වීරගුල පොලිසියේ නිලධාරීන් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට කුරුණෑගල, හොරොම්බාව, බදුවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයෙකු චෝදනා කරනවා. වයස අවුරුදු 32ක් වන ඔහු කේ.ඒ ඉන්දික සඳරුවන් නමැත්තෙක්.
තමන් ගමන් කළ බස් රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා තවත් බස් රථයක් පැමිණෙන තෙක් යක්කල ප‍්‍රදේශයේ මාර්ගයක් අසල විවේකයෙන් සිටියදී පොලිස් ජිප් රථයක් පැමිණ තමන් වීරගුල පොලිසියට රැගෙන ගිය බව ඔහු කියා සිටියා.
එම ප‍්‍රදේශයේ කොල්ලකෑම් කිහිපයක් සිදුව ඇතැයි ද තමන් ඊට සැක කරන බවද පවසමින් පොලිස් නිලධාරීන් එහිදී තමන්ට පහරදුන් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
” මම ඇදගෙන හිටිය කලිසම ඉරලා…. අත් දෙක කකුල් දෙක අතුලට දාලා බැඳලා යකඩ කූර බස්සලා මේස දෙක ලං කරලා ඒ මේස දෙක උඩින් මාව තියලා මට කිතුල් පොලූ වලින් දෙන්නෙක් දෙපැත්තට වෙලා යටි පතුලටයි උඩටයි ගැහුවා….. මට ගුටි කන්න බැරිම තැන කිවුවා උඩ එල්ලලා තියෙන බල්බ් එක දෙන්න මට කාලා මැරෙන්න කියලා… උබට බල්බ් දෙන්න ඕනි නැහැ උබ මරන්නේ ටික ටික කියලා දෙන්නාම 2 – 3 වෙනකම් ගැහුවා….. ”
මෙම පහරදීම්වලින් පසු තමන් අසාද්‍යව සිටියදී වීරගුල පොලිසියේ ස්ථානාධිපතිවරයා ද තමන් වෙත පැමිණි බව ඉන්දික සඳරුවන් පවසනවා. කෙසේවෙතත් සෙසු නිලධාරීන් මෙන් නොව ස්ථානාධිපතිවරයා තමන්ට කාරුණිකව කථා කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
“උදේ පන්දර එළිය වැටෙනකොට OIC මහත්තයා එවිල්ලා මට තේ එකක් ගෙත් දුන්නා…. කොල්ලො උබට අමාරුද කියලා ඇහුවා….. මම කිවුවා මට හරිම අමාරුයි ඇවිදින්න බැහැ කියලා…. ඊට පස්සේ ඒ ගහපු අය ඇවිල්ලා කවුද කොල්ලෝ උබට ගැහුවේ එ ගොල්ලොම සිද්ධාලේප ගානකොට මම කිවුවා ඔහොම අතුල්ලන්න එපා මට හරිම අමාරුයි කියලා…. ඊට පස්සේ මට බෙහෙත් කරල් 6 කුයි තව පෙති අහුරකුයි මට දීලා ගියා…. ඉස්පිරිතාලෙන් ගෙනාවේ බොන්න හොදයි කියලා… පස්සේ මම ඒවා බිවුවේ නැහැ ඇඳ යටට විසි කළා…. ”
ඉන්දික සඳරුවන් මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් මස 23 වැනිදායි. එයින් දින 06කට පසු ඉකුත් මස 29 වැනිදා ඔහු අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එම අවස්ථාවේද පොලිසියෙන් තමන්ට බලපෑම් සිදුවු බවයි ඉන්දික සඳරුවන් පවසන්නේ.
“කිවුවා උසාවි ගිහින් ගැහුවා කියන්න එපා නොන්ඩි ගහන්න එපා එහෙම උනොත් ජීවිත කාලයම එලියට යන්න බැරි වෙනවා ඇප දෙන්නෙත් නැහැ කියලා…. පස්සේ මාව උසාවියට එක්කන් ආවා ඊට පස්සේ බන්ධනාගාරෙ මහත්වරු දෙන්නෙක් අල්ලගෙන ගිහින් කුඩුවට දැම්මා… දාලා මම කුඩුවෙ නිදාගෙන හිටියේ… ”
අධිකරණයට ඉදිරිපත් කෙරුණු පළමු අවස්ථාවේදී ඉන්දික සඳරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. බන්ධනාගාරයෙන් ඔහු ගම්පහ මහරෝහලට ඇතුලත් කර ඇති අතර පසු අවස්ථාවක දී ඔහු ඇප මත මුදා හැර තිබෙනවා.
නැවත මෙම නඩුව කැඳවීමට නියමිතව තිබෙන්නේ ඔක්තොබර් මස 06 වැනිදායි. තමන්ට සිදුවු අසාධාරණය වෙනත් අයෙකුට ද සිදුවීමට ඉඩ නොතබන්නැයි ඉන්දික සඳරුවන් ඉල්ලා සිටියේ.
NETHFM