අනාගතයේ ලොකු ගැටලුවක පෙර නිමිති
තිහාරිය නගරයේ පිහිටි ගේරාසරියක් අසල තමන් පැමිණි යතුරු පැදිය නතර කරන ඉම්රාන් ගේරාසරිය තුළට ගොස් අවශ්‍ය බඩු මුට්ටුද රැගෙන පිටතට ආවේ හැකි ඉක්මනින් නිවසට යාමේ අපේක්ෂාව ඇතිවය. එහෙත් නිවසට යනවා වෙනුවට ඔහුට යන්නට සිදුවන්නේ නිට්ටඹුව පොලීසියටය. ඒ ගේරාසරිය අසල නතර කර තැබූ ඔහු පැමිණි යතුරු පැදිය කිසිවෙකු විසින් සොරාගෙන ගොස් තිබුණු බැවිනි.
රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා අලුත් යතුරු පැදියක් වූ එය අතුරුදන් වන්නේ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ මහා දවාලයේ දෙනෝදාහක් ගැවසෙන නගර මධ්‍යයකදීය. මෙම සිද්ධිය පිලිබඳ පැමිණිල්ල පොලිස් පොතේ ලියැවී පැය හැත්තෑ දෙකක් යන්නටත් මත්තෙන් පෙර නොවූ විරූ ලෙස තිහාරිය නගරයේ ඉතා අබිරහස් ආකාරයෙන් සොරකම් රැසක්ම සිදුවන්නට විය. කොල්ලකෑමට ලක් වූ ස්ථාන අතර නිට්ටඹුව නගරයේ පිහිටි පරිගණක අලුත්වැඩියා අලෙවි ස්ථානයක්ද, තිහාරිය නගරයේ පිහිටි නිවසක්ද විය. පරිගණක අලුත්වැඩියා අලෙවි ස්ථානය බිඳ සොරාගෙන ගෙනගොස් තිබුණේ ලැප්ටොප්, ටැබ් සහ ජංගම දුරකථන ගොඩකි. ඒවායේ වටිනාකම ලක්ෂ ගණනකි. නිවස බිඳ සොරාගෙන ගොස් තිබුණේද ජංගම දුරකථන තුනක් ඇතුළු රුපියල් විසි තිස් දහසක බඩු මුට්ටුය. සියලු සොරකම් සිදුව තිබුණේ වීදුරු ජනේල බිඳ ඒ තුළින්ඇතුළු වීය.
ඇඟිලි සලකුණු ඇතුළු කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර කර තිබුණු ඒ සියලුම සොරකම් විමර්ශනයේදී පොලීසියට පෙනී යන්නට වූයේ ඒවා සංවිධානාත්මකව සිදුව ඇති බවකි. මේ නිසාම ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී විජිත ඩී. කොමසාරු සහ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ලයනල් බලගල්ල යන මහත්වරුන් නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් විරසේකර මහතාට දැනුම් දෙන්නේ හැකි උපරිම වෙහෙසක් දරා අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා ගෙන තිහාරිය සහ ඒ අවට නගර ආශ්‍රිතව හොල්මන් කරන අභිරහස් සොරුන් නීතියේ රැහැනට හසුකර ගන්නා ලෙසය.
කාලයක් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස සේවය කර ත්‍රස්ත ප්‍රහාරයකට පවා ලක්වී එලොව ගිහින් මෙලොව පැමිණි නිලධාරියෙකු වන ප්‍රදීප් වීරසේකර මහතා මොරවක, ඇහැලියගොඩ වැනි පොලිස් වසම්වල සේවය කරද්දී සිදුවුණු සෑම අබිරහස් අපරාධයක්ම විසඳා නමක් දිනා සිටින පොලිස් නිලධාරියෙකි. එබැවින් ඔහු තම උසස් නිලධාරීන්ගේද උපදෙස් ඇතිව තිහාරිය සහ අවට නගර ආශ්‍රිතව රැයක් දවාලක් නොමැතිව හොල්මන් කරන සොරුන් කොටුකර ගැනීමේ මෙහෙයුමට මුල පිරුවේය. ඒ සඳහා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක කන්දෙවත්ත, උප පොලිස් පරීක්ෂක අලවල සහ කොස්තාපල්වරුන් වන රොෂාන්, බියන්විල, පලාපත්තල යන නිලධාරීන්ද සම්බන්ධ කර ගත්තේය.
තිහාරිය සහ ඒ අවට නගර ආශ්‍රිතව නිවාස සහ වෙළෙඳසල් බිඳ සොරා ගත් ජංගම දුරකථනවල ‘එමි’ අංක ඔස්සේ මූලික විමර්ශනයක නිරත වූවත් ඒ වන විට එම ජංගම දුරකථන කිසිවක් භාවිතයට ගෙන නොමැතිවූ බැවින් විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ සොරුන්ට කිට්ටුවීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ඔය අතරතුර පොලිස් කණ්ඩායම් සොයා බලන්නට වූයේ සොරකම් සිදුවන කාලවකවානුවේ තිහාරියත්, නිට්ටඹුවත් යන නගරවල සැරිසැරූ සැකකටයුතු අමුත්තන් ගැනය. තිහාරිය නගරයේ සිඟමන් යෙදෙන කිසියම් පුද්ගලයෙකු ගැන පොලිස් කණ්ඩායමට තොරතුරු ලැබෙන්නේ ඔය අතරතුරදීය.
වසර දෙකක් තිස්සේ තිහාරියේ සැරිසරන්නකු යයි සඳහන් වුණු එම සිඟන්නා වැඩිහරියක් දක්නට ලැබි ඇත්තේ මුස්ලිම් දේවස්ථානය අසලය. ඒ ඔහු මුස්ලිම් ජාතිකයෙකු වූ බැවින් විය යුතුය. තිහාරියේ ජීවත් වන වැඩි පිරිසක් මුස්ලිම් වැසියන් බැවින් නගරයට ඔහු එතරම් අමුත්තෙකු ලෙස නගරවැසියන්ට පෙනුණේ නැත. නමුත් පොලීසියට නම් එය එසේ නොවීය. වසරක් දෙකක් තිස්සේ නගරයේ එම සිඟන්නා රැඳී සිටින බව සඳහන් වූවත් ඔහු සැබෑවටම වැඩි වශයෙන් සිටියේ නගරයෙන් පිටත බවද සොයා ගත හැකි විය. ඔහු නගරයේ රැඳී සිටින කාලය සහ නගරයේ සොරකම් වැඩි වන කාලය අතර කිසියම් සම්බන්ධයක් ඇති බවක්ද නිරීක්ෂණය කළ හැකි විය.
මෙම තොරතුරු අනාවරණය කරගත් පොලිස් කණ්ඩායම එම සිඟන්නා සොයා මෙහෙයුමක් දියත් කරන්නට ගත්තේය. නිට්ටඹුව නගරයේ පිහිටි පරිගණක අලුත්වැඩියා කිරීමේ ස්ථානය සොරු බිඳින්නට පෙර දිනයේ තිහාරියේ සිටින සිඟන්නා රැකියාවක් සොයා එහි පැමිණ ඇති බව හෙළිවන්නේ එවිටය. චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි අයෙකු බව පෙනුණු ඔහු රක්ෂාව ඉල්ලාගෙන විත් ඇත්තේද ඉංග්‍රීසියෙන් වෙළෙඳසල් හිමිකරු සමග කතාබහ කරමිනි. වබේ අඩවි නිර්මාණකරුවෙකු ලෙස තමන්ව හඳුන්වාදී ඇති එම සිඟන්නා පදිංචිව සිටින්නේ යැයි සඳහන් කර ඇත්තේද තිහාරියේය.
පරිගණක අලුත්වැඩියා කිරීමේ ස්ථානයට රක්ෂාවක් ඉල්ලාගෙන ගියේ, වයස අවුරුදු විස්සක, විසි එකක පෙනුමක් ඇති එම සිඟන්නාම බව පොලිස් කණ්ඩායමට තහවුරු වන්නේ රැකියාවක් ඉල්ලාගෙන එදා ඔහු වෙළෙඳසල් රැසකටම ගොස් ඇති බැවින් ඒ එක් වෙළෙඳසලක ආරක්ෂක සීසීටීවී කැමරාවක ඔහුගේ රුව සටහන් වී තිබිම නිසාය.
පොලිස් කණ්ඩායම මෙම සිඟන්නා සොයා ඒත් එක්කම තිහාරිය නගරයේ මෙහෙයුමක් දියත් කරනුයේ නගරයේ සොරකම්වලට ඔහු සෘජුවම වගකිව යුතු බව තහවුරු නොවූවත් ඇතිවූ සැකයක් මත ඒ ගැන ප්‍රශ්න කරන්නටය. නගරයේ ඇති වසා දැමුණු කඩ කාමරයක් රුපියල් තුන්දහසකට කුලියට ගෙන ඒ වන විට ඔහු පදිංචිව සිටින බවට තොරතුරක් පොලිස් කණ්ඩායමට ලැබෙන්නේ ඔය අතරතුරදීය. ඒ අනුව පොලිස් කණ්ඩායම එම කඩකාමරය වැටලුවේය.
“මම සරණාගතයෙක්. දේශපාලන රැකවරණය ඉල්ලාගෙන ඇවිල්ලයි මේ ලංකාවේ ඉන්නේ. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම මට සහතිකයක් පවා දීල තියෙනවා. ඔයාලට මගෙන් ප්‍රශ්න කරන්න බැහැ නීතිඥයෙක් නැතිව පොලිස් කණ්ඩායම දුටු ඔහු කඩ කාමරයේ මුල්ලක සැඟවෙමින් එසේ කෑමොර දෙන්නට වූයේ ඉංග්‍රීසියෙනි.
තිහාරිය නගරයේ අවුරුද්දක් දෙකක් තිස්සේ සිඟමනේ යෙදෙමින් සිටියේ මෙරැටියෙකු නොව පිටරැටියෙකු බව හෙළිවන්නේද එවිටය. බැලින්නම් ඔහු පාකිස්තානු ජාතිකයෙකි. පාකිස්ථානයේ ලාහෝර් නුවර පදිංචිකරුවෙකු වන ඔහු නමින් හම්ෂාන් තුෂාන්කූර්ය. ඔහුගේ මවත්, වැඩිමල් සහෝදරියකුත් පාකිස්ථානයේ ජීවත් වන බවද හෙළිදරව් විය.
එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ රැකවරණය ඔහුට තිබේ යැයි සඳහන් කළද එය පට්ටපල් බොරුවකි. සංචාරකයෙකු ලෙස 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී දින 30ක සංචාරක වීසා මගින් මෙරටට පැමිණි ඔහු මේ කාලය පුරාම මුස්ලිම් වැසියන් බහුලව සිටින ප්‍රදේශ ආශ්‍රිතව සැරිසරමින් රැකියා සොයමින් සිටියා මිස අඩුම තරමින් සරණාගත කොමිසම පැත්ත පළාතක අඩියක්වත් තබා තිබුණේ නැත. ඔහු සිඟමනට යොමු වන්නේ ශ්‍රී ලංකාවේ තමන් රැකියාවක නිරතව සිටින බව මවටත් සහෝදරියටත් දැනුම්දී ඇති බැවින් රැකියාවෙන් උපයාගන්නා කීයක් හරි ඒ අයට ජීවත් වීමට යැවිය යුතු බැවිනි. පාකිස්තානයේ ‘වබේ අඩවි නිර්මාණකරු’ එසේ සිඟමනට වැටී මසකට රුපියල් තිස් තහළිස් දාහක් උපයන අතරතුර හොරකම්වල ද නිරත වන්නට වූයේ සිඟමනෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නොවූ තැනය. නිට්ටඹුවේ පරිගණක අලුත්වැඩියා කිරීමේ වෙළෙඳසල
පමණක් නොව තිහාරියේ ගේරාසරිය අසල නතර කර තිබුණු යතුරු පැදිය සොරකම් කර ඇතැයි පැවසෙන්නේද ඔහුය. පරිගණක අලුත්වැඩියා කිරීමේ ස්ථානය බිඳ සොරාගත් ලැප්ටොප් 5ක්, ටැබ් 3ක්, ජංගම දුරකථන 15ක්, පෙන්ඩ්‍රයිව් 50ක් ඒ වනවිටත් ඔහු සිටි කඩ කාමරයේ මුල්ලක තිබුණේය. යතුරු පැදිය සොයා ගැනෙන්නේ කඩකාමරයට මඳක් ඔබ්බෙන් වූ තැනක පොල් අතුවලින් වසා තිබියදීය.
මෙසේ ඔහු සොරකම්වල නිරත ව ඇත්තේ තිහාරිය හා නිට්ටඹුව යන පැතිවල පමණක් නොව නාවලපිටිය, ගම්‍පොළ, මීගමුව, වැලිගම ආදී ප්‍රදේශවලද සැරිසරමින් සොරකම්වල නිරත වන්නට ඇතැයි යන්න පොලීසියේ විශ්වාසයයි.
සංචාරක වෙස්ගත් ඉන්දියානුවන්, පාකිස්තානුවන්, චීන ජාතිකයන්, නයිජීරියානුවන් පසුගිය කාලය පුරාම විවිධ අපරාධ සඳහා බහුල වශයෙන් මෙරටදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ලොකුම හිසරදයක් බවට පත්ව සිටින බව පැවසෙන්නේ පාකිස්තානුවන්ය. පසුගිය දිනක මහනුවර පිහිටි දුරකථන සමාගම් ශාඛාවක් බිඳ මහා දවාලයේ දුරකථන සහ මුදල් සොරාගනු ලැබුවේද පාකිස්තානුවන් දෙදෙනෙකි. මෙරටට වැඩි වශයෙන් අද වන විට මත්කුඩු ගෙන එන්නේද පාකිස්තානුවන්ය. පාසල් දරුවන් බිලිගන්නා මත්පෙති, මත් පුවක් ඇතුළු මත්කාරක ද්‍රව්‍යයන් මෙරටට ගෙන එන්නේද වැඩි වශයෙන්ම පාකිස්තානුවන්ය. ඒ අය උපත් පාලන ඖෂධ වර්ග පවා මෙරටට ගෙනවිත් සිංහලයන් වඳ භාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවට චෝදනාද පසුගිය කාලයේ විවිධ ස්වදේශීය සංවිධානවලින් එල්ලවන්නට වූ බව රහසක් නොවේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව පාකිස්තානුවන් 270 දෙනෙකු තුන්වැනි රටක් ලැබෙනතුරු එක්සත් ජාතීන්ගේ සරණගාතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය යටතේ දේශපාලන රැකවරණය මත මෙරට රැඳී සිටින බව සඳහන්ය. එසේම දේශපාලන රැකවරණය සඳහා ඉල්ලුම් කර, එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ රැකවරණය පතන්නන් සඳහා නිකුත් කරන තාවකාලික සහතික පත්‍ර ඇතිව මෙරට සිටින පාකිස්තානුවන්ගේ ගණන 1570කි. සංචාරක වීසා මගින් මෙරටට පැමිණ, දේශපාලන රැකවරණය අපේක්ෂාවෙන් සිටින ඒ අය අතර අවුරුදු හත අටක් තිස්සේ මෙරට රැඳී සිටින්නන්ද වීම විශේෂිතය. ඒ අය මෙහි කරන්නේ මොනවාදැයි නිසි විපරමක් නැතත් ඔවුන්ගෙන් බොහොමයක් දෙනා මෙරටින් විවාහයන් පවා කරගෙන මෙරට ස්ථිර පදිංචිකරුවන් ලෙස වාසය කරන බවට තොරතුරුද වාර්තා වී තිබේ. නිට්ටඹුව පොලීසියට හසුවන හිඟමනේ යමින් සොරකම්වල නිරත වූ පාකිස්තානුවාද එසේ දේශපාලන රැකවරණ ඉල්ලන්නට සූදානම් වූ අයෙකි. ඒ පාකිස්තානයේ ත්‍රස්ත කණ්ඩායමකින් තමාට මරණ තර්ජන ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයට අයැදුම්පතක් ඉදිරිපත් කරමිනි.
මේ ආකාරයට පිටරටවල සිටින හොරුන් මංකොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද මෙරටට පැමිණ, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් දේශපාලන රැකවරණය ඉල්ලා මෙරට රැඳී සිටින්නට පටන්ගතහොත් එය ඉදිරියේදී දැවැන්ත අර්බුදයකට මුලපුරන්නක් බව තතු දත් අංශ සඳහන් කරන කාරණාවකි. රැකවරණය පතා මෙරට රැඳී සිටින පාකිස්තානුවන්ට ජීවත් වීමට තුන් වැනි රටක් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් නොලැබෙන්නේ නම් ඒ අය මෙරටින් යා යුතුව ඇතත් එවැන්නක් සිදුවන්නේ නැත. ඔවුන් පිටුවහල් කිරීමට හැකියාව තමන්ට ඇතත් ඊට විවිධාකාර බාධක ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී සඳහන් කරනු ලැබුවේ එය ජාත්‍යන්තර ගැටලුවක් බවට පත් විය හැකි කාරණාවක් බවද පැහැදිලි කරමිනි.
ගයාන් කුමාර වීරසිංහ