සුපුරුදු රිද්මය ගිලිහුනිද පුතුනේ

-ලෝක කුසලාන සමාරම්භක තරගයේදීම නීරස ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙරේදා (14 දා) සත්කාරක නවසීලන්තය හමුවේ ලකුණු 98 ක දැවැන්ත පරාජයක්‌ ලැබීය. ඒ අනුව සුපිරි අට වටය සඳහා තරගාවලියේ පළමු ප්‍රසාද ලකුණු දෙක ලබා ගැනීමට නවසීලන්තය සමත් විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරගය පරාජය වුවද ලෝක එක්‌දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි තැනට පත්වීමට කුමාර් සංගක්‌කාරට මෙම තරගයේදී හැකි විය. ලොව වැඩිම එක්‌දින ලකුණු ලාභීන්ගේ ලැයිස්‌තුවේ දෙවැනි තැනට සිටි රිකී පොන්ටින් (13704) අභිබවා දෙවැනි තැනට පත්වූ සංගක්‌කාර මේ වන විට එක්‌දින තරග 398 කදී ශතක 21 ක්‌ සහ අර්ධ ශතක 93 ක්‌ සමග ලකුණු 13732 ක්‌ ලබා තිබේ. එම ලැයිස්‌තුවේ පළමු තැන සචින් ටෙන්ඩුල්කාර්ට හිමිව තිබේ. ඔහු එක්‌දින තරග 463 කදී ලකුණු 18426 ක්‌ ලබා තිබේ.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු දහස ඉක්‌මවූ 14 වැන්නා බවට කුමාර් සංගක්‌කාර පත්විය. ඔහු මේ වන විට ලෝක කුසලාන තරග 31 කදී ලකුණු 1030 ක්‌ ලබා තිබේ. අදාළ ලැයිස්‌තුවට පැමිණීමට මහේල ජයවර්ධන ලකුණු 25 ක්‌ පමණක්‌ පිටුපසින් සිටියද ඊයේ ඔහු ලකුණු නොලබා දැවී යාම හේතුවෙන් එම කඩඉමට පැමිණීමට නොහැකි විය. ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනකු මීට පෙර ලකුණු දහසේ සීමාව ඉක්‌මවා ලබා තිබුණි. ඒ සනත් ජයසූරිය (1165) සහ අරවින්ද ද සිල්වා (1064) වේ.

කිසිම විටෙක නවසීලන්ත පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු හයකට මෙපිටින් තබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසමත් වූහ. එහිදී නවසීලන්ත පිතිකරුවන්ගේ හොඳම තෝරා ගැනීම වූයේ ලසිත් මාලිංග සහ නුවන් කුලසේකරයි. ඔවුන් දෙදෙනාගේ පන්දු වාර 18 දී පමණක්‌ නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 162 ක්‌ උදුරා ගත්හ. මාලිංගගේ සුපුරුදු රිද්මය ගිලිහී ගොස්‌ ඇති බව මනාවට පැහැදිලි වූ මෙම තරගයේදී ඔහුගේ පන්දුවාරයකට දළ ලකුණු 8.40 ක්‌ද නුවන් කුලසේකරගේ පන්දුවාරයකට දළ ලකුණු 9.75 ක වේගයක්‌ රඳවා ගැනීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ.තරගයේ වීරයා සම්මානයෙන් කොරේ ඇන්ඩ්‍රසන් සම්මාන ලැබීය. ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය ලබන 22 වැනිදා ඇෆ්නිස්‌ථානය සමගින් පැවැත්වේ. එම තරගය නවසීලන්තයේ ඩනේදීන් හිදී පැවැත්වීමට නියමිතය.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...