ගුරුවරියකගේ නිවෙසට කඩා වැදී ප්‍රබල ඇමැති ගෝලයෝ යකා නටති

0
120

ගැටුමට මුල – ගුරුවරියගේ 15 හැවිරිදි
දියණිය පැහැර ගැනීමට තැත් කිරීම

හේමන්ත රන්දුණු | ‘දිවයින’

රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුවකු සහ එම ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් යෑයි කියාගන්නා පුද්ගලයන් පිරිසක්‌ මාලබේ අරංගල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ නිවසට කඩාවැදී ඇගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහර දී යකා නැටූ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ඇමැතිවරයාගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුගේ පුත්‍රයා මෙම පාසල් ගුරුවරියගේ 15 හැවිරිදි දියණිය බලහත්කාරයෙන් රැගෙන යැමට උත්සාහ කිරීමේදී ඇති වූ ආරවුල දුරදිග යැම මෙම මැර පිරිස ගුරුවරියගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහර දීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.
ගුරුවරියගේ 21 හැවිරිදි පුත්‍රයාට අමානුෂික ලෙස පහර දී ඇති ඇමැතිවරයාගේ කොන්ත්‍රාත්කරු සහ ආරක්‍ෂකයන් ඔහු අතුරුගිරිය පොලිසිය වෙත භාර දී තිබේ. ඔවුන් එම තරුණයා පොලිසියට භාර දී ඇත්තේ ඔහු තමන්ට පහර දුන් බව කියමින් ය.
ලේ ගලන තුවාල සහිතව සිටි ගුරුවරියගේ පුත්‍රයා මධ්‍යම රාත්‍රිය වනතුරුම අතුරුගිරිය පොලිසියේ රඳවා ගෙන සිට ඇත. පසුව තුවාල ලබා සිටි ගුරුවරියගේ පුත්‍රයා තලංගම රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව විමසීමට ගිය පාසල් ගුරුවරිය ද පොලිස්‌ භාරයට ගෙන පසුව ඇප මත මුදා හැර තිබිණි.
මෙම සිද්ධියට මුහුණ පෑ මාලඹේ අරංගල පදිංචි ලලනි පුෂ්පා ජයන්ති මහත්මිය මාලබේ රාහුල විද්‍යාලයේ ගුරුවරියකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති කොන්ත්‍රාත්කරුගේ පුත්‍රයා, ඔහුගේ මිතුරන් පස්‌දෙනකු සහ ඇමැති ආරක්‍ෂකයන් කීපදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සිද්ධිය පිළිබඳව ඇය ‘දිවයින’ වෙත මෙසේ ප්‍රකාශ කළාය.
මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්‌. මට පුත්තු තුන්දෙනෙකුයි, දුවෙකුයි ඉන්නවා. ලොකු පුතා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. පහර කෑමට ලක්‌වෙච්චි, දෙවැනි පුතා ගණිත ගුරුවරයෙක්‌. පෙරේදා 10 වැනිදා හවස 5.30 ට විතර මගේ පොඩි දුව (අවුරුදු 15) කෑගහගෙන ගෙදරට දුවගෙන ආවා. බස්‌ එකෙන් බහිද්දී එතන හිටපු කොල්ලො ටිකක්‌ එයාගේ අතින් ඇදලා වාහනේකට දාගන්න හැදුවා කියලා.

ඒ වෙලාවේ දෙවැනි පුතත් ගෙදර හිටියා. දුවගෙ පිටුපසින් මැරයො වගයක්‌ පන්නගෙන ආවා. ඒ වෙලාවෙ පුතා එළියට බැහැලා උන්ව පන්න ගත්තා.
මේ සිද්ධිය වෙලා විනාඩි දහයකට විතර පස්‌සේ අංක තහඩු නැති ජීප් එකක්‌ ගෙදරට ආවා. ඒකෙ ආවෙ ඇමැති කෙනෙකුට ප්‍රචාරක කොන්ත්‍රාත් වැඩ කරන කෙනෙකුයි, එයාගේ පුතයි, පුතාගෙ යාළුවෝ පස්‌දෙනෙකුයි ඇමැති කෙනෙකුගේ ආරක්‍ෂක නිලධාරියො කීපදෙනෙකුයි.

මේ අය ගෙදරට පැනලා මගේ පුතාට හොඳටම පහර දුන්නා. කීපදෙනෙක්‌ අතේ පිස්‌තෝල තිබුණා. ඒවායෙනුත් පුතාට ගැහුවා.
මගේ දුව ගේ ඇතුලෙ හැංගිලා ජීවිතේ බේරාගෙන තියෙන්නේ.
මේ මැරයො පුතාට ගහල ගහල එයාව ජීප් එකේ දාගෙන අතුරුගිරිය පොලිසියට අරගෙන ගියා. ඒ අය පුතාව පොලිසියට ඉදිරිපත් කරලා තියෙන්නේ පුතා ඒ අයට ගැහුව කියලා. මේ ගැන අහන්න ගියාම පොලිසිය මාවත් අත්අඩංගුවට ගත්තා.
මම මේ ගැන නුගේගොඩ කොට්‌ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙකුට ඊයේ පැමිණිලි කළා යෑයි මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් ගුරුවරිය කියා සිටියාය.