සෑම සතියේ දිනකම උදේ 9 පමණ වන විට ඔහු ඉතා කාර්යබහුල ය. එවිට ඉඟටියේ ටයර් ටියුබයකි. ඇඳුම සිලි මල්ලක ය. සීතල බොර වතුර කාන්දු නොවීම සඳහා ඔහු එය වැරෙන් ඉහළට ඔසොවාගෙන සිටියි. ඊටත් ඉහළින් ඔහුගේ ඉරුණු සපත්තු දෙක ය. පමා නොවී පාසල් යා යුතු නිසා හැකි ඉක්මනින් ගඟෙන් එතෙර විය යුතු ය.
එහා ඉවුරට ගොඩවන ප්‍රාථමික පාසල් ගුරුවරයා එහි සිට තෙත ඇඳුම් උනා දමයි. ඒ ඇඳුම කෙටි රෙදි කඩකට වඩා වැඩිමනත් දෙයක් නොවේ. ඉක්බිති ඔහු සරල ගුරු ඇඳුම ඇඳ ගනියි. ඊටත් පසු තවත් විනාඩි දහයක පමණ කාලයක් හෙළක් දිගේ නගියි. පාසල හමුවන්නේ එවිට ය. තමන් එන තෙක් මඟබලා සිටින උනන්දුජනක පොඩි මුහුණ රැස හමුවන්නේ එවිට ය.
දුප්පත් කම නමැති දුකෙන් මිදෙන එකම මඟ අධ්‍යාපනය යැයි ඔහු ඒ පුංචි ජීවිතවලට කියා දී තිබේ. තමන් මේ තරම් දුර ගෙවා, ගඟෙන් ද පිහිනා ඔවුන් වෙත එන්නේ එනිසා යැයි ද ඔහු කියා තිබේ. එනිසා උන්ගේ මුහුණු දකින සඳ ගුරුවරයාගේ සරතැස නිවෙයි.
ඒ හතලිස් හැවිරිදි අබ්දුල් මලික් ය. ඔහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මලප්පුරම් හි ප්‍රාථමික පාසල් ගුරුවරයෙකි. අන්ත දුප්පත් දරුවන්ට උගන්වන දුප්පත් ගුරුවරයෙකි. එහෙත් ඒ සිතේ පොහොසත් කම හැඳීන්නෝ කවරහුද?
ඉන්දියාවේ NDTV පුවත් සේවයට මුලින්ම ඔහු ගැන ඉව වැටුණේය. ඔහුගේ විශේෂය දුටුවේය. ඔහු වෙනුවෙන් ඔවුහු ‘‘ගඟ හරහා පිහිනන ගුරුවරයා’ යනුවෙන් ශීර්ෂපාඨ යෙදුවෝය. පසුව අන්තර්ජාතික පුවත් සේවාවන් ද මේ ‘චරිතය’ වෙනුවෙන් සිය ඉඩ වෙන් කළේය. එවන් එක් පුවත් සේවයක් ඔහුව විස්තර කළේ, ‘‘ඔහුව සිය ගෝලයන්ගෙන් වෙන් කරන්නට ගඟකට පවා නොහැක’’ යනුවෙනි.
ගිනි ගහන අව් කාශ්ටකයෙන් වේලෙන්නට උරුම දිනයක පවා, උදෑසනට ආවේණික ගති ලක්ෂණ හේතුවෙන් ගං දිය සීතල ය. ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 12 කි. ඒ දුර බසයකින් ගමන් ගන්නට පැය තුනක කාලයක් ගත වේ.
‘‘මම පැය කාලෙන් එහා ඉවුරෙ. ඒක ලේසියි. ඉක්මන්’’ යැයි ඔහු ජයග්‍රාහී ලෙසින් ඒ කියන්නේ කාලය ගැන ම නොවේ. ඉන්දීය රුපියල් විසිපන්දහසක් ගුරු වැටුප ලෙස ලැබෙන බව සැබෑවක් නමුත් ඉන්දියාවේ බොහෝ ගුරුවරුන්ට මෙන්ම ආර්ථිකය ඊට වඩා කවදත් ඔහුට ප්‍රහාරාත්මක ය.
ඒ හැරුණු විට අබ්දුල් මලික් දැඩි පරිසර හිතකාමියෙකි. දහදිය දුගඳ මැද තෙරපෙමින් යන බස්රියේ ගමන වෙනුවට නදිය තෝරාගැනීම සඳහා එය ද එක් හේතුවකි. තවද ඔහු පිහිනීමට විශේෂයෙන් කැමති ය. විසි අවුරුද්දක් පුරා සේවය කරන පාසලේ සිය දරුවන් ටද ඔහු පිහිනීම උගන්වයි. ඒ පාසලේ පිහිනුම් තටාකය අන් කිසිවක් නොව දිනපතා ඔහු එතෙර වන ගඟ ම ය. ඒ නදියේ කසළ කැලැතෙන බව ඔහු දන්නේ අත්දැකීමෙනි. එහෙත් සිය දරුවන් ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාවට වඩා වෙනස්ව, මතුයම් දිනෙක නදී දිය සුරකිනු ඇතැයි අපේක්ෂා පුංජයක් ද ඔහු සිත දැල්වෙයි.
සිලිකන් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කරන පරිදි අබ්දුල් මලික් පාසලේ ඉතා ජනපි‍්‍රය හිත හොඳ ගුරුවරයා ය. පසුගිය වසරේ සැප්තැම්බර් 5 වැනිදාට යෙදී තිබූ ගුරු දිනයේදී ඔහු පාසලේ විශේෂ හරසර ද ලැබුවේය. දුප්පත් දරුවන්ගේ ඒ හරසර වූයේ සිනා කැකුළු සහ ස්තූති කිරීමේ කාඩ්පතකි. එය සිය ජීවිතයේ අමතක නොවන දිනයක් යැයි අබ්දුල් මලික් පවසයි.
ඔහුගේ පන්තියේ ඉගෙන ගන්නා සත් හැවිරිදි ජාන්ගීර් ගෙන් එන්ටීවී පුවත් සේවය, වැඩිහිටියන් විසින් මේ ලෝකයේ ළමයින්ගෙන් වැඩිපුරම අසා ඇති ප්‍රශ්නය හෙවත් ලොකු වුණාම මොනවද කරන්නෙ කියා ඇසුවේය. පොඩි එකා හීනි ලැජ්ජාවකින් හිනා වුණේය.
‘‘ලොකු වුණාම මම මලික් මාස්ටර් වගේ වෙනවා” යැයි ඊළඟ ඇසිල්ලේ ඒකා කීවේය.