ප්‍රවීණ අධ්‍යාපනඥයෙක් සහ කීර්තිමත් විදුහල්පතිවරයෙක් වූ ආර්.අයි.ටී.අලස් මහතා ඊයේ (28) සවස අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් මස 2 වෙනිදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා වන අලස් මහතා ගාල්ලේ උපත ලැබුවෙකි. ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් හා මහනුවර ශාන්ත ඇන්තනීස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ගුරුවරයෙක් ලෙසිනි. ඉන් පසුව කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිධුරයට පත් වූ ඔහු වසර ගණනාවක්ම නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කළේය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන හා හිටපු අමාත්‍යවරයෙක් හා කථානායකවරයෙක් වූ අනුර බණ්ඩාරනායකගේ පාසල් ගුරුවරයා වූයේ ද අලස් මහතාය. කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය ආරම්භයේදී එහි ආරම්භක විදුහල්පතිවරයා ලෙස පත්වීම් ලැබූ ඔහු එම විද්‍යාලය ගොඩ නැංවීමට කටයුතු කළ පුරෝගාමියෙක් විය. සිසුන් 167 දෙනෙකුගෙන් ඇරඹී ඩී.එස්.සේනානායක විද්‍යාලය සිසුන් පන්දහසක් අධ්‍යාපනය ලබන ශිල්ප ශාලිකාවක් බවට පත් කිරීමට ඔහු සිය ජීවිතයෙන් වැඩි කොටසක් ගත කළේය. අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, හා උදය ගම්මන්පිල වැන්නවුන් අලස් මහතා යටතේ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෝ වෙති. සහිරා විදුහලේ විදුහල්පතිවරයා ලෙසින්ද පත් වූ ඔහු එම විද්‍යාලයට පැමිණි එකම සිංහල විදුහල්පතිවරයා ලෙසින් ඉතිහාසගත විය. විදුහල්පති සේවයෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයෙක් ලෙස එක් වූ ඔහු 1992 වසරේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තේ රාජ්‍ය අධ්‍යාපන ලේකම්වරයා ලෙසිනි. රෝහණ ගුණවර්ධන මෙනවිය සමග අතිනත ගත් ඔහුට ටිරාන් අලස්, මලික් අලස් හා හර්ෂ අලස් නමින් දරුවන් තිදෙනෙකි, ටිරාන් අලස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතර හර්ෂ අලස් ගේට්වේ ඉන්ටර්නැෂනල් පාසලේ අධ්‍යක්ෂකවරයෙකු වේ. මලික් අලස් පාසල් කාලයේදී ක්‍රිකට් පුහුණුවීම්වල නිරත වෙමින් සිටියදී පන්දුවක් හිසේ වැදීමෙන් මිය ගියේය.
Lakbima