දෙමාපියන් ගෙනත් දුන් බනිස් ගෙඩිය දෙකට කඩා සහෝදරයා සමග කෑ විතුම් මාර ගසට වටවී මරුට

පෙරදින රාත‍්‍රිය මුළුල්‍ලේ එක දිගට ඇදහැලූ‍ණු මහා වැස්ස පසුදින උදෑසන වනවිටත් නැවතී නැත. සැප නිවාසවල ජීවත්වන උදවියගේ ළමයින් නාන කාමරවලින් දත් මැද මුහුණ සෝදා පාසල් යාමට සූදානම්වන මේ උදයේ ”විතුම් කුමාර” ද පාරේ ටැප් එකෙන් මුහුණ සෝදාගෙන පාසල් යාමට සූදානම් විය.

ටකරන් කැබලි ඉටිරෙදි වලින් ආවරණය වූ විතුම්ගේ නිවසේ නොතමෛන තැන්වලට වඩා තමෛන තැන් වැඩිය. උළු මාලිගා නැති වුණත් විතුම්ට හා ඔහුගේ අක්කාටත් මල්ලීටත් මේ පුංචි පැල්පත මහා මන්දිරයකි.

ජූනි 03 අඟහරුවාදා උදෙන්ම නැගිට පාසලට යාමට සූදානම් වනවිට
”අද හරි වැස්ස නේද ? පුතේ” යැයි කීවත් ඉගෙනුමට ඇති කැමැත්ත වැස්සට වඩා වේගයෙන් ඉස්මතු විය. එදා වේල අමාරුවෙන් සපයාගන්නා විතුම්ගේ දෙමාපියෝ එදින උදේ ආහාරයට ගෙනැවිත් තිබුණේ බනිස් ගෙඩියකි. නැතිබැරිකම් කොතෙක් තිබුණත් මහා මැදුරුවල දිවිගෙවන කුමර කුමරියන්ට නැති බෙදා හදාගෙන කෑමේ උපන් පුරුද්දක් විතුම් තුළ තිබිණ.

විතුම්ගේ මව එච්. ධම්මිකාය. පියා එල්.එම්. ආරුමුගම්ය. ගීතා කුමාරි සමන්මලී විතුම්ගේ 18 හැවිරිදි අක්කාය. සුදර්ශන සම්පත් මල්ලිගේ වයස අවුරුදු 14 කි. විතුම් කුමාර අවුරුදු 16ක් වයසැති පවු‍ලේ මද්දුමයාය. ඔවුන් ජීවත්වූයේ ඇහැලියගොඩ රෝහල් භූමියට යාබද ඉඩම් කැබැල්ලක ටකරන් ඉටිරෙදි ආවරණය කරගත් පුංචි පැල්පත් තුනක් එකට යාව ඇති ඔවුන් ඔහුගේම කිට්ටු ඥාතීන් සමගය.

අග – හිඟකම් මැද ජීවත් වූ මෙම පවුල් තුනේ සාමාජිකයෝ හිතහොඳ – එඩිතරව ජීවිතයට මුහුණ දෙන මිනිසුන්ය.
විතුම්ගේ නිවසට යාව පිහිටි නිවසේ සිටියේ එච්. කුසුමාවතී (32* සහ සුරංගනී, සංඛ, ආකාශ් යන ඇගේ ද දරුවන් සමග ඇගේ අම්මා වන ඇග්නස්ය. දෙමහල්ලන්ගේ සමගිය දරුවන් තුළද ඒ අයුරින්ම තිබිණ. විතුම් ඉගෙනුම ලැබුවේ මාහර ස්වර්ණ ජයන්ති විද්‍යාලයේය.

ජූනි 03 දින අඟහරුවාදා වුවත් එදා වෙන අඟහරුවාදා දිනවල මෙන් පුරුදු පරිදි පාසල් යා හැකි දිනයක් නොවන බව හා අඟහරුවාදා ”මගමරු ආදා” යැයි සිතන්නට විතුම්ට අවශ්‍යතාවයක් නොවීය. අම්මා දුන් බනිස් ගෙඩිය ඔහුගේ කුස පුරවන්නට අසමත් වුවත් විතුම්ගේ ආමාශය මෙවැනි පුංචි දෙයක් පිළිගන්නට සූදානමින් සිටියේය.

බනිස් ගෙඩිය අතට ගත් ගමන්ම ළඟ ගෙදර පුංචි සංඛ මල්ලී වෙනදා මෙන් විතුම්ට එක්වරටම සිහිපත් විය. බනිස් ගෙඩිය දෙකට කඩා කෑල්ලක් අතට ගත් විතුම් වැස්සේම අල්ලපු ගෙදරට දිව්වේය. වේලාව උදෑසන 6.30 – 7.00 අතර වන්නට ඇත. වැදගත් යැයි කියන නොවැදගත් ළමුන් තුළ නොමැති බෙදාගෙන කෑමේ පුරුද්ද විතුම්ට මේ මොහොතේද ක්ෂණිකව ඉස්මතු විය.
”කෝ සංඛ” කියාගෙන අල්ලපු ගෙදරට දුවගිය විතුම් ”මෙන්න ඔයාගෙ පංගුව” කියා බනිස් කෑල්ල සංඛගේ අතෙහි තැබුවේය.
සංඛගේ හිතේ පිපුන සතුටේ සෙනෙහසේ මල්වල අලංකාරය මුහුණින් දිස්වන්නට විය. බනිස් කෑල්ල අතට ගත් සංඛ එය පුංචි පුංචි කෑලිවලට කඩාගෙන කටේ දාගන්නා අයුරු විතුම් බලා සිටියේ
”එය විතුම්ගෙන් සංඛට ලැබෙන අවසාන ඥාති සංග‍්‍රහය” බව දැනගෙන නොවේ.

නැති බැරි අහිංසක විතුම්ගේ හදවත උණුවූයේ මිනිසුන්ගේ දුක – වේදනාව – බඩගින්න හඳුනන තවත් එවැනිම දරුවෙකු උදෙසාය. විතුම් අසීමිත සතුටකින් සංඛ දෙස බලා සිටියේ තමන් තව මොහොතකින් මෙලොවින් සමුගන්නා නිසා, මෙලොවදී තමාට හැකි අන්දමට බනිස් කැබැල්ලකින් දෙනු ලැබුවේ මහා දානයක් බව යටි හිත කරන ලද ඉඟියක් නිසා වෙන්නටත් ඇත.

පුංචි විතුම් – පුංචි සංඛට ලබාදුන්නේ කුසට ආහාරයකි. ඔහුට හෝ දෙමාපියන්ට මහා වස්තු සම්භාරයක් තබා නොතෙමී ඉන්නට ගෙයක්වත් නැත. මහාදාන දෙන්නට වත්කමක් නැත. ලෝභ – ද්වේශ – මෝහය වෙලාගත් පාපකාරී යටිහිත ඇතිව රටට පෙනෙන්නට දන්සල් දෙන කෝටිපතියෙකුට වඩා අව්‍යාජ බවත්, ශාන්ත වූ සිතත්, පිවිතුරු සිතිවිලි සමුදායත් මේ පුංචි දානයෙන් ලැබිය හැකි බව විතුම්ට නොසිතෙන්නට ඇත. මෙය විතුම්ගේ සසර පුරුදු දන්දීමේ පාරමිතාවේ කොටසක් වේයැයි සිතන්නට බැරිකමක් නැත.

වැස්ස තවත් වැඩිවෙමින් ඇත. විතුම් වැසි තර්ජනයට බිය නැත. දැන් පාසලට යා යුතුමය. සංඛගේ මව – අක්කා, මල්ලී නිවසේ පසුවූහ. නිවස තුළ ‍පොළොව යටින් දිය උල්පත් මතුවෙමින් තිබිණ. සංඛගේ මව ඒවා මැටි බඳුනකට එකතු කළාය. තද වැස්සේ වේගයෙන් හමන සුළඟ වහලයේ ඉටිරෙදි, ටකරන් උස් පහත් කරන්නට විය. සිමෙන්ති තබා ගොම – මැටිවත් නොගෑ ගෙබිම තුළින් මතුවන ජල උල්පත් වැඩිවිය. ‍පොළොවේ කම්පනයක් වැනි දෙයක් සිදුවිය. හෝ හෝ හඩින් වහින වැස්ස ගෙරවිලි හඬ අමතර ශබ්ද යටපත් කරමින් තිබිණ. හිටිහැටියේම වහලයේ ටකරන් කැබලි ඉටිරෙදි – ලී කැබලි බිමට පාත්වන්නට විය. සංඛගේ මව තම දරුවන්ද සමග
”ඔන්න ගහ ගැලවෙනවා එළියට යමල්ලා” කියමින් මිදුලට පැන්නාය.
Vithum-family

යාබද ගෙවල්වල අයද මේ වනවිට ගෙවල්වලින් එළියට පැන ජීවිත බේරාගැනීමේ සටනේ යෙදී සිටියහ. දැවැන්ත මාර ගස මුලින් ඉදිරී නිවාස දෙක අසල ‍පොළොවට පතිත විය. හතර අතට විහිදුන විශාල අතුවලින් සංඛගේ නිවස වැසී ඇත. මිදු‍ලේ සිටි අය තවමත් නිවස තුළ වූ දරුවන් බේරාගැනීමේ සටනේ නිරතවූහ.
”කෝ විතුම් කුමාර” කවුරුත් ඔහු සොයා යටවූ නිවස තුළ විපරම් කළහ. දැවැන්ත මාර ගසක අත්තක් ගෙයි වහලයට වැටී එහි සුන්බුන් අතරින් විතුම් සොයා අමාරුවෙන් එළියට ගත්හ. ඒ වනවිට බෙල්ල ප‍්‍රදේශයේ තුවාල සහිතව සිටි ඔහු වහාම ඇහැලියගොඩ රෝහලට ගෙන ගියත් ඒ වනවිටත් විතුම් තම පැතුම් ඔස්සේ යායුතු ගමන ගොස් තිබිණ.
”යහගුණ පිරි ජීවිතවල ආයු කාලය අඩුය. එවැනි අය මහ මැදුරුවලට වඩා පුංචි පැල්පත් තුළින් මතුවේ” යන කියමන සැබෑ කරමින් විතුම් කුමාර දෙමාපියන් සමග ඥාතීන් හඬවා මෙලොවින් සමුගත්තේය.

නැති බැරි අයට ඉඩම් – නිවාස ලැබෙන බව කවුරුන් කීවත් මේ අසරණ පවුල්වලට තවමත් පිළිසරණක්නැත. අනතුරුදායක ගස් අසල ජීවත්වන මේ අසරණ පවුල් ගැන බලන්නට නොව මාරගස කපා ඉවත් කරන්නට දෑස් අන්ධවී තිබුණ බලධාරීහු දැන් ශෝකය පලකරන්නට ‍පොර බදති.

විතුම් ජීවිතය පුදා අනතුරුදායක මාර ගස නමැති මාරයා සතුටු කළේය. නැතිවූ ජීවිතය ගැන සිතා ඉතිරි පවුල්වල සාමාජිකයන්ට හිසට සෙවනක් ලබාදීමට සිතිවිලි පහළ වුණොත්. එය පිනකි.

BBC

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...