හතර අතට රැකවල්ලු. ඒත් ඔහුට නෑ බාධාවක්. රටේ පළමු පුරවැසියා වෙත එල්ලවන ඔහුගෙ කැමරාව, නිදහසේ කි‍්‍රයාත්මක වෙනව.
ජනාධිපතිවරයකුගෙ අභිමානය, තේජාන්විත බව, සියුම් ඉරියව් ඒ කැමරා කාචයෙ සටහන් වෙන්නෙ බොහොම සීරුවට.
අපූරු රාජකාරියක්. රටේ නායකයා යන යන තැන ඔහුත් එතැන.
එක අතකට, ලෝකෙ පුරා එහෙම කරක් ගහන්න ලැබෙන්නෙ මොන ජගතටද…
සුදත් සිල්වා, ඒ වාසනාව නිබඳ අත්විඳින කෙනෙක්. ඔහු ජනාධිපති නිල ඡායාරූප ශිල්පියා නිසා.
අපේ රටේ එහෙම තනතුරක් ඇරැඹෙන්නෙ ඔහුගෙන්. අදත් එම තනතුරේම රැඳෙන කාර්ය බහුලම ඡායාරූප ශිල්පියත් ඔහු.
ඒ විතරක් නෙවෙයි, ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප හා වීඩියෝ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ උපදේශක ලෙසත් ඔහු මත්තෙ විසල් වගකීමක්.
ජනාධිපතිවරු හතර දෙනෙක් සහ අගමැතිවරු තිදෙනකුගේ නිල ඡායාරූප ශිල්පී ලෙස ගත කළ ඒ ජීවිතයට දැන් විසිපස් වසරක්.
ඔය කාරණාවලටම, සුදත් අපට සුවිශේෂි වන තවත් හේතුවක් එකතු වෙනව.
ඔහු එක ඉත්තක සුපිපි මලක්.
ඡායාරූප ශිල්පී පවුලක සාමාජිකයෙක්. ඔහුගෙ සීයා – තාත්තා සහ සොහොයුරාත් ඡායාරූප ශිල්පීන්.
සීයා, සොයිසා රාජපක්ෂ. තාත්තා, ගුණසිරි සිල්වා. මල්ලි විජිත් සිල්වා.
ඡායාරූප කලාවෙ දැවැන්තයන් ව ගුණසිරි – සුදත් – විජිත් නම් කියැවුණත්, ඒ අතීතය පටන් ගැනෙන්නෙ සීයාගෙන්.
අපේ රටේ ඡායාරූප කලාවෙ අනාදිමත් කාලෙක, සුද්දගෙ යුගයෙ ‘ප්ලාටේ’ කොම්පැණිය තිබුණෙ කොළඹ වරායට පේන දුරින්.
සුදත්ගෙ සීයා, ‘ප්ලාටේ’ කොම්පැණියෙ ඡායාරූප ශිල්පියෙක්. පොටෝ ගන්න විතරක් නෙවෙයි, ඊට අදාළ සියලුම රසායනාගාර කටයුතුවල නියැළුණේ සුද්දො එක්ක. හරි හරියට.
සුදත්ල සීය කිව්වෙ ආච්චිගෙ මල්ලිට. ගුණසිරිගෙ නම් මාමා. සුදත්ලගෙ ඔය සීයා, තමන්ගෙ අක්කගෙ පුතු ගුණසිරි කෑම පැයේදි සාප්පුවට ගෙන්ව ගන්නව.
කෑම පැය, සුද්දො එහාට මෙහාට වෙන වෙලාව. කැමරාවක් අල්ලන හැටි, පොටෝ ගන්න හැටි, ඒවා සුද්ද කරන හැටි, මුද්‍රණය කරන හැටි, ටච් කරන හැටි ඔය වගේ ඡායාරූප කලාවට අයිති හුඟක් දේ සොයිසා, ගුණසිරි පුතුට කියල දුන්නෙ කෑම පැයේදි.
කිතුල්වත්ත ගෙදර ඉඳන් ගුණසිරිත් එනව වෙලාව අල්ලල.
ඒත් හැමදාම කරන්න පුළුවනැයි, මේ සෙල්ලම…
මාමා කියා දෙන මූලික දේ ඇසුරෙ ගුණසිරි හැම දේම අල්ලාගන්නව. බොහොම ඉක්මනින්.
ඩොනල්ඩ්ස්, හෙලන්ස්, ජීවනී, ලංකා පොටෝ වගේ ප‍්‍රධාන පෙළේ ඡායාරූපශාලා කිහිපයකම වැඩ කරපු ගුණසිරි, ඉස්සරෝම තමන්ගෙ කියල සාප්පුවක් පටන් ගත්තෙ රාජගිරියෙ. ඒ 1972 දි. ඒත් දවසක තමන්ගෙම ඉඩමක ඔහු පොටෝ සාප්පුවක් අරිනව. ඒ, 1982 වසරෙ පිටකොටුවෙ.
”තාත්තා කාලයක් ඇත්ත පත්තරේ ඡායාරූප ශිල්පියා. වමේ දේශපාලකයන් ඇසුර තමයි තාත්තා පි‍්‍රය කළේ. ඒත් වැඩිකල් පත්තර රස්සාව කළේ නෑ. ‘බොක්ස්’ කැමරාවෙන් තමයි ඔය ඔක්කොම විස්මකර්ම වැඩ කළේ.
අපි පුංචි කාලෙ තාත්තා අපිට කැමරා හුරු කළා. ගෙදරදිත් සාප්පුවෙදිත් හැම වෙලාවෙම අපි දැක්කෙ කැමරා ආම්පන්න එක්ක ඔට්ටුවෙන තාත්තා. විජිත් මල්ලියි මායි උනන්දුයි කියල දැනගත්තම ඒ ශිල්පයට අදාළ හැම දේටම අපිව හුරු කළා. අත්දැකීම් දුන්නා.
එක කාලයක් තිබුණ, ෆිල්ම් රෝල් නෑ. පේපර්ස් නෑ. කෝටා එකක් ලැබෙන්නෙ.
තාත්තා මාව යවනව, කොල්ලුපිටියෙ තිබුණු වෘත්තීය ඡායාරූප ශිල්පින්ගෙ සමූපකාර සමිතියට. පැය ගාණක් පෝළිමේ ඉඳලයි මං කෝටා එක ගෙනියන්නෙ…”
ඒ ලබපු අත්දැකීම් ඡායාරූප කලාවෙ යහ මගකට පාර කිව්ව මිස කවදාවත් වැරදුණේ නෑ කියලයි සුදත් කියන්නෙ.
ගුණසිරිට දරුවො හය දෙනෙක්.
දයා හේමලතා වැඩුමල් දූ. සරත් සිල්වා ලොකු පුතු. සුදත් උපන්නෙ පවුලෙ තුන්වැනිය විදියට. විජිත් ඊළඟට. රංජනි සහ චිත‍්‍රානි ඊළඟ දූල. මේ දරු හය දෙනාම ඡායාරූප කලාව දැන උගත්තට ඒ, තම වෘත්තීය කරගත්තෙ සුදත් සහ විජිත්.
”ඒ කාලෙ ෆ්ලෑෂර් නෑ. ෆ්ලෑෂ් බල්බ් එකක් දාපුවම පොටෝ 4 යි ගන්න පුළුවන්. 120 කියන රෝල් වර්ගය දාපුවම පොටෝ 12 යි ගන්න පුළුවන්.
මගුල් ගෙදරක උපරිම ගන්නෙ පොටෝ 24 යි. ඒත් කළු සුදු. කළුවර කාමරේක තියාගෙන තමයි ඔක්කොම කළේ. ඡායාරූපයෙ අඩුපාඩු හැදුවෙත් පින්සලෙන් නැති නම් පැන්සලෙන්, අතින්. මඟුල් ගෙදරක වුණත්, විශේෂ උත්සවයක් වුණත් තාත්තගෙ කැමරා බෑග් එකත් එල්ලගෙන අපි දෙන්න තමයි උදව් කාරයො දෙන්න හැටියට යන්නෙ.
හැම උත්සවයකටම ඊට අදාළ ආවේණික බවකුත් එක්කයි ඡායාරූප ගන්නෙ. ඒ ගමන්වලදි අපි හුඟක් දේ තාත්තගෙන් ඉගෙන ගත්තා. එතැනින් නවතින්නෑ. ඒ පිංතූර ටික මුද්‍රණය කරන කල්ම තාත්තා අපිව සහභාගි කරව ගන්නව.
බොක්ස් කැමරාවෙන් පටන් ගත්තම, මිලි මීටර 35, මිෂිටා, යෂිකා.. ඔය කොයි කැමරාවෙනුත් අපි වැඩ කළා…”
සුදත් අයියට වගේම ඒ ලබපු අත්දැකීම් මහා අත්වැලක් වුණා කියලයි විජිත් කියන්නෙ.
ඒ අපේ රටේ ප‍්‍රවීණ ඡායාරූප ශිල්පි ලැයිස්තුවේ, ගුණසිරි සිල්වා ඉදිරියෙන්ම හිටි යුගයක්.
ගම් උදාවෙන් රට පිබිදෙමින් තිබුණෙත් ඔය කාලෙ. ගම් උදාවෙ ඡායාරූප ගැනීමේ කොන්තරාත්තුවක් ගුණසිරි සිල්වට ලැබෙනවා.
ගම්මානෙක පෙර සොබාව, එහි ගෙවල් හැදෙන හැටි, නිවාස ඉදිවූ පසු… පියවරක් ගානෙ ඡායාරූප ගතකොට, රණසිංහ පේර්මදාස අගමැතිවරයාට ලැබෙන්න සැලැස්වීමයි, ගුණසිරිට පැවරුණු රාජකාරිය.
තාත්තා මේ වැඩේට යනකොට උදව්වට ගියේ සුදත්, ලොකු පුතු.
ඉඳිහිට තාත්තා එක්ක ගියත්, බොහෝ වෙලාවට සාප්පුව බලාගත්තෙ විජිත් පොඩි පුතු.
රට පුරා ඇවිදින මේ වැඩේ ගැන සමහර දවස්වල සුදත්ට දැනුණෙ මහ කම්මැලිකමක්.
“දවස් කීපයක් එහෙම නොගිහින් ඉන්න කොට පේර්මදාස අගමැති තුමා තාත්තාගෙන් මං ගැන අහල.
‘මොකද ගුණසිරි, පුතා දැන් පේන්න නැත්තෙ…’ කියල. තාත්ත ඕක ඇවිත් කිව්වම මට පොඩි ගැම්මක් ආවා.
ගණන් ගන්නෑ වගේ හිටියට මං ගැන අගමැතිතුමාට මතකනෙ කියල. ඊට පස්සෙ මං ආයෙමත් තාත්ත එක්ක දිගටම වැඩවලට ගියා.
මං ගන්න පිංතූර එතුමට පෙන්වන්න ඇල්බම් හදල බාර දුන්නත් ඒව කවදාවත් එතුමගෙ අතට ගිහින් තිබුණෙ නැහැ. ඔය ගැන මං කියවන කොට තාත්ත කිව්වා,
“පොඩි ඇල්බම් එකක් හදාගෙන පාන්දර 4 ට සුචරිතයට යන්න. එතන මිනිස්සු පෝලිමේ ඉන්නව, අගමැතිතුමා හමුවෙන්න. ඔයත් පෝලිමේ ගිහිං ඕක අතටම බාරදෙන්න…” කියල.
මං එහෙම කළා. හැබැයි එදයින් පස්සෙ එතුමට මගේ ඡායාරූප ගැනිල්ල ගැන අවබෝධයක් ඇති වුණා.
එතකොටත් අගමැති නිල ඡායාරූප ශිල්පී කියල තනතුරක් අපේ රටේ තිබුණෙ නැහැ. එතුමට නිල ඡායාරූප ශිල්පියෙක් අවශ්‍ය වුණු වෙලාවෙ, මාව මතක් වෙලා. ‘ගුණසිරිගෙ පුතෙක් ඉන්නව මේ වැඩේට සුදුසු. හොයල බලල පත්කරන්න…’ කියල ප‍්‍රවෘත්ති ලේකම්ට කියල තිබුණ…”
1984 අපේර්ල් 01 වැනිදා, සුදත් අපේ රටේ පළමු අගමැති නිල ඡායාරූප ශිල්පියා විදියට පත් වුණේ ඔය විදියට.
එහෙම පටන් ගත් වෘත්තිය ජීවිතේ, රණසිංහ පේර්මදාස, රනිල් වික‍්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ අගමැතිවරු තිදෙනාගේත්, රණසිංහ පේර්මදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරු හතර දෙනාගේත් නිල ඡායාරූප ශිල්පී ලෙස ආ ගමන, වෙලාවකට ඔහුටත් පුදුමයි.
ජනාධිපතිවරයෙකුගෙ ඡායාරූප ශිල්පියා වීමේ බැරෑරුම් කම, සුදත් පළමු වරට අත්වින්දේ රණසිංහ පේර්මදාස හිටපු ජනාධිපතිවරයාගෙන්.
පේර්මදාස ජනාධිපතිවරයා දවසක් ඔහු වේදිකාවක දණ ගැස්සුව.
“ඒ මුල්කිරිගල අතුරුමැතිවරණයෙදි. එතුමා වේදිකාවෙ ඉඳගෙන. මහා සෙනඟක් ඉස්සරහින්. මම හිටියෙ වෙන තැනක.
මට පණිවුඩයක් ආවා, ජනාධිපතිතුමා මාව හොයනව කියල. මං ගියා ළඟට. “කොහෙද අයිසෙ පිස්සු බල්ල වගෙ දුවන්නෙ… දණ ගහනව ඔතනින්…” මාත් පුටුව ළඟ දණ ගැහුව. ඊට පස්සෙ එතුම මට කනට කරල කියනව, ‘ගන්නව හොඳ පිංතූරයක්, ඔය මහ සෙනඟ සේරම අල්ලල…’ කියල.
ඇත්තටම ඒක හොඳ කෝණයක්. පිංතූර ගැනිල්ල ගැන එතුමට තිබුණෙ හොඳ අවබෝධයක්…” ඔය කියන ඡායාරූප කලාවේ ඉව, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් තියෙනව කියලයි සුදත් කියන්නෙ.
“ඇත්තටම එතුමා මට ඡායාරූප මවල දෙනව. කියන්න හසුරුවන්න වෙන්නෙම නැති තරම්.
ජනතාව අතර හැසිරෙද්දී හිතාගන්න බැරි මානුෂීය – කලාත්මක ඡායාරූපවලට එතුම ප‍්‍රස්තුත හදල දෙනව. ඡායාරූප ශිල්පියෙකුට ඒක හරි පහසුවක්…”
කොයි පාට නායකත්වයට ආවාත්, සුදත් ගැන තිබුණෙ පැහැදීමක්.
ඒ පැහැදීම සහ විශ්වාසයමයි, ඔහු ගොඩ නඟා ගත් ධනයත්.
“රාජ්‍ය නායකයන් ළඟ වැඩ කරද්දී පළමු දේ විනය. විශ්වාසය. රාජකාරියෙ රහස් ගෙදරදිවත් නොකියන එක මගෙ ප‍්‍රතිපත්තිය. අනෙක හාම්පුතා විවේචනය නොකරන එක.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මාව පත්කර ගනිද්දී මගෙන් ඇහුවෙ එක දෙයයි.
“ඔයා රනිල් වික‍්‍රමසිංහගෙ පිංතූර ලස්සනට ගත්තට, මගේ පිංතූර කැතට ගන්නෑ නේද…” කියල. එතුමා අගමැතිවරයා කාලෙ ගොඩ නැඟුණු විශ්වාසය මතයි, මං අදත් රැඳීල ඉන්නෙ…”
විශ්වාසය සහ විනය දැඩි ලෙස සැලකූ පේර්මදාස ජනාධිපතිවරයා, මිය ගිය මොහොතේ සුදත් හිටියෙ එතුමා ළඟ. පේන දුරින්.
මහා දුම් වළාව… කම්පනය මැද තත්පර කීපයක් ගත වෙන්න ඇති.
“‘ඔය පිංතූර ටිකක් ගහන්න විගහට…’ කව්දෝ කියනව ඇහුණ. මං අඩ සිහියෙන් වගේ හතර අතේ පිංතූර ගත්ත. සුද්ද කරල බලද්දියි දන්නෙ, අනේ මං අරන් තියෙන්නෙ මියගිය ජනාධිපතිතුමාගෙ පිංතූර බව.
මං එතුමගෙන් හුඟක් දේ ඉගෙන ගත්ත. අනෙක් ජනාධිපතිවරු ළඟ වැඩ කරද්දි, මගේ අඩුපාඩු අවම කරගන්න, ඒව මට අත්වැලක් වුණා…”
ඒ අත්දැකීම්වලට තවත් වටිනාකමක් එකතු වුණේ ජපානයේ නිකෝන් ආයතනයට ලැබුණු දෑවුරුදු ශිෂ්‍යත්වය නිසා.
1996 දී සුදත් ජපානය ගියේ මුල්ලේරියාව ජාතික ළමා අධ්‍යාපන පදනමෙන් පිරිනමපු ඒ ශිෂ්‍යත්වයෙන්.
ඔහු පළමුවරට පිටරටකට ගියේ 1986 වසරෙ. ඒ, පේර්මදාස ජනාධිපතිවරයා සමඟ රුමේනියාවට.
“යන්න කලින් කිව්වා, හවස ගන්න පිංතූර පහුවදා පාන්දර හතර වෙනකොට ජනාධිපතිවරයාට පෙන්වන්න ඕන කියල. අද වගේ ඊමේල්, පරිගණක පහසුකම් මුකුත් නැති කාලයක්. මං ටිකක් කල්පනා කළා. තාත්ත කිව්වා,
“කිසිදේකට බය වෙන්න එපා. කළු කොළ ටිකක් අරගෙන යන්න. ඔයා නවතින හෝටල් කාමරයේ බාත්රූම් එකේ අලවල, ඩාක් රූම් එකක් හදාගන්න කියල. මට පොඩි ‘රෂියන් එන්ලාජර්’ එකකුත් ගෙනැත් දුන්නා.
අවශ්‍ය කෙමිකල්, දළ සේයාපට සියල්ල අරගෙන ගිහින් තාත්ත කියපු විදිහටම කළා. පහුවෙනිදා පාන්දර පිංතූර පෙන්වන්න මුළු රෑම වැඩ කළා…”
සුදත්ගෙ ඒ කැපවීම අපතේ නොගිය බව කියන්න තවත් මොන සාක්ෂිද…
මේ වෙනකොට රාජ්‍ය නායකයන් සමඟ ඔහු සංචාරය කළ රටවල් ගණන සියයකටත් එහා. මේ ඔහුගෙ නම වැනි විදෙස් ගමන් බලපත‍්‍රය.
සුදත් තම කාර්යාලයෙ හැදුව අපූරු ලයිබ‍්‍රරියක්.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන ජීවිතේ සහ අගමැතිවරයාව සිටි කාලයේ පටන් අද දක්වා හැම සිදුවීමකටම අදාළ ඡායාරූප එකතුවකින් මේ ලයිබ‍්‍රරිය පොහොසත්.
ලංකාවෙ සියලුම පුවත්පත්වලට සහ ලොව ඕනෑම වෙබ් අඩවියකට මේ පිංතූර අවශ්‍ය මොහොතක යවන්න ගත වෙන්නෙ විනාඩි ගණනක් කියලයි සුදත් කියන්නෙ.
“සමහර විට මේ මං වැඩකරන අන්තිම රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්. විශ‍්‍රාම ගිය දවසක කරන්න ලොකු වැඩක් මට තියෙනව.
මගේ තාත්තා හරි ආසාවෙන් හිටියා, අංගසම්පූර්ණ ඡායාරූප පාඨශාලාවක් අපේ රටේ පටන් ගන්න. ඒත් තාත්තට ඒක කරන්න බැරි වුණා. අතීතයේ පටන් අද දක්වා අපි දැන උගත් දේ ඇසුරින් තව දක්ෂ ඡායාරූප ශිල්පීන් පරපුරක් බිහි කිරීමයි මගෙත් ආසාව. විශ‍්‍රාම ගිය දවසක මං ඒ දේ කරනව…”
සුදත්ගෙ හීනෙට අපිත් සුබ පතනව.
මේ වෙනකොට මඟුල් ගෙවල් 25000 කට එහා ඡායාරුවට නඟා ඇති විජිත්, අදත් අවශ්‍ය මොහොතක අයියගෙ උදව්වට එන්න දෙවරක් හිතන්නෑ.
ජනාධිපති ඡායාරූප ශිල්පී තනතුරේ උන්නත්, ඉඳහිට හෝ මංගල ඡායාරූප ගන්නයි සුදත්ගෙ ආසාව.
“ඒ සොඳුරු ඡායාරූප කලාවට මං තවමත් ආසයි…”
සුදත් ගෙ බිරිඳ, මල්කාන්ති ප‍්‍රියදර්ශනී. ඔහුගෙ ඡායාරූප ශාලාවෙ බොහෝ කටයුතු කෙරෙන්නෙ ඈ අතින්.
චාමිකා, සුදත්ගෙ වැඩිමල් දූ. උසස් පෙළ පන්තියේ. ගිත්මි දෙවැනි දූ. සාමාන්‍ය පෙළ පන්තියේ. මේ දෙන්නත්, විජිත් ගෙ දූ ඉරූෂිත් තුන් දෙනාම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ.
උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන රනූෂ සහ සාමාන්‍ය පෙළ හදාරණ සචින්, විජිත් ගෙ පුතුන් දෙදෙනා. ඔවුන් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ.
සද්නා නිල්මිණි, විජිත් ගෙ බිරිය.
මේ හැමෝම තමන්ගෙ ඡායාරූප කලාවේ කාර්ය බහුලකම හොඳින් තේරුම් අරගෙන කියලයි, සුදත් – විජිත් දෙන්නම කියන්නෙ.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප – ගීත් ද මෙල්