත්තල බවත්, තමන් හම්බන්තොට බවත්, රාජපක්ෂ මහතා පැවසීය.
එම මාධ්‍ය හමුවට එක්වූ ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා කියා සිටියේ මෙවර ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කළ බවයි.
මෙවර සටන ඇත්තේ ශ්‍රීලනිපයේ දෙදෙනෙකු අතර බවත්, ඒ නිසා මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා මහින්ද රාජපක්ෂ මහතා හොඳ බැවින් තමන් ඔහුට සහය දෙන බවත්, ඔහු පැවසීය.
යම් හෙයකින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළොත් කුමක් කරන්නේදැයි ඇසූ ප්‍රශ්නයට ඔහු කියා සිටියේ කෙසේවත් ඔහු ජය නොගන්නා බව තමන්ට විශ්වාස බවයි.