Thursday , 22 February 2024

දේශපාලනයට එන ඊළඟ බණ්ඩාරණායක මෙන්න

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් ළඟදීම ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමේ සූදානමකින් පසුවේ.

සාකච්ඡාවකට සහභාගි වෙමින් ශවීන් බණ්ඩාරනායක පැවැසුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ඉතා ඉක්මනින් වෙනස් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් එවැනි වතාවරණයකදී තමන් වැන්නවුන්ට දේශපාලන කරළියට පැමිණීමට වැඩි ඉඩක් ලැබෙනු ඇති බවත්ය.

“අද දවසේ රටේ දේශපාලනයේ මා වැන්නවුන්ට ඉඩක් ඇති කියලා මම හිතන්නේ නැහැ. එහෙත් මේ ක්‍රමය වෙනස් වූ විට මට හිතෙන විදියට ඒ වෙනස ළඟදීම සිදුවේවි. එදාට මාව පාර්ලිමේන්තුවේ දැකගන්න පුළුවන් වේවි” යි ඔහු පැවැසීය.

ශවීන් බණ්ඩාරනායක පසුගියදා යළිත් කරළියට පැමිණියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සිය ‘ෆේස්බුක්’ පිටුවේ සිය මව පිළිබඳ තබා තිබූ සටහනකට පිළිතුරු සටහනක් යෙදීම හේතුවෙන්ය.

හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විශේෂ මූල්‍ය වංචා විමර්ශන ඒකකයට කැඳවීම සම්බන්ධයෙන් ඡායාරූප සටහනක් පළකරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියා සිටියේ දේශපාලනයේ නොයෙදුණු තම මව සහ සොහොයුරන් ‘යහපාලනයේ’ ගොදුරු බවට පත්වෙමින් සිටින බවයි.

‘රාජපක්ෂ මහතාණෙනි, ඔබට ඔබේ කාලසීමාවේදී වූ දේ මෙතරම් ඉක්මනින් අමතක වූයේ කෙසේද? මම, මගේ මව, මගේ පියා, නැන්දණිය හෝ මාමා දේශපාලනය සම්බන්ධ වූවන් නොවෙමු. එහෙත් පසුගිය වසර දෙකහමාර පුරා ඔබේ ආණ්ඩුව අපව පාගා දමමින්, රිද්දවමින්, අපහාස කරමින් බොහෝ අකටයුතුකම් කෙළේය. මගේ මවුපියන් දිනපතා උසාවි ඇදගෙන යනවිට, අල්ලස් කොමිසමට රැගෙන යන විට, ඔබ විසින් අයථා ලෙස බලය යොදා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ අපහාස කරන විට මට කුමක් දැනුණේද? සිතුණේද? කියා දැන්වත් ඔබට සිතා ගත හැකිද? ඔබ අන්‍යන්ගේ සහාය හෝ අනුකම්පාව යැදීමට පෙර අනෙක් පාර්ශ්වයටත් කරුණු කීමට ඉඩ දෙන්න. (Audi Alteram Partem) ඔබත් නීතිඥයකු නිසා මෙහි තේරුම හොඳින් බලා ගන්නැයි’ ශවීන් බණ්ඩාරනායක තැබූ ප්‍රතිසටහන බොහෝ දෙනකුගේ පැසසුමට ලක්ව තිබිණි.

මීට අමතරව තම මව දේශපාලනයට පැමිණෙනවාට ඔහුගේ කැමැත්ත අකැමැත්ත විමසූ විට ඔහු කියා සිටියේ ‘දේශපාලනය’ යන වචනය පැත්තකින් තැබුවහොත් මේ රටට සමාජයට තම මවගෙන් ගතහැකි ඵල ප්‍රයෝජන බොහෝ බවයි.
‘මේ දේවල් වෙද්දිත් ඇය මේ රට දාලා නොගියේ ඇය මේ රටට ආදරය කරන නිසා. ඇය මෙරටට බොහෝ සේවයක් කිරීමට හැකි කෙනෙක්’ යැයිද ඔහු පැවැසීය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...