11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

සිරස සුපර් ස්ටාර් Season 6

සිරස සුපර් ස්ටාර් නියම හඬ තේරීමේ හයවෙනි අදියර පසුගිය දා ආරම්භ වුණා. එසේ විකාශය ආරම්භ වූ සිරස සුපර් ස්ටාර් සීසන් – 6 හි විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන්නේ හේෂාන් ගමගේ, අමිලා නදීශානි හා දුමාල් වර්ණකුලසූරියයි.

නියම හඬ සොයා යන ව්‍යායාමයේ දී තරගකරුවන්ට සාධාරණීකරණය කරන පළමු පුරුක වන්නේ විනිශ්චය මණ්ඩලයයි. එසේ සාධාරණීය විනිශ්චයක් ලබා දීමට සිරස සුපර් ස්ටාර් වේදිකාවෙන්ම බිහි වූ අමිලාටත් දුමාල්ටත් හැකියාවක්, සුදුසුකමක් තිබෙනවා ද යන්න සමාජය විවිධමත දරනවා. ඒ නිසා සිරස සුපර් ස්ටාර් වේදිකාවට ගොඩවන තරගකරුවන්ට විනිශ්චය ලබා දීමට තරම් සුදුස්සන් ද යන වග අමිලාගෙන් හා දුමාල්ගෙන් අපි විමසන්න තීරණය කළා. මේ ඒ සංවාද සටහනේ තොරතුරුයි.

* සුපිරි තරු බිහි කරන වැඩසටහනකින් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි ඔබට ඔබ වැනි අයවලුන් විනිශ්චය කරන්න ලැබිම ගැන මොකද හිතන්නේ කියලම මේ කතාබහට ප්‍රවිශ්ට වෙමු..


අමිලා

සිරස සුපර් ස්ටාර් තරගාවලියට මාවත්, දුමාල් හා හේෂාන්වත් තෝරා ගත්තේ වෙනස් මානයකින් වැඩසටහනේ විනිශ්චය ලබා දෙයි කියන අදහස ඇතුව කියලයි මම හිතන්නේ. සිරස ආයතනය බලා‍පොරොත්තු වෙන වෙනස පුළුවන් උපරිමයෙන් කරන්න මම වෙහෙස ගන්නවා. ලැබුණු අවස්ථාව ගැන මම සෑහීමකට පත් වෙනවා වගේම සතුටට පත් වෙනවා. මොකද මම මෙතනින් බිහි වුණා වගේ තවත් පිරිසක්ව මේ වේදිකාවෙන් බිහි කරන්න මටත් වුවමනාවක් තියෙනවා. නියම හඬ තෝරා දෙන්න ඒ නිසා මටත් පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

දුමාල්
රියලිටිකරණයකින් බිහි වුණු කෙනෙක් විදියට රියලිටිකරණයක විනිශ්චය ලබා දෙන්න තේරී පත්වුණ එක ගැන සතුටුයි. එය හුඟ දෙනකුට නොලැබෙන අවස්ථාවක්. එවැනි අවස්ථාවක් මට ලැබිම ගැන මට සතුටක් තියෙනවා. ඒ වගේම එය හරිහැටි කරන්න මට ශක්තියක් තියෙනව කියලත් මට විශ්වාසයි.


* විනිශ්චයකරුවෙක් විදියට තරගකරුවකු හසුරුවා නැති ඔබට මෙවැනි රියලිටිකරණයක් හැසිරවීම අභියෝගයක් නේද?


අමිලා

ආයතනවල පවත්වන ඇතැම් සංගීත තරගවල විනිශ්චය කටයුතු කරලා තියෙනවා. ඒ පළපුරුද්ද තිබුණට ප්‍රසිද්ධ ආයතනයක් මගින් පවත්වන සමස්ත ලංකාවම නියෝජනය වෙන විදියේ රියැලිටි තරගයක් විනිශ්චය කරන පළමු අවස්ථාව මෙයයි. ඒක ලොකු අභියෝගයක්. දක්ෂයකු ඉදිරියටම ගෙන යන වගකිවයුතු කටයුත්තේ අපි හරියාකාරව නියැළෙන්න ඕන. කොච්චර ලස්සන කටහඬවල් තිබුණත් දක්ෂයින් හිටියත් ඒ අයව අබිබවමින් යන අති දක්ෂයාටයි අපි මාර්ගය පෙන්වන්න ඕන. විනිශ්චය ලබා දිය යුත්තේ. එය වගකීමක්. සාමාන්‍ය දෙයක් හැටියට ඇත්තටම සලකලා වගකීමෙන් මිදෙන්න බැහැ.

දුමාල්
රියලිටිකරණ සංකල්පයේ විනිශ්චය ලබා දීම මට අභියෝගයක්. මේ අවස්ථාවට මාව තෝරාගත්තා කියන පණිවිඩය ලැබුණ ගමන් මම සතුටට පත් වුණාට වඩා අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියලයි හිතුවේ. මමත් ඇතැම් සංගීත තරග විනිශ්චය කරල තියෙනවා. ඒ තරගවලට වඩා මෙවැනි තරග දෙස ප්‍රේක්ෂකයින් අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා තරගකරුවන්ට අසාධාරණයක් නොවන විනිශ්චයක් ලබා දෙන්න ඕන. විනිශ්චයකරුවකුගෙන් ලැබෙන විනිශ්චය තරගකරුවකු ඉදිරියට ගෙන යන්නත් ගෙන නොයන්නත් වැදගත්. තීරකයකුගෙන් ලැබෙන්න ඕන විනිශ්චය කොයි වගේ වෙන්න ඕනද, එය ප්‍රේක්ෂකයින් තරගකරුවන් වැලඳගනීවිද කියන අභියෝගාත්මක ප්‍රශ්නයමට නැතුව නොවෙයි.

* සිරස සුපර් ස්ටාර් හයවැනි අදියරේ තීරකයින්ගේ පුටුවල අසුන් ගන්න ඔබට තියෙන සුදුසුකම මොකක්ද කියලා සමාජය විමසුවොත් ඔබ දෙන පිළිතුර මොකක්ද?


අමිලා

සුපර් ස්ටාර් වේදිකාවේ රාගයක් ගායනා කරනවා නම් එයට විනිශ්චය දෙන්න ඇත්තටම මට සුදුසුකමක් නැහැ. රාග ගැන ඉගැන්වීමක් දැනීමක් මට නැහැ. ඒත් මේ වේදිකාවේ ගායනා කරන්නේ සරල ගීතයි. ඒ වගේ සින්දු අහලා ඒවයේ රසය වටහාගෙන ඔහුගේ හෝ ඇයගේ හඬ පිළිබඳව තීරණයක් දෙන්න මට හැකියාවක් තියෙනවා. ඔවුන් ගායනා කරන්නේ අපි නිතරම අහන ගීත. ඒ ගීතවල අඩුපාඩුකම් පෙන්වා දෙන්න මට හැකියාවක් තියෙනවා.


දුමාල්

විනිශ්චය මණ්ඩලයක වාඩි වෙන්න අවශ්‍ය සියලුම සුදුසුකම් මට තියෙනවා. ඒ පුටුවේ වාඩි වෙනව නම් සංගීතය පිළිබඳ අධ්‍යාපනය හා අවබෝධය වැදගත්. මට ඒ දෙකම තියෙනවා. මම ඉන්දියාවේ අවුරුදු පහක් ඉගෙනගෙන විශේෂ උපාධියක් ලබාගත්ත කෙනෙක්. සංගීත නිපුන් උපාධියත් මම සමත්. මගේ ප්‍රථම සම්මානය ලබා ගන්නෙත් ඉන්දියාවේදී. ඒ නිසා මම අධ්‍යාපනයෙන් සන්නද්ධයි. සංගීතය ගැන මම නිතරම යාවත්කාලීන වෙනවා. සින්දු අහලා ගායනය කොතනද තියෙන්න ඕන, හඬ හැසිරවිය යුත්තේ කොහොමද, තාක්ෂණික දැනුම කොයි විදියේ විය යුතුද කියන දේ වැදගත්. ඒ හැකියාව මට තියෙනවා. එහෙම නැතුව ගායනය කරන පුද්ගලයාගේ හඬ අහලා ඉදිරියට යනවද නැද්ද කියලා ඕනෑම කෙනකුට කියන්න පුළුවන්. ඒත් මගේ දැනුමේ හැටියට මම එවැනි තීරණයක් ලබා දිය යුතු නැහැ. මට ප්‍රායෝගිකව ඕනෑම පරාසයක ගීතයක් ගායනා කරලා වාදනය කරලා තරගකරුවාට ප්‍රායෝගික දැනුමක්, තීරණයක් ලබා දිය හැකියි. ඒ වගේම නියම දක්ෂයාව තෝරාගෙන අදක්ෂයාට වරද පෙන්වා දෙන්න පුළුවන්, කෙළින් තීරණ ගන්න පුළුවන් කොන්දක් මට තියෙනවා.

* දුමාල් ඔබ පසුගිය දා රාජ්‍ය සම්මාන උළෙ‍ලේ දී සම්මානයක් හිමිකර ගත්තා. විනිශ්චය මණ්ඩලයේ අසුන්ගන්න ඒ සම්මානය ඉවහල් වුණා කිව්වොත්..
රාජ්‍ය සම්මාන උළෙ‍ලේ මේ වසරේ විශිෂ්ටතම යොවුන් ගායන ශිල්පියා හැටියට තේරී පත් වුණේ මම. බොහෝ දුරට මේ සම්මානය මට ලැබුණු එක සුදුසුකමක් හැටියට සිරස ආයතනය දකින්න ඇති. මොකද මට සම්මානය ලැබිලා දින කිහිපයක් ගත වුණාට පසුව තමයි විනිශ්චයට ආරාධනා කළේ. ඒ නිසා සම්මානය ඉවහල් වුණා කිව්වොත් වරදක් නැහැ.

* අමිලා ඔබේ විනිශ්චය තරගකරුවන් පිළිගනීවිද?
මොනයම් තරගයක දී හෝ විනිශ්චය මණ්ඩලය දෙන ඕනෑම තීරණයක් තරගකරුවකුට පිළිගන්න වෙනවා. මම තරගකරුවෙක් විදියට සුපර් ස්ටාර් වේදිකාව නියෝජනය කරද්දී එදා විනිශ්චය මණ්ඩලයේ හිටපු පිරිසට මම ගරු කළා. ඔවුන්ගේ උපදෙස් පිළිගත්තා. කියලා දුන්න වැරදි නිවැරදි කරගත්තා. තරගකරුවෙක් තරගයේ ස්වභාවය හඳුනා ගන්න ඕන. ජය හෝ පරාජය කියන දේ පිළිගන්න අයත් නැති අයත් ඉන්නවා. නමුත් දැනට එහෙම ගැටලු මතුවෙලා නැහැ. පහුගිය කා‍ලේ තරගයෙන් ඉවත් වුණ අය රෙඩ්රූම් එකේ දී ප්‍රතිඵල ගැන කතා කළා. ඒ අය නිහතමානීව අපි කියලා දුන්න වරද පිළිගත්තා. ඒ වගේම කියන්න ඕන අපි විනිශ්චය ලබා දෙන්නේ නියම රසයටයි. නියම හඬටයි. ප්‍රේක්ෂකයින්ගේ අදහස් වගේම තරගකරුවන්ගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒ එයාලගේ තේරීම අනුවයි.

* විනිශ්චය මණ්ඩලය නියෝජනය ඔබේ ප්‍රතිරූපයට හානියක් කියලා හිතෙන්නෙ නැද්ද?

අමිලා
මම ගායිකාවක් විදියට ස්ථාවරත්වයක් ගොඩනගාගෙන තියෙනවා. විනිශ්චය මණ්ඩලය නියෝජනය කළා කියලා ඒ හැකියාව හෝ මගේ නමට හානියක් වෙයි කියලා කියන්න බැහැ.

දුමාල්
මම මගේ සංගීත වපසරිය තුළ ජීවත් වන කෙනෙක්. පටු ආකල්ප මගේ ළඟ නැහැ. විනිශ්චයකරුවෙක් වුණාය කියලා මගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියන්න බැහැ. මම කලාකරුවෙක්. විනිශ්චය ලබා දෙන්නේ සංගීත විෂය පිළිබඳවයි. මගේ දැනුම හෝ නිවැරදි විනිශ්චය ඒ නිසා දෙන්න මම ලෝබ වෙන්නේ නැහැ. ඒ දැනුම විනිශ්චයකරුවෙක් විදියට පරිහරණය කරන ක්‍රමයෙන් මගේ මිම්ම ප්‍රේක්ෂකයා තුළත් ගොඩනැගෙනවා. ඒ නිසා මගේ නමට මේ හරහා හානියක් වෙයි කියලා කියන්න බැහැ.

* දුමාල් ශාස්ත්‍රීය සංගීතයට නැඹුරු කෙනෙක්. අමිලා කියන්නේ සරල සංගීතයට නැඹුරු කෙනෙක්. ඒ නිසා ඔබේ ෙශෙලීන්වලට අනුරූපව ගායනා කරන අයට වැඩි සැලකිල්ලක් ඔබේ තීරණය තුළ ලැබෙයි ද?

අමිලා
නියම හඬ තෝරා දෙන වගකීම තමයි අපිට පැවරිලා තියෙන්නේ. එතැන දී තරගකරුවන්ට ඕනෑම ෙශෙලියක ගීත ගායනා කරන්න පුළුවන්. ගීතයේ ස්වභාවය නොබලා හ¾ෙඩ් ප්‍රබලත්වයට පමණයි මගේ තීරණය ලබා දෙන්නේ. එහෙම කරන්න මට අයිතියක් නැහැ මම තීරකයෙක් නිසා.

දුමාල්
මම තීරකයෙක් විදියට අන්තවාදී වුණා නම් එතැන දී මම කුහකයෙක්. මම මගේ තීරණය ලබා දෙන්නේ සම්ප්‍රදාය තුළ ‍නෙවෙයි. හැකියාවටයි. ගායන කුසලතාවටයි. මම ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කළ කෙනෙක් කියලා වේදිකාවට නගින හැමෝම ඒ මිම්මෙන් මැන්නොත් නියම හඬක් තෝරන කර්තව්‍යයට මගෙන් දායකත්වයක් ලැබිලා නැහැ. ඒක තරගකරුවන්ටත් තරගයටත් මම කරන අසාධාරණයක්. ඒ නිසා කොයිම මොහොතකවත් මගේ තීරණ කොටු කරන්නේ නැහැ.

* දුමාල් සුපර් ස්ටාර් විනිශ්චය හරහා ඔබ ජනප්‍රිය වෙන්න මාන බලනවා කිව්වොත්..

ජනප්‍රිය වෙන්න මේ හරහා මාන බැලුව නම් මට විනිශ්චයකරුවෙක් විදියට වැඩ කරන්න ඕන නැහැ. ඒ වගේම අවුරුදු තුනක කාලයක ඉඳලා ශාස්ත්‍රීය සංගීතය ප්‍රචලිත කරන්න වෙහෙස ගන්නෙත් නෑ. ඕනෑම තාලයක සින්දුවක් හෝ බජව්වක් කියලා ඒවා විකාශය කරන්න නාලිකාවලට බෙදනවා. රිඟින් ටෝන්වලට දුන්න නම් පට්ට විදියට ජනප්‍රිය වෙන්න පුළුවන්. එහෙනම් මම දැන් ජනප්‍රිය චරිතයක්. ඒත් සියලු දේ ජනප්‍රියත්වය මත රඳා පවතින්නේ නැහැ කියලා මම දන්නවා. ඒ වගේම ජනප්‍රිය වෙන්න ඕනෑම දෙයක් කරන්න මට උණකුත් නැහැ.

* විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන්නියක් විදියට අමිලා සාරිය භාවිත කරන්නේ නැහැ. ඒ පිළිබඳ බොහෝ දෙනා විවේචන එල්ල කරනවා නේද?

මම ගවුම් අඳින එක හුඟක් අයට ප්‍රශ්නයක් වෙලා. මම සංගීත ප්‍රසංගවලට හෝ බොහෝ අවස්ථාවලට සාරි අඳිනවා. නිතරම මාව දකින්නේ සාරියෙන් නිසා වෙන්න ඇති මෙතනදිත් මට සාරිය අඳින්නෙ නැති එක ප්‍රේක්ෂකයින්ට ගැටලුවක් වෙලා තියෙන්නේ. ඒත් සිරස ආයතනයෙන් මට ඇඳුම ගැන විශේෂ යමක් කිව්වේ නැහැ. ඒ නිසා මම ගවුම වගේම විවිධ ඇඳුම් අඳින්න කල්පනා කළා.

* ඔය කාර්යබහුලකමත් එක්ක අමිලාට දැන් රඟපාන්න ඇරයුම් ලැබෙන්නේ නැද්ද?
අලුතින් ආරාධනාවක් ලැබුණේ නැහැ. චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයාගේ සුලිය ටෙලි නාට්‍යයේ වැඩ කළා. ඊට අමතරව ළඟදීම ජනනාත් ගුණවර්ධන මහත්මයා අධ්‍යක්ෂණය කළ පරාවර්තන චිත්‍රපටය තිරගත වෙයි.


* දුමාල්ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු කොහොමද?

සුපුරුදු පරිදි සංගීත ජීවිතයේ වැඩකටයුතු කරගෙන දවස ගෙවනවා. ලබන අවුරුද්දේ ඒකපුද්ගල ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් පවත්වන්න අදහසක් තියෙනවා. ඒක තමයි මගේ ඊළඟ බලා‍පොරොත්තුව. දැන් ඉඳලම පුළුවන් විදියට ඒකට ලෑස්ති වෙනවා. ඒ වගේම චිත්‍රපට හා ටෙලි නාට්‍ය කිහිපයකට පසුබිම් ගායනයටත් ඇරයුම් ලැබුණා. සංගීත ජීවිතය ඉතා සාර්ථක කර ගන්න නම් උසස් අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒ නිසා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය පටන් ගන්න හිතාගෙන ඉන්නවා.

* සංගීත ජීවිතයේ කාර්යබහුලකම එක්ක අමිලාට කුටුම්භය රැකගන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා නේද?
මේ දවස්වල නම් හරිම කාර්ය බහුලයි. අපේ පුතා ගිතුම්. එයා දැන් තර්ස්ටන් විද්‍යාලයේ හත වසරේ ඉගෙන ගන්නේ. එයා හරිම දඟයි. දුව ලිතුම්‍යා වයස අවුරුදු එකහමාරයි. දුවට සින්දුවක් ඇහෙන්න බැහැ මොන වැඩේ හිටියත් ඒවා නතර කරලා සින්දුවට කන්දෙනවා. මාව ටීවී එකේ දැක්කොත් අඳුරගෙන අම්මා කියලා කෑගහනවා. ඒ හුරතල් බලන්න ඇත්තටම ලැබෙන කාලය හරි අඩුයි. අම්මා කෙනෙක් දරුවෙක් ළඟින්ම ඉන්න ඕන වයසක ඒ දෙන්නා ඉන්නේ. ඒත් මගේ කාර්ය බහුලකම එක්ක සමහරක් දේවල් මගහැරෙනවා. උයන පිහන වැඩ මගේ අතින් වෙන්නෙ නැහැ. ඒත් ලැබෙන හැම මොහොතකම දරුවො දෙන්න ළඟ රැඳෙන්න උත්සාහ කරනවා.

* බොහෝ කලාකරුවන් ජනප්‍රියත්වයත් එක්ක විවිධ ව්‍යාපාර පටන් ගන්නවා. සාරි ව්‍යාපාරයක් පටන් ගන්නේ ව්‍යාපාරිකාවක් වෙන්න ඕන නිසාද?

සාරි ව්‍යාපාරයක් කරන්න ආස නිසා මීගමුව, වෙන්නප්පුව, ඇඹිලිපිටිය සාරි ෂොප් තුනක් දාල තියෙනවා. සැමියා තමයි ව්‍යාපාර වැඩ කරන්නේ. මම ‍නෙවෙයි. මම පුළුවන් විදියට එයාට උදව් කරනවා. අපි ව්‍යාපාරය පටන් ගත්තේ නම් විලාසිතාවක් විදියට ‍නෙවෙයි.

amila nadeeshani and dumal warnakulasuriya1

හර්ෂණී වීරරත්න
rivira

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles