-ශ්‍රී ලංකාව සමග පැවැති 6 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 120ක ජයක් අද වාර්තා කිරිමට නවසීලන්තය සමත් විය.
තරග 7කින් සමන්විත තරගාවලිය තරග 4ට 1ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ද නවසීලන්තය යි.
ඩනිඩින්හි යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් අද තරගයට සහභාගී නොවූ අතර කණ්ඩායම මෙහෙය වනු ලැබුවේ, ලහිරු තිරිමාන්න විසිනි.
නුවන් කුලසේකර සහ සචිත්‍ර සේනානායක වෙනුවට ධම්මික ප්‍රසාද් සහ රංගන හේරත් අද තරගයටකැඳවා තිබිණ.
මේ අතර නවසීලන්තය වෙනුවෙන් වැඩි ම එක්දින ක්‍රිකට් තරග ගණනකට සහභාගී වූ ක්‍රීඩකයා ලෙස හිටපු නායක ඩැනියෙල් විටෝරි අද වාර්තා අතරට එක් විය.
විටෝරි අද සහභාගී වූයේ, 280 වැනි එක්දින ජාත්‍යන්තර තරගය සඳහා ය.
තරග 279කට ක්‍රීඩා කළ ස්ටීවන් ෆ්ලෙමින් නවසීලන්තය වෙනුවෙන් වැඩි ම තරග ගණනකට සහභාගී වූ ක්‍රීඩකයා ලෙස මීට පෙර පෙරමුණේ රැඳී සිටියේ ය.
ලකුණු 59ක් තුළදී නවසීලන්ත මුල් පෙළ කඩුලු 2 බිඳ වැටිණ.
14 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ කේන් විලියම්සන් ලකුණු 97කට දුවද්දී දැවී ගියේ ය.
කොරී ඇන්ඩර්සන් රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 40කි.
28 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ රොස් ටේලර් ලකුණු 96කට දැවී ගියේ ය.
ධම්මික ප්‍රසාද් පන්දුවාර 10කදී ලකුණු 59ට කඩුලු 2ක් රැස් කළේ ය.
පන්දුවාර 50 අවසානයේ නවසීලන්තය කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකාවට ලකුණු 316ක ඉලක්කයක් ලබා දුන්නේ ය.
ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලහිරු තිරිමාන්න සහ ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගූහ.
ඩිල්ෂාන් ලකුණු 21ක් රැස් කළ අතර තිරිමාන්න ලකුණු 29කි.
93 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.
පන්දු 66කින් ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ, 4 පහර 7ක් සහ 6 පහර 2ක් ද සමගිනි.
ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දෙනෙක් ම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දැවී ගියහ.
ලකුණු 49ක් තුළ ශ්‍රී ලංකා අවසන් කඩුලු 5 බිඳ වැටුණු අතර මෙම තරගයේදී දුවද්දී දැවී යාම් 5ක් සටහන් වීම විශේෂත්වයකි.
කොරී ඇන්ඩර්සන් පන්දුවාර 10කදී ලකුණු 52ට කඩුලු 4ක් දවා ගත්තේ ය.
පන්දුවාර 40යි පන්දු 3ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 195කට දැවී ගියහ.