මරණය පරාජය කළ ලංකාවේ කෙ‍ල්ලෝ

ඇමෙරිකාවේ සී.බී.එස් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ”සර්වයිවර්” නමැති ලෝක ප්‍රසිද්ධ රියලිටි තරගාවලියට සහභාගී වී එහි කිරුළ හිමි කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් කෝටි 13 ක්) හිමිකරගත් ශ්‍රී ලාංකික යුවතිය වු නටාලි ඇන්ඩර්සන් සහ ඇගේ නිවුන් සොයුරිය නාදියා ඇන්ඩර්සන් අද අලුයම දිවයිනට පැමිණියහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ඔවුහු උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
නටාලි ඇන්ඩර්සන් සහ නාදියා ඇන්ඩර්සන් නම් වු මෙම ශ්‍රී ලංකික නිවුන් සහෝදරියන් දෙදෙනාම මෙම රියලිටි තරගයට ඉදිරිපත් වු අතර නාදියාට තරගාවලියේ මුල් අවස්ථාවේදීම ඉන් ඉවත්වීමට සිදු විය. එහෙත් දින 39 තිස්සේ විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් එම රියලිටි තරගය ජයගැනීමට නටාලි ඇන්ඩර්සන්ට හැකිවිය.

98
එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 13) මුදලක් තෑගී ලෙස ලැබුණු බව ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පැවසු අතර ඉන් විශාල මුදලක් ශ්‍රී ලාංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන බවද කීවාය.
ශ්‍රී ලංකාවට බොහෝ ආදරය කරන බව කියන මෙම නිවුන් සොයුරියෝ තම දෑත් වල වැලමිටට පහතින් ශ්‍රී ලංකා සිතියම පච්චා කොටා ඇති අයුරුද පෙන්වුහ.
නටාලි සහ නාදියා යන දෙදෙනාම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉපදී ඇති අතර පසුව ඔවුන් වයස අවුරුදු 3 දී පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. යළි ඔවුන් වයස අවුරුදු 10 යේදී පමණ යළි දෙමව්පියන් සමග ඇමරිකාවට ගොස් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇත.
නටාලි මේ වන විට ව්‍යාපාර කළමනාකරණය පිළිබද උපාධියක් ලබා සිටින්නීය. අතර ඇය භෞත චිකිත්සාව පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලබන යුවතියකි. නාදියා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා සිටින්නීය. ඇය ව්‍යාපෘති සම්බන්ධීකාරකවරියක් ලෙස රැකියාව කරයි.
කුඩා කල සිටම දුෂ්කර රියලිටි වැඩසටහන් ගැන උන්නදුවක් දක්වා ඇති මෙම අපුරු නිවුන් සොහොයුරියෝ 2012 වසරේදීද ‘ඇමරිකන් රේස්‘ යන වැඩසටහනටද සහභාගී වී ඇති අතර පසුව 2014 දී පැවැත්වු ‘‘සර්වයිවර්‘‘ තරගාවලියෙන් මෙම කිරුළ හිමිකර ගැනීමට සමත් විය.
තම ජයග්‍රහණය පිළිබදව අදහස් දැක්වු නටාලි ඇන්ඩර්සන් ගුවන්තොටුපලේදී මෙසේ පැවසුවාය.
”මම ලංකාවට ආවේ අවුරුදු 3 කට පස්සේ. මේ වනකොට ඇමරිකාව ”සර්වයිවර්” වැඩසටහන් 30 ක් පවත්වලා තියෙනවා. මෙවැනි තරගයක් ජයග්‍රහණය කළ දකුණු ආසියාවේ පළවෙනි කෙල්ල මම. ලංකාව නියෝජනය කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ අපිට ගොඩක් සහයෝගය දුන්නා.
මේක අමුතුම රියලටි තරගයක්. ”සර්වයිවර්” කියන්නේ කෙනෙකුට සහභාගී වී පහසුවෙන් ජයගන්න පුලූවන් තරගයක් නෙමෙයි. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත් කරන්න වෙනවා. උපද්‍රව ගණනාවකට මුහුණ දෙමින් ජීවිතය නොනැසී ගලවා ගන්නට සමත් වන තැනැත්තාට තමයි ”සර්වයිවර්” කිරුළ හිමිවන්නේ.
මෙම තරගාවලියේදී අපිට නිකරුගුවාව කියන දුපතේ ඉතාමත් දුෂ්කර පැත්තකට ගිහින් දැම්මා. දින 39 ක් ඒ දුපතේ ජීවත්වෙන්න වුණා. අපේ ලංකාවේදි අපි පුංචි කාලෙදි ජීවත් වුන හැටි මතක නිසා ගොඩක් දුෂ්කර අභියෝග ජයගන්න පුලූවන් උනා.
ආහාර, ජලය, ගින්දර හෝ හිසට සෙවනක් නැහැ. මුලික අවශ්‍යතා කිසි දෙයක් එහි නැහැ. අපි ඒවා කොහොම හරි සපයා ගන්න ඕනෑ. ඒ සියලු අවශ්‍යතා සපයාගෙන විවිධ දුෂ්කරතා මැඩ පවත්වාගෙන ලකනු ලබා ගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි.
තුවාලයක් හෝ වෙනයම් ආපදාවක් සිදු වුණොත් තරගයෙන් ඉවත්වෙන්න සිදුවෙනවා.
ගින්දර අපි හදාගන්න ඕනේ. හාල් ගෝනියක්, ලුනු පැකට් එකක් සහ ධාන්‍ය වර්ගයක් දෙනවා. අපි මාළු අල්ලගෙන කන්න ඕනේ. මම තමයි හොදටම මාළු ඇල්ලූවේ. ගොඩක් අය මාව අනුකරණය කළා. ගින්දර හදාගන්න හැටි මට හොදට පුලූවන් වුණා.
දවසක් අපිට බඩ ගිනි හැදුනා. එහි සියඹලා ගහක් තිබුනා. කවුරුත් සියඹලා කන හැටි දන්නේ නැහැ. නමුත් අපිට ලංකාවේ අත්දැකීම් තිබුනා. මම සියඹලා කරල පොතු ඉවත් කරලා අනිත් අයට කන හැටි කියලා දුන්නා. ඒ වගේ ගොඩක් දේවල් මට අනිත් අයටත් කියා දෙන්න හැකි වුණා.
තරගකාරියන් 17 දෙනෙක් හිටියා. ලෝකයේ විවිධ දේවල් වලට ඉතා ප්‍රසිද්ධ අයත් එහි හිටියා. මගේ නංගි නාදියාට දුෂ්කරකම දරාගන්න බැරි උනා. ඇය මුල්වටවලදිම අයින් උනා. නංගි අයින් උනාම මටත් අයින් වෙන්න හිතුනා. ඒත් නංගි මා දිරිමත් කළා. මම සියලු බාධක මැඩගෙන ඉදිරියටම ගිහින් ජයග්‍රහණය හිමිකරගත්තා.
මම ලංකාවට ගොඩක් ආදරෙයි. අපි එහෙ හිටියත් ලංකාව ගැන හිත හිත තමයි ජීවත් වෙන්නේ. මට ලැබුන මුදල් වලින් මම විශාල මුදලක් මේ රටේ දරුවන් වෙනුවෙන් වැය කරන්නයි බලාපොරොත්තුව.

ඡායරූප – ලංකාදීප

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...