-ලෝක කුසලාන තරගාවලියේ තවත් ජයග්‍රාහී පිම්මක් බලාපොරොත්තුවෙන් ජයාග්‍රාහී මාවතට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (01 දා) එංගලන්ත කණ්‌ඩායම මුණ ගැසීමට නියමිතය. නවසීලන්තයේ වෙලින්ටන්හි පිහිටි වෙස්‌ට්‌පැක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 3.30 ට පමණ ආරම්භ වීමට නියමිතව අැත..
නවසීලන්තය සමග පැවැති තරගය පරාජය වීමෙන් පසුව සිය දක්‍ෂතා මුවහත් කරගත් ශ්‍රී ලංකාව ඇප්ගනිස්‌ථානයට සහ බංගලාදේශයට එරෙහිව ජය වාර්තා කරමින් මේ වන විට ප්‍රසාද ලකුණු හතරක් ලබා තිබේ. කෙසේ වෙතත් හෙට තරගයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන එංගලන්තය තරග තුනකදී ලබා ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණි. යම් හෙයකින් හෙට තරගය එංගලන්තය පරාජය වී ශ්‍රී ලංකාව ජය ගතහොත් සුපිරි අට වටයේ ස්‌ථානයක් ශ්‍රී ලංකාවට හිමි වීමේ වැඩි අවස්‌ථාවක් පවතී. එසේ වුවහොත් බොහෝ දුරට එංගලන්තයට පළමු වටයෙන් ඉවතට විසිවීමට සිදුවනු ඇත. එබැවින් හෙට තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාවට සුපිරි අට වටය සඳහා පිවිසීමේ හිසේ රුදාව අවසන් වන අතර අනතුරුව මාර්තු 8 වැනිදා ඔස්‌ටේ්‍රලියාවට සහ 11 වැනිදා ස්‌කොට්‌ලන්තය සමග තරගය පීඩනයකින් තොරව ක්‍රීඩා කිරීමේ වාතාවරණය ශ්‍රී ලංකාවට හිමිවේ. දීර්ඝ සංචාරයකින් විඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව හෙට තරගයට පිවිසෙන්නේ විශේෂ පුහුණුවීම් වලින් තොරව වීම විශේෂත්වයකි. අද උදෑසන මෙල්බන් නුවර සිට වෙලින්ටන් දක්‌වා ගමන් කරන ශ්‍රී ලංකාව, තරගයට අදාළ සාකච්ඡා කිහිපයක් පවත්වන බවත් පුහුණුවීම් නොකරන බවත් කළමනාකාරිත්වය වාර්තා කරයි.
බංගලාදේශය සමග තරගයේදී පන්දු යෑවීමේදී තුනටිය ආශ්‍රිතව ආබාධයකට ලක්‌වූ තිසර පෙරේරා හෙට තරගය ක්‍රීඩා කිරීමට සුදානමින් සිටින බව වාර්තා වන අතර කෙසේ වෙතත් අවසන් සංචිතය තරගයට පැය කිහිපයට පෙර නම් කිරීමට කණ්‌ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබේ.
ප්‍රේක්‍ෂකයන් 33,500 කට පමණ තරගය නැරඹිය හැකි වෙස්‌ට්‌පැක් ක්‍රීඩාංගණයේ තරගය නැරඹීම සඳහා ඔස්‌ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් යැමට නියමිතව ඇති බව දැනගන්නට ලැබිණි. මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට නම් හිතකර තත්ත්වයක් ගෙන දුන්නද එංගලන්තයට නම් සුවදායක තැනක් නොවනු ඇත. එංගලන්තය වෙස්‌ට්‌පැක් ක්‍රීඩාංගණයට පැමිණි අවස්‌ථා තුනේම පරාජයන් වැළඳ ගැනීමට සිදුවුවත් ශ්‍රී ලංකාව එහිදී සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජය ගෙන තිබේ. මෙම ක්‍රීඩාංගණයේදීත් සංගක්‌කාර සහ ඩිල්ෂාන් දෙවැනි කඩුල්ල සඳහා හොඳ ලකුණු සබඳතාවක් පැවැත්වීමට සමත්ව තිබෙන අතර එහිදී සංගක්‌කාර වෙස්‌ට්‌පැක් හිsදී පසුගිය ජනවාරි 29 වැනිදා නවසීලන්තයට එරෙහිව ශතකයක් (113) වාර්තා කළේය. තිලකරත්න ඩිල්ෂාන් එම තරගයේදී ලකුණු 81 ක් ලබා ගැනීමට සමත් විය.
මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වෙනසක් කිරීමේ වැඩි අවස්‌ථාවක් නොමැති අතර ආරම්භක පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට එකතු වූ උපුල් තරංගට තවදුරටත් ස්‌ථානයක් ලබා ගැනීමට බලා සිටීමට සිදුවේ. එයට ප්‍රධානම හේතුව ඩිල්ෂාන් සහ තිරිමාන්න අවසන් තරගයේදී ශතක සබඳතාවක් පිහිටුවීම වෙයි. මෙල්බන් නුවරට වඩා වැඩි ශීතලක් වෙලින්ටන් නුවරදී පැවැත්වෙන බැවින් එම තත්ත්වය ශ්‍රී ලංකාවට වඩා එංගලන්තයට නම් හිතකර වනු ඇත.