ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ලන්ඩන් විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ට ප්‍රදානය කරනු ලැබිය.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී එම පිටපත නාහිමියන් වෙත ප්‍රදානය කලේ ප්‍රකාශකයින් වෙනුවෙන් හර්ෂ සිරිවර්ධ විසිනි. හෙළබිම ප්‍රධාන කතෘ චතුර විද්‍යාරත්න ඇතුළු ප්‍රකාශනයට සම්බන්ධ කිහිප දෙනෙක්ද එම අවස්ථාවට සහභාගී වුහ.
මෙම පුවත්පත පලකිරීමේ අදහස පිළිබඳව කරුණු දැක්වූ හර්ෂ සිරිවර්ධන කිවේ ලන්ඩන් නුවර සිට සිංහල භාෂාවෙන් පුවත්පතක් පලකිරීම අභියෝගාත්මක ක්‍රියාවක් බවය. “ඉතා අඩු සම්පත් සහිතව ආරම්භ කල හෙළබිම තුලින් අපේ බලාපොරොත්තුව අපටම ආවේනිකවූ පත්තර කලාවක් තුල ශ්‍රී ලාංකීය සමාජීය සහ දේශපාලනමය තොරතුරු පාට පක්ෂ හෝ වාර්ගීය භේදයකින් බැහැරව සාකච්චා කිරීමයි” යනුවෙන්ද ඔහු පැවසිය.
හෙළබිම පුවත්පතේ පලකෙරෙන සියලුම ලිපි, සාකච්චා, විශේෂාංග ලිපි සහ ප්‍රවෘත්ති වාර්තා එම පුවත්පතේම කතෘ මණ්ඩලයක් විසින් සකස් කරනු ලැබේ.
ශ්‍රී ලංකාව, ඇමෙරිකාව, ප්‍රංශය සහ එංගලන්තය යන රටවල පදිංචි ප්‍රවීණ පුවත්පත් කලාවේදීන් “හෙළබිම” පුවත්පත සඳහා ලිපි සපයනු ඇත. එහි අඩංගු තොරතුරු අතරින් 70% ක්ම ශ්‍රී ලංකාවේ අලුත්ම තොරතුරු සහ අනෙකුත් විශේෂාංග සඳහාත් ඉතිරි 30% එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ වැඩකටයුතු සඳහා ප්‍රචාරයක් ලබාදීම සඳහාත් වෙන්කෙරෙයි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ හෙළබිම කතෘ චතුර විද්‍යාරත්න පැවසුවේ අද වනවිට මුද්‍රිත මාධ්‍යයන් මුහුණ පාන ප්‍රධානතම තරඟකාරීත්වය එල්ල වන්නේ රුපවාහිනි මාධ්‍ය තුලින් බවය. රුපවාහිනිය දෘශ්‍ය මාධ්‍යයක් නිසාත් නිමේෂයකින් ලොව කොතැනක සිට හෝ තොරතුරු සැපයීමේ හැකියාව ඇති නිසාත් හැමවිටම තොරතුරු සැපයීම අතින් ඔවුන් ඉදිරියෙන් ඉන්නා බවත් ඔහු පවසයි.
හෙළබිම පුවත්පතෙහි අන්තර්ගතය තේරීමේදී මෙම අභියෝගය සිත්හි තබාගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන බවද ඔහු අවධාරණය කළේය.
හෙළබිම පුවත්පතෙහි කාර්ටුන් කලාවටද වැදගත් තැනක් දීමට අදහස් කෙරේ. වචන දහසක් පමණ යොදාගනිමින් පැවසියයුතු කතාවක් එක චිත්‍රයකින් කීමේ හැකියාවක් කාර්ටුන් කලාවට ඇති බව පවසන චතුර ඒ නිසාම තම පුවත්පතෙහිද කාර්ටුන් කලාව සඳහා සැලකිය යුතු තැනක් දීමට බලාපොරොත්තු වන බවද කියයි.
මෙම පුවත්පත් සිංහල භාෂාව පමණක් භාවිතා කෙරෙනු ඇත. කාලීන ප්‍රවෘත්ති, දේශපාලන සංවාද, තීරු ලිපි, ළමා සහ කාන්තා පිටු මෙන්ම කවි පිටුද මෙම පුවත්පතෙහි ඇතුලත් වනු ඇත.
හෙළබිම ප්‍රකාශකයින්ගේ අභිප්‍රාය වන්නේ මෙම පුවත්පත ශ්‍රී ලංකාවේ නොමිලයේ බෙදා හැරීමත් මතු යම් දවසක එය ජාතික පුවත්පතක බවට පත්කිරීමත් බවද කියැවුනි.
ලන්ඩනයට අත්‍යාවශ්‍යව තිබු සිංහල පුවත්පතක් පටන්ගැනීම කාලෝචිත ක්‍රියාවක් බව පැවසු සීලවිමල නාහිමියෝ නව ප්‍රකාශනයේ වැඩකටයුතු සාර්ථක වේවායි සුභ පතුහ.
එම අවස්ථාවට සහභාගිවූ මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනාකොට ආශීර්වාද කරනු ලැබිය.
හෙළබිම බෙදාහැරෙන්නේ නොමිලයේය. දැනට මාසික ප්‍රකාශනයක් වන එය ඉදිරියේදී දෙසතියකට වරක් බැගින් පලකිරීමටද බලාපොරොත්තු වෙයි.
මීට පෙර ප්‍රවීණ මාධ්‍යවේදී දයා ආනන්ද රණසිංහ විසින් “ලංකා විත්ති” නමින් නොමිලයේ බෙදා හැරි සිංහල පුවත්පතක් ලන්ඩනයේ වසර 15 ක් නොකඩවා පල කළේය.
Check Also
බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...
මහරැජිණ මාළිගය හැරයයි
බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...