හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ ඒවා බවට තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) අධිකරණයට දැනුම් දුන්නේය.
මීට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවල වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට රහස් පොලිසිය ඉදිරිපත් කළේය.
එම වාර්තාව වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇත.
මෙහිදි විත්තිය පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥවරයා පවසා ඇත්තේ සැකකාරිය ඇප කොන්දේසි කඩ නොකොට මසකට වරක් අධිකරණයේ රෙජිස්ටාර්වරිය වෙත වාර්තා කර ඇති බැවින් ඇයට පනවා ඇති එම නියෝගය ලිහිල් කරන ලෙසයි. ඒ අනූව ඇය මාස 3ට වරක් අධිකරණයේ රෙජිස්ටාර් වෙත වාර්තා කිරීම ප්‍රමාණවත් බව මහේස්‍ත්‍රාත්වරයා දැනුම්දී ඇත.
ඒ අනුව එම පැමිණිල්ල සැප්තැම්බර් 11 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.
අවිධිමත් ලෙස සකස් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි මස 22 වැනිදා ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගත් අතර පසුව, රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.