දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ ජයග්‍රහණය කිරීම ජාත්‍යන්තර වශයෙන් වාර්තාවක් ලෙස සැලකිය හැක්කකි. සියයට අසූවකට ආසන්න ජයග්‍රහණයක් කිසිදු පක්ෂයක් ලබාගත් බවට වන මතකයක් මාගේ සිතට නැගෙන්නේ නැත. බ්‍රසීලයේ ජනාධිපති වූ ලූලා ද සිල්වාගේ පුද්ගලික ජයග්‍රහණය සියයට අසූවකට වඩා ඉහළ ගොස් තිබුණත් පක්ෂයක් ලෙස මෙවර දෙමළ ජාතික සන්ධානය ලබා ඇති ජයග්‍රහණය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද වාර්තාවකි.
මෙය දකුණේ අප අවතක්සේරු නොකළ යුතු අතර උතුරේ ජනතාව විසින් එය අධිතක්සේරු නොකළ යුතුද වෙයි. මේ ඡන්ද ප්‍රතිඵලය ජාත්‍යන්තර වශයෙන් අත්‍පොළසන් දී පිළිගත් නිසා එය දකුණ විසින් අවතක්සේරු නොකළ යුතුය. මේ ජනවරම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයට ජාත්‍යන්තර කීර්තියක් හා පිළිගැනීමක් ලැබි ඇත. නමුත් ඔවුනට ලැබි ඇත්තේ ලංකාවේ ජනගහනය වන මිලියන විස්සෙන් මිලියනයක පමණ ජනතාවගේ සහයක් පමණි. ඒ නිසා මෙය ඔවුන්ට සමස්ත ශ්‍රී ලංකාවේ ජනතාව මත දේශපාලන න්‍යාය පත්‍රයක් පැටවීමේ අයිතියක් ලබා දෙන්නක් නොවන බව උතුරේ ජනතාව තේරුම්ගත යුතුය. එමෙන්ම ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයද ඔවුන් හොඳින් තේරුම්ගත යුතුය. මෙම මැතිවරණයේදී ආණ්ඩුව හා දෙමළ සන්ධානය තම තමන්ගේ බල ප්‍රදේශවල නියාමකයින් බවට පත්ව ඇත. මේ තත්ත්වය මත මොවුන් එකිනෙකා අනේයාන්‍ය පාර්ශ්වකරුවන් සේ සැලකිය යුතු වෙයි. එකිනෙකා අතර සමීකරණයක් ඇතිකරගත යුතුය. එසේ නොවුණහොත් මේ දෙපාර්ශ්වයටම විශාල ලෙස අනිටු ඵල විපාක විඳ ගැනීමට සිදුවනු ඇත.
උතුරේ පළාත් සභාව සමග සුහද සමීකරණයක් ඇති කර නොගෙන, ඔවුන් හතුරන් සේ සැලකුවහොත් ඔවුන් තමිල්නාඩුවේ, ඉන්දියාවේ සහ ඇමරිකාවේ ඔඩොක්කුවට තල්ලු වෙනු ඇති බව අප කිසිසේත් අමතක කළ යුතු නොවේ. ජයග්‍රහණය කළ නොහැකි ගැටුම්කාරී තත්ත්වයක් ඉන්පසුව ඇතිවෙයි. මේ පළාත් සභාව එළියට තල්ලු වුවහොත් එය සමස්ත ලංකාවෙන් එපිටට තල්ලුවෙයි. එසේ වුවහොත් ඊළඟ පියවර අඩුම තරමින් ෆෙඩරල් ක්‍රමයක් විය හැකියි. එහෙත් බොහෝ දුරට ඉඩ කඩ ඇත්තේ වෙනම රාජ්‍යයක් කරා තල්ලුවීමටයි. මෙම අනතුර සැලකිල්ලට ගනිමින් උතුරේ පළාත් සභාව දකුණ වෙත ආකර්ෂණය කර තබා ගැනීම ආණ්ඩුවේත්, දකුණේ ජනතාවගේත් යුතුකම සහ වගකීමයි.
13 වැනි සංශෝධනය
ජාත්‍යන්තර දෙමළ ඊළාම් ව්‍යාපාරයේ අරමුණ වන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බව ඔප්පු කර, ජාත්‍යන්තර සහාය ඇතිව වෙනම රාජ්‍යයක් කරා ගමන් කිරීමයි. ලංකා ආණ්ඩුව ප්‍රඥාගෝචරව කටයුතු කළහොත් පමණයි එය වැළැක්වීමට හැකි වන්නේ. එසේ නොවුණහොත් සිදුවනු ඇත්තේ මහත් අසීරුවෙන් ලබාගත් යුද ජයග්‍රහණය කණපිට හැරීමයි.
මෙවැනි තත්වයක් ඇති නොවීම සඳහා එකිනෙකට සම්බන්ධවූ පියවර තුනක් ගත යුතුය යන්න මාගේ විශ්වාසයයි. 13 වැනි සංශෝධනයේ ඇති බලතල නොමසුරුව උතුරු පළාත් සභාව සමග බෙදා හදාගන්නා බව ලොවට පෙනෙන ආකාරයට කටයුතු කළ යුතුය. නමුත් එයින් ඔබ්බට යාමට පළාත් සභාවට ඉඩ ලබා නොදිය යුතුය. උතුරේ පළාත් සභාව හා එහි නායකත්වය සමග රජය නිරන්තර දේශපාලන සංවාදයක යෙදිය යුතුය. 13 වැනි සංශෝධනයට යම් යම් සංශෝධන එක් කරන්නේ නම් එය සාකච්ඡාවෙන් කළ යුත්තකි. පළාත් සභා බලතල කිසිවක් මධ්‍යම ආණ්ඩුවට ගන්නේනම් සමගාමී ලැයිස්තුවේ බලතල පළාත් සභාවලට ලබාදීම වැදගත් වේ. රටේ මූලෝපායික අවශ්‍යතාවන් ආරක්ෂා කරමින්, ඉන්දියාව සමග හොඳ අවබෝධයක් ඇතිකරගනිමින් ,තමිල්නාඩුවේ හා ඩයස්‍පෝරාවේ බලපෑමෙන් පළාත් සභාව හැකි තරම් මුදාගැනීමට නවදිල්ලිය සමග සමීකරණයක් ඇතිකරගත යුතුය.
පළාත් සභාවේ ඉඩම් බලතල මධ්‍යම ආණ්ඩුවට හිමි බව අධිකරණය දැනුම්දී ඇතැයි මාධ්‍ය වාර්තා තුළින් දැගනැනීමට හැකිවිය. ඉඩම් බලතල ඒකපාර්ශ්වික ලෙස නැවත ලබාගැනීම සුවිශේෂී ගැටලුවලට හේතු විය හැකිය යන්න මාගේ හැඟීමයි. මෙවැනි තත්ත්වයක් යටතේ උතුරු පළාත් සභාවේ නායකත්වය මධ්‍යම ආණ්ඩුව සමග ගැටීම නිතැතින් සිදුවන්නකි. මෙම ගැටුම අධිකරණයේදී සිදුවිය හැකි නමුත් එය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වන සිද්ධියක් වනු ඇත. පළාත් සභා මැතිවරණය අවසන් වී එයට ලැබෙන අත්‍පොළොසන් නාදය අවසන්වීමටත් පෙර පළාත් සභාවේ කිසියම් බලතල අත් කරගැනීමට රාජ්‍ය යන්ත්‍රයේ කිසියම් අංශයක් තීරණය කිරීම, උතුරේ ඡන්දය පැවැත්වීමෙන් ලංකා ආණ්ඩුව ලැබූ වාසිය ක්ෂණිකව වාෂ්ප වීමට සලසන්නකි. මේ තත්ත්වය හමුවේ උතුරු පළාත් සභාව ඉන්දියාවේ පිහිට පතනු ඇති අතර ඉන්දියාව ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට වැඩි වශයෙන් මැදිහත්වීමට පටන් ගනු ඇත. එය ලංකාවට විශාල අවාසියකි.
ජාත්‍යන්තර වශයෙන් මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වන විට රුසියාව හා චීනය ලංකාවේ පැත්තේ සිටිනු ඇතැයි යන්න ඇතමුන් නගන තර්කයකි. එහෙත් ඔවුන් අමතක කරන කරුණ වන්නේ ‘බ්‍රික්ස්’ සංවිධානයේ සාමාජිකයින් ලෙස රුසියාව, චීනය හා ඉන්දියාව යන රටවල් තුනම සිටින බවයි. (බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව, චීනය යන රටවලින් සැදුම්ලත්, ප්‍රධාන වශයෙන්ම ආර්ථික සහයෝගිතා සංවිධානයකි) ඉන්දියාව හා මුහුණට මුහුණ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇතිවන විට ලංකාවට එය ජයගැනීමට නොහැකි වනු ඇත.
ආණ්ඩුව උතුරු පළාතේ විශාල සංවර්ධනයක් කළ නමුත් සංවර්ධනයේ ප්‍රතිලාභ කවුරුන් අතට යනවාද යන්න ගැටලුවක්ව තිබුණි. උතුරේ ජනතාව තුළ ප්‍රජාවක් ලෙස සාමූහික ආඩම්බරය පිළිබඳ ගැටලුවක් පැවතිණි. දෙවැනි පෙළේ පුරවැසියන් ලෙස ආණ්ඩුව දෙමළ ජනතාව යටත් කරගැනීමට කටයුතු කරනවාය යන, උතුරු පළාතේ ජනතාව තුළ පැවති සැකය දකුණේ කුඩා පක්ෂවල ඇතම් අය කළ කී දේ නිසා තවදුරටත් වර්ධනය විය. මේ නිසා සිය උරුමයට පවා අනතුරක් ඇතිවිය හැකි බවට දෙමළ ජනතාව අතර ගැටලුවක් ඇතිවිය. සුනාමියක්, නැතිනම් ගිනිකන්දක් ලෙස සියයට හැත්තෑඅටක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට දෙමළ ජාතික සන්ධානයට හැකිවීමට මෙම හේතු මුල් විය. දෙමළ ජාතික සන්ධානයට මෙවැනි ඡන්ද ප්‍රතිශතයක් ලැබුණේ වැඩිපුරම ආණ්ඩුවේ අඥානභාවය නිසාය.
උතුරේ පළාත් පාලන මැතිවරණය පැවති කාලයේදීම පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව ඒ දිනවල මා ප්‍රකාශ කළ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ජිනීවාහි මා කළ රැකියාව අහෝසි කර මා ජිනීවාහි සිට ලංකාවට කැඳවනු ලැබිය. එදා පළාත් සභා මැතිවරණය පැවැත්වූවේ නම් උතුරු පළාත් සභාවේ ප්‍රධානියා වන්නට තිබුණේ ආණ්ඩුව සමග සුහදව ගනුදෙනු කළ හැකි සගයෙකි. එහෙත් 2009 වසරේ සිට දෙමළ ජාතික සන්ධානය තමන්ගේ ඡන්ද ප්‍රතිශතය ඉහළ දමාගනු ලැබිය. යුද්ධයෙන් පසුව ආණ්ඩුව උතුරු පළාතේ ඇති කළ පාලන ආකෘතිය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, එය උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කරන බවත් මෙයින් මනාව පැහැදිලි වෙයි. එය සම්පූර්ණයෙන්ම අසාර්ථක බව මෙයින් ඔප්පු වෙයි. යුද්ධය ජයග්‍රහණය කළ ආණ්ඩුව උතුරේ සාමය පරාජය වී ඇති බව එයින් මනාව සනාථ වෙයි.
දෙමළ සන්ධානය මතුවීමෙන් පසුව එය වෙනස් ආකාරයට පරිපාලනය කරගැනීමේ අවස්ථාවද ආණ්ඩුවට පැවති නමුත්, ආණ්ඩුව එම අවස්ථාවද මගහැර ගත්තේය. දෙමළ සන්ධානය සමග 2011 වසරේදී පැවති සාකච්ඡාවන් අතරමැදදී නතර වූයේ මෙම සාකච්ඡාවන්ට ආණ්ඩුව වෙනුවෙන් ඉදිරිපත්වූ කනිෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන සජින් වාස් ගුණවර්ධන දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධන් සමග ඇති කරගත් ගැටුමකි. සම්බන්ධන් වැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සමග සාකච්ඡා කරන විට ඔහුට කිසියම් ගරුත්වයකින් සැලකිය යුතු නමුත්, ප්‍රභාකරන් ඉල්ලන දේ දෙමළ සන්ධානයද ඉල්ලා සිටින බව මාධ්‍යයන් වෙත පැවසීමට ගුණවර්ධන කටයුතු කළේය. දෙමළ සන්ධානය දෙමළ ඩයස්‍පෝරාවේ ඔඩොක්කුවට වැටෙන්නට මෙවැනි තත්ත්වයන්ද පසුබිම් විය. මේ අදූරදර්ශී ක්‍රියාවලීන්හි ප්‍රතිඵල අද වන විට අපි අත්විඳිමින් සිටිමු.
උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ පළාත් සභාව සමග ගනුදෙනු කරන ආකාරය අනුව ඉදිරියේදී ආණ්ඩුකාරවරයා හා පළාත් සභාව අතර ගනුදෙනුව තීරණය වෙයි. යුද්ධයක් ඇති කාලයේදී මිලිටරි ආණ්ඩුකාරයන් සිටිය හැකි වුවද සාම කාලයේදී එවැනි අය පත් නොකළ යුතුය. එවැනි අය පත් කිරීම තුළින් හමුදා පාලනයක් තවමත් උතුරේ ඇතැයි දෙමළ ජනතාව පමණක් නොව ජාත්‍යන්තරයත් විශ්වාස කළ හැකිය. උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස හා යාපනයේ දිසාපතිවරයා ලෙස කටයුතු කළ ලයනල් ප්‍රනාන්දු වැනි පුද්ගලයන් මේ වන විට සියලුදෙනාම අමතක කර තිබේ. එවැනි සිංහල, ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු ආණ්ඩුකාර ධුරයට පත් කළානම් මීට වඩා සුභදායී තත්ත්වයක් ඇතිවිය හැකිය. මංගල මුණසිංහ වැනි ආණ්ඩුවට පක්ෂපාතී අය මේ අතර සිටින බවද අමතක නොකළ යුතුය. මිලිටරි පාලකයන් මෙවැනි ආණ්ඩුකාරවරයන් ලෙස සිටින රටවල් ලෝකයේ ඇත්තේ අතළොස්සක් පමණි. මෙවැනි රටවල් කීර්තිමත් රටවල් නොවන බවත් අප මතක තබාගත යුතුය.
බලය බෙදීමට විරුද්ධවූවෝ
බලය බෙදීමට විරුද්ධ වූ පුද්ගලයන් නැවත වරක් තමන්ගේ උත්සාහයන් දරනු ඇත. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකර සිටීමට ඔවුන් විවිධ පියවර ගනු ඇත. එසේ වුවහොත් යුගෝස්ලෝවියාව මුහුණ දුන් තත්ත්වයට මුහුණදීමට ලංකාවට ද සිදුවීමට ඇති ඉඩකඩ ඉතා වැඩි යැයි සිතමි.
යුගෝස්ලෝවියාවට නායකත්වය දුන් සමාජවාදී නායක ටිටෝගේ අභාවයෙන් පසුව රට තුළ සර්බියානු බහුතරයේ ජාතිවාදය මතුවිය. මිලෝසෙවික් ජනාධිපතිවරයා එම ජාතිවාදයට නැඹුරුවිය. ඔහුට බලපෑම් කළ සර්බියානු අන්තවාදී කණ්ඩායම් සිවිල් සමාජයෙන් මතුවිය. එහි ආරම්භක පියවර වූයේ වෙනම භාෂාවක් කතා කළ කොසෝවෝ ප්‍රාන්තයේ ස්වායත්තාව ඉරා දැමීමයි. අපේ උතුරට තිබෙනවා මෙන් කොසෝවෝට සාපෙක්ෂ ස්වායත්තභාවයක් තිබූ නමුත් එම ස්වායත්තභාවය ඉහත කී ආකාරයෙන් ඉවත් කෙරිණි. 1990 වසරේදී, උතුරු පළාත් සභාව වැනි එහි තිබූ ප්‍රාන්ත සභාව විසුරුවා හරිනු ලැබිය. එතැනින් පසුව යුගෝස්ලෝවියාවේ කඩාවැටීම ආරම්භ විය. අද වන විට කොසෝවෝව යනු ස්වාධීන වෙනම රටකි.
ලංකාවේ දේශපාලන සිතියම දෙස බලන විට උතුරු පළාත දෙමළ සන්ධානය සතුවෙයි. නැගෙනහිර පළාතේ ද ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්ක ජයගැනීමට දෙමළ ජාතික සන්ධානයට හැකිවිය. එම දිස්ත්‍රික්ක එක් කළ විට ඊළාම් රාජ්‍යයක් බවට පත්විය හැකි සීමාවන් පෙනෙයි. නැගෙනහිර මුස්ලිම් ජනතාව ආණ්ඩුව සමග සිටියත් දකුණේ මුස්ලිම් විරෝධී මතවාදය හේතුවෙන් එම මුස්ලිම් ජනතාවද දෙමළ ජනතාවගේ පැත්තට නැඹුරු විය හැකිය. එසේ වුවහොත් උතුරු නැගෙනහිර ඒකාබද්ධවීම බිම් මට්ටමින් සිදුවෙයි.
උතුරු පළාත් සභාව සමග ගනුදෙනුව ඉටු නොකර, බලය නොබෙදන ලෙස හඬ නගන අන්තවාදීන්ගේ මතවාදය අනුව කටයුතු කළහොත් දෙමළ සන්ධානය දිනා ඇති දිස්ත්‍රික්කවලින් සමන්විත භූමිය වෙනම රාජ්‍යයක් බවට පත්විය හැකිය. අපේ හමුදාව සිටින තුරු එය කළ නොහැකි බව ඇතමුන් තර්ක කළ හැකියි. එහෙත් මේ කලාපයේ සිටින්නේ අපේ හමුදාව පමණක් නොවන බවත්, අපේ හමුදාව මෙන් කිහිපගුණයක් විශාල හමුදාවක් අප අසල සිටින බවත් අප අමතක නොකළ යුතුයි. මොවුන් නැවත වරක් මෙරටට පැමිණීමට ඇති හැකියාව අප අමතක නොකළ යුතුය. මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා අප මැද මාවතේ ගමන් කළ යුතුය.
එක්සත් ජාතික පක්ෂයේ ඉරණම
එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයේදී කඩා වැටී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ වයඹ හා මධ්‍යම ඡන්ද ප්‍රතිශතයේ සාමාන්‍යය වන්නේ සියයට 26කි. මේ කඩාවැටීම කාලයක් තිස්සේ සිදුවූ කඩාවැටීමකි. 1994 වසරේදී එක්සත් ජාතික පක්ෂය වසර 17කට පසුව ආණ්ඩු බලයෙන් ඉවත්ව යන විට සියයට 43ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණි. අද එක්සත් ජාතික පක්ෂයට සියයට 43ක් ලබාගැනීම හිමාල කඳුවැටිය නැගීමටත් වඩා අසීරු කාර්යයකි.
සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 6-7කින් ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයට වැටෙන ඡන්ද හෝ ඔවුන්ට ලැබිමට තිබූ ඡන්ද මොවුන් ආකර්ෂණය කරගෙන ඇත. ආරංචි පැතිරෙමින් ඇති ආකාරයට අනුව ඉදිරියේදී පැවැත්වෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයට සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා ඉදිරිපත් කළහොත් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය සියයට 15ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාව තිබේ. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම දෙකට කැඩී තිබෙනු ඇත.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ පැවැත්ම පිළිබඳ ගැටලුවකි. ඔවුන්ට ඇත්තේ ජයග්‍රහණයක් පිළිබඳ ගැටලුවක් නොවේ. රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වුවහොත් ඔහුගේ ඡන්ද ප්‍රතිශතය සියයට දහයකට කඩා වැටෙනු ඇතැයි යන්න මාගේ තක්සේරුවයි.
එක්සත් ජාතික පක්ෂයේ කඩාවැටීම දෙස බලන විට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික
පක්ෂයට මන්ත්‍රීධුර 25ක්වත් ලබාගැනීමට නොහැකි වනු ඇත. මෙම මාරාන්තික තත්ත්වය වෙනස් කළ හැක්කේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණි. එක්සත් ජාතික පක්ෂ නායකයා පැමිණෙන රැස්වීම් ජනතාව වර්ජනය කළ යුතුය. එක්සත් ජාතික පක්ෂය ජනතාකරණය කළ යුතුය.
සාකච්ඡා කළේ: සංජය නල්ලපෙරුම