තමා පිහිටුවීමට නියමිත නව පක්ෂය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයන් කිහිපදෙනෙකු ඇතුළු සාමාජිකයන් රැසක් තමා සමඟ සාකච්ඡා කළ බව එම පක්ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසනවා. එහෙත්, ඒ කිසිවෙකුටත් තමන් සමඟ එක්වන ලෙස ආරාධනා නොකළ බවයි ඔහු අවධාරණය කළේ.
සෝමවංශ අමරසිංහ මේ බව කියා සිටියේ, ඔහු පක්ෂයෙන් ඉවත්වීමට පෙර මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් ලිපිලේඛණ කිහිපයක් ප‍්‍රසිද්ධ කිරීම පිළිබඳ සංවාදයකට එක්වෙමිනි.
මේ වසරේ ජනවාරි 27 වනදා, මාර්තු 19 වනදා, මාර්තු 31 වනදා, අප්‍රේල් පළමුවනදා ආදී දින කිහිපයක ලියූ ලිපිලේඛන සෝමවංශ අමරසිංහ මහතා ප්‍රසිද්ධ කර තිබේ.
මෙම ලිපිලේඛන ප්‍රසිද්ධ කළේ ඇයි ද යන්න පළමුවෙන්ම අප ඔහුගෙන් විමසුවා. තමාගේ ඉවත්වීම පිළිබඳව කිසිවක් නොදන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ප්‍රකාශ කළ නිසා එවැන්නක් සිදුකළ බව ඔහු කියා සිටියා.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කළ ලිපිලේඛන වල සඳහන් වන ප්‍රධාන කරුණක් වන්නේ එම පක්ෂය ස්වයං විවේචනය සිදුකළ යුතු බවයි. ඒ ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ජනවාරි 9 වැනිදා අලූයම සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණය නිසි පරිදි හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් ද අප ඔහුගෙන් විමසීමක් කළා. එවැනි කුමන්ත්‍රණයක් යට ගැසීම කුමන්ත්‍රණකරුවන්ගේ පැත්තේ සිට කටයුතු කිරීමක් ලෙසයි ඔහු හඳුන්වනු ලැබුවේ.
සෝමවංශ අමරසිංහ පිහිටුවීමට යන නව පක්ෂයට සම්බන්ධ වන පිරිස් පිළිබඳව ද ඔහු අදහස් පළ කළා. තමන් කාටවත් කොක්ක නොගසන බව සඳහන් කළ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ දෙනෙකු තමන් සමග එක්වීමට කැමැත්ත පළ කර ඇති බව ද ඔහු ප‍්‍රකාශ කළා.