ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ජනසෙත පෙරමුණට අයත් ට්‍රැක්‌ටරය ලකුණින් නැවත දේශපාලනයට ප්‍රවේශවීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
බත්තරමුල්ල සීලරතන හිමියන් හමුවීම සඳහා පසුගිය 27 වැනිදා උන්වහන්සේගේ කාර්යාලය වෙත ගිය සෝමවංශ අමරසිංහ මහතාට සීලරතන හිමියන් මෙම ආරාධනාව කර ඇති අතර ඒ පිළිබඳව දින කිහිපයක් ඇතුළත දැනුම් දෙන්නම් යෑයි සෝමවංශ මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
සීලරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය සහ පක්‍ෂ ලකුණ පාවිච්චි කර නැවත දේශපාලනයට පිවිසීමට අදහස් කර ඇති දැයි සෝමවංශ මහතාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ සීලරතන හාමුදුරුවන් සමඟ එවැනි දෙයක් සාකච්ඡා නොකළ බවයි.
එහෙත් පසුගිය 27 වැනිදා සීලරතන හිමියන් හමුවීමට එම කාර්යාලයට තමා ගිය බවත් එසේ ගියේ තම දේශපාලන සමුගැනීම අගය කරමින් කතා කළ උන්වහන්සේ මුණ ගැසී ස්‌තූතිවන්ත වීම යුතුකමක් ලෙස සලකා බවත් සෝමවංශ මහතා කීය.
තමා පක්‍ෂයෙන් සමුගැනීම පිළිබඳව සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ නායකයන් බොහෝ දෙනකු සුබවාදීව කතා කළ බවත් ඒ සෑම කෙනාම මුණ ගැසී තමන් ඔවුනට ස්‌තුතිය පුද කරන බවත් සෝමවංශ මහතා පැවසීය.
දෙදෙනා අතර හමුවේදී සීලරතන හාමුදුරුවන් දේශපාලනය ගැන කතා කළත් තමාට දේශපාලනය ගැන කතා කිරීමේ වුවමනාවක් නොමැති බව එහිදී තමන් හාමුදුරුවන්ට ප්‍රකාශ කර සිටි බවත් සෝමවංශ මහතා වැඩිදුරටත් කීය.
කෙසේ වෙතත් දෙදෙනා අතර පැය 3 ක පමණ සාකච්ඡාවක් පැවැති බවත් ඒ කිසිවක් මාධ්‍යයට හෙළි නොකරන ලෙස දෙදෙනාම එකඟතාවකට පැමිණි බවත් මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ල සීලරතන හිමියෝ ප්‍රකාශ කළහ.
පසුගිය 17 වැනිදා තමන් මාධ්‍ය හමුවක් කැඳවා සෝමවංශ මහතාට තම පක්‍ෂය සහ දේශපාලන ලකුණ භාරගෙන කටයුතු කරන ලෙස ප්‍රකාශ කළ බවත් සීලරතන හිමියෝ කීය.
එසේම තමන් මහින්ද රාජපක්‍ෂ මහතාටත් මේ ආරාධනාව කළ බවත් එහෙත් රාජපක්‍ෂ මහතා නම් ඊට කිසිවක් ප්‍රකාශ නොකළ බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.