සුපර් ස්ටාර් යුගයක අමුතුම දිසාපාමොක්

මට ආපහු ටියුෂන් යන්න හිතුණා..

එහෙම හිතුණේ පහුගිය සෙනසුරාදා 23 වැනිදා. ඉතින්, මම ටියුෂන් පන්තියකට ගියා.

ටියුෂන් කියන්නේ මහා හිසරදයක් නේද? අනෙක ටියුෂන් පන්ති සහ ටියුෂන් ගුරුවරුන් ගැන අපේ රටේ තියෙන්නේ ඒතරම් සුබවාදී දැක්මක් එහෙමත් ‍නෙවෙයි.

කොහෙන් හරි විභාග ප්‍රශ්න ටිකක් පන්නලා පන්තියේදී ආලවට්ටම් කතා ටිකක් කියලා, දරුවෝ හිනස්සලා, මවුපියන්ගේ ඉණ ඉහ අතගා ගන්නා පිරිසක් හැටියටයි බොහෝ දෙනා ටියුෂන් ගුරුවරු ගැන හිතන්නේ. ඒ මදිවාට තමන්ගේම සිසු දරු – දැරියන් අපයෝජනයට ලක් කළාය කියන කතාත් ඕනෑ තරම් අද අහන්න ලැබෙනවා. එහෙව් එකේ ආපහු ටියුෂන් යන්න හිතන්න තරම් කාරණාව මොකක්ද?

“අද කා‍ලේ දරුවන්ට පුරුදු කරලා තියෙන්නේ ගීත ගයන්න, නැටුම් නටන්න, ඒ මගින් එක රැයින් තරු බවට පත් වෙන්න. ඒ වගේ වැඩවලට ලක්ෂ ගණනින් ගෙවනවා. වියදම් කරනවා. ගෙවල් දොරවල් යාන වාහන දෙනවා. ඉතින් දරුවොත් හිතනවා ඉගෙන ගෙන මොන ඵලයක්ද? මේවනේ වැඩ කියලා. මට ඕනෑ වුණා. ඒ ආකල්පය බිඳින්න. දරුවන්ව නැවතත් අධ්‍යාපනය කරා යොමු කරවන්න. ඒ සඳහා ඔවුන්ගේ උනන්දුව වැඩිවෙන විදියේ ආදර්ශයක් දෙන වැඩක් කරන්න.”

මේ කතාව කියන්නේ ගිණුම්කරණය පිළිබඳ පන්ති පවත්වන ගුරුවරයෙක්. නමින් කුමුදු ලියනගේ. උපාධිය සම්පූර්ණ කරලා තමන්ගේම කළමනාකරණ ආයතනයක්ද පවත්වා ගෙන ගිය ඔහුට තමන් සතු දැනුම අපේ දරුවන්ට දෙන්න වුවමනාවක් ඇති වුණා. ඒ අනුව ඔහු තීරණය කලා පන්ති පවත්වන්න. නොසිතූ විරූ විදිහට ඔහුගේ පන්ති සාර්ථක වුණා. බොහෝම විනය ගරුක විධියට දරුවන් ගැන සොයා බලමින් විෂය සඳහා උනන්දු කරමින් පැවැත් වූ මේ පන්තිවලදී විභාග ප්‍රශ්න කලින් හොරකම් කර දීම වගේ ජයග්‍රහණයේ කෙටි මාර්ග ඔහු පෙන්වා දුන්නේ නෑ. දැනුමින් සන්නද්ධව නියම සටනක් දීලා ජය ලබන හැටියි ඔහු කියා දුන්නේ. ඉතින් මේ නිසාම ආරම්භක වසරේ සිටම ඔහුගේ පන්තිවලට ආ දරුවෝ සාර්ථක ජයග්‍රාහකයෝ බවට පත් වුණා. ලංකාවෙම පළමු තැනටත් ආවා. මෙන්න මේ අතරෙදී තමයි ඔහුට අර මුලින් කියපු අදහස හිතට ආවේ.

කිසිම කාලෙක ටියුෂන් ගුරුවරයෙකු තියා අම්මා තාත්තාවත් හිතන්නෙවත් නැති විදියේ අපූරු අභියෝගයක්. ඒ අනුව ඔහු 2012 උසස් පෙළට පන්ති ආ දරුවන්ට දුන්නා අපූඍු තෑග්ගක්. ඒ තමා කෙනෙකුට ඇදහිය නොහැකි අන්දමේ තෑග්ගක්, තමන්ගේ පන්තිවලට සහභාගි වන දක්ෂතම දරුවකුට පිරිනමන බවට වූ ‍පොරොන්දුව.

ගුරුවරයා කියන්නේ ආදර්ශමත් චරිතයක්. හොඳින් හිතා බලා වචන භාවිතා කරන, කියූ වචනයක් දුන් ‍පොරොන්දුවක් වෙනස් නොකරන තැනැත්තෙක්. දරුවන් කෙරේ වූ කරුණාව, මෛත්‍රිය, මුදිතාව වගේම, උපේක්ෂාවත් සහිතව කටයුතු කරන අයෙකි.

ඒ අනුව 2012 වසරේ තමන්ගේ පන්තිවලට සහභාගි වී ඉහළම ලකුණු ලබාගත් වාණිජ විෂය ධාරාවේ මුල්තැන දිනාගත් දැරිවියකට ඔහු තමන් ‍පොරොන්දු වූ ත්‍යාගය පසුගිය සෙනසුරාදා (23) නොපැකිලව පරිත්‍යාග කළා.

සාමාන්‍යයෙන් මේ කා‍ලේ කිසිම කෙනෙක් කරන්නට නොහිතන අන්දමේ සුපිරි පරිත්‍යාගයක් වූ මේ තෑග්ග වූයේ ලක්ෂ 40ක් වටිනා අලුත්ම අලුත් හොන්ඩා හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක්.

මේ ඇදහිය නොහැකි තෑග්ගේ හිමිකාරිය වූයේ 2012 වසරේ වාණිජ විද්‍යා විෂය ධාරාවෙන් ලංකාවේ පළමු වැනියා බවට පත් වූ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සෙෂානි දිලූපමාලා ගුණතිලක සිසුවියයි. ඇයට මේ තෑග්ග උතුම් තෑග්ගක් වගේම ඇගේ ජීවිතයේ අමතක නොවන තෑග්ගක් බවට පත් වූයේ එය හිමිවූ දිනය ඇගේ උපන් දිනයද වූ නිසයි.

පි අහල තියන විදියට නම් බොහෝම ඉස්සර කා‍ලේ දිසාපාමොක් ඇදුරුතුමාගෙන් ශිල්ප ගන්න ගිය දරුවෝ ඔහුට අත්පා මෙහෙවර කරමින් බොහෝ දුකසේ තමා ශිල්ප ලබා ගත්තේ. ශිල්ප ලබා ගත් පසුව ඔවුහු දහසිින් බැඳි පියල්ලෙන් දිසාපාමොක් ඇදුරුටයි තෑගි ලබා දෙන්නේ. ඒත් අපේ කාලයේ මේ දිසාපාමොක්වරයා තමන්ගේ සිසු දරුවන්ගේ දක්ෂතාවය ඇගැයූවේ ඇදහිය නොහැකි මට්ටමේ ත්‍යාගයක් පිරි නමමින්.

‘මම මේ ආරම්භ කරපු දේ ඉදිරියට ගෙන යන්නයි බලා‍පොරොත්තුව. ඉදිරියේදී මේ වගේ දක්ෂතා පෙන්වන දරුවන්ට ඉහළට ඉගෙන ගන්න අවශ්‍යනම් පිටරටකට ගිහින් හරි පාඨමාලාවක් හදාරන්න අවශ්‍ය පහසුකම් ආර්ථික ආධාර සපයන්නයි මගේ බලා‍පොරොත්තුව.

tushan5

අපේ කා‍ලේ මේ අමුතු ආකල්ප ඇති දිසාපාමොක්වරයා අප හා කීවේ සතුටින් දිලිසෙන දෑසින් යුතුවයි. ඔහුගේ දැස සතුටින් දිලිසුණේ ඇයි? තමන් දත් ශිල්පය අඩු ලුහුඬු නැතිව බෙදා දී එයින් ජය ලබන දරුවන් දෙස සැබෑ ගුරුවරයෙකු සතු දයාබර හැඟීමෙන් බැලීමට තරම් මානුෂික ගුණයක් ඔහු සතුවූ නිසයි. තමන් දුන් යහපත් ‍පොරොන්දුවක් ඉටු කරන්නට ලැබුණු සතුට නිසයි. කළු පැල්ලම් තැවරුණු උපකාරක පන්ති සහ ටියුෂන් ගුරුවරුන් හට විතරක් නොවෙයි. දරුවන් ලවා චොකා බයිලා නටවා ඔවුන් නිකමුන් බවට පත් කරන ඉවක් බවක් නැති සමාජයට ආදර්ශයක් දෙන්නටද ඔහුට හැකි වූ නිසයි. ඉතින්, ටියුෂන්

නොයා කොහොමද? මේ වගේ ආදර්ශමත් වැඩ ගැන අපේ බහුතරයකටම ටියුෂන් දිය යුතු කාලයයි මේ.

සුගත් පී. කුලතුංග ආරච්චි
lakbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...