ඉන්දියාවේ පන්සල්වල ලංකාවේ කාසි ‘ටොන් විස්සක්’

‘පන්සල්වල් තියෙන කාසි වලින් 90% විතර ලංකාවේ, මොකද අනිත් රටවල අය එච්චර කාසි දාන්නේ නෑනේ?’
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රී ලංකාවේ කාසි ටොන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තිබීම ශ්‍රී ලංකාව තුල සංසරණය වන කාසි හිඟ වීමට එක් ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.

ඒ අතරින් කාසි විශාල ප්‍රමාණයක් බුද්ධගයාවේ තිබෙන බව දැන ගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක මුදල් ව්‍යවහාර අධිකාරී තමරා විජේසූරිය සංදේශයට කියා සිටියාය.

“අපේ නිලධාරීන් එහෙ ගිහිල්ල බැලුවම ඒගොල්ලෝ ඩොලර් වගේ මාරු කළ හැකි විදේශ කාසි අරගෙන අනිත් ඒවා ස්ටෝරුවක දල තියෙනවා වෙන් කර ගන්න බැරුව,” බවයි ඇය පවසන්නේ.

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ යෙදෙන ලාංකීය බැතිමතුන් පඬුරු ලෙසින් පූජා කරන කාසියි, මෙලෙස ඉන්දියාවේ ගොඩ ගැසී තිබෙන්නේ.

සාකච්ඡා
බුද්ධගයාවේ පමණක් ශ්‍රී ලංකාවේ කාසි මෙට්‍රික් ටොන් දහයක් පමණ තිබෙන බව බුද්ධගයා කළමනාකරණය කමිටුව තමන්ට දන්වා ඇතැයි පවසන තමරා විජේසූරිය, ඉන්දියාවේ තිබෙන කාසි සමස්තය ටොන් විස්සකට ආසන්න විය හැකි බවද සඳහන් කළාය.

“පන්සල්වල් තියෙන කාසි වලින් 90% විතර ලංකාවේ, මොකද අනිත් රටවල අය එච්චර කාසි දාන්නේ නෑනේ? අනික බෞද්ධයෝ වැඩියෙන්ම යන්නේ ලංකාවෙන් නේ?,” යනුවෙන්ද ඇය සඳහන් කළාය.

මෙම කාසි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ වන විටත් සාකච්ඡා ආරම්භ කොට ඇති බවත් අතිරේක මුදල් ව්‍යවහාර අධිකාරී තමරා විජේසූරිය සංදේශයට කියා සිටියාය.

“ඒවා ගේන්නේ කොහොමද? ගුවනින්ද? මුහුදු මාර්ගයෙන්ද? ඒකටත් ලොකු වියදමක් යනවා. ඒ සියල්ල ගැන සාකච්ඡා කරලා තමයි තීරණයක් ගන්න වෙන්නේ.”

ඉදිරියේදී මෙම තත්වය වලක්වා ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව බුද්ධ ශාසන අමාත්‍යාංශය සමඟ එක්ව ජනතාව දැනුවත් කිරීමටද කටයුතු කරමින් සිටින බවත් තමරා විජේසූරිය කියා සිටියාය.

‘නිෂ්පාදන වියදම වැඩියි’
“අපි වන්දනා නඩ අරගෙන යන කණ්ඩායම් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. පඬුරු වශයෙන් පූජා කරන්න අවශ්‍ය නම් ඉන්දියානු කාසි යොදා ගත්ත නම් ඒක ඒ පන්සල්වලටත් සෙතක් වේවි.”

මෙලෙස කාසි විවිධ ස්ථානවල එකතු වීම හේතුවෙන් විශාල මුදලක් දී කාසි නිෂ්පාදනය කිරීමටද ශ්‍රී ලංකා මහා බැංකුවට සිදු වී ඇතැයි අධිකාරිවරිය පවසයි.

“අපේ රුපියල නිෂ්පාදනය කරන්න රුපියලට වඩා වැඩි මුදලක් වැය වෙනවා,” බව පවසන අධිකාරිවරිය, කැටවල එකතු කරන මුදල් ඉක්මනින් නිදහස් කොට බැංකුවේ තැන්පත් කිරීම වඩා යෝග්‍ය ක්‍රියාදාමය බවද සංදේශයට කියා සිටියාය.

මහ බැංකු ඇස්තමේන්තු අනුව බිලියන දෙකකට අධික කාසි ශ්‍රී ලංකාවේ සංසරණය නොවී කැට සහ ලාච්චුවලට සීමා වී තිබේ.

BBC

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...