අදට යෙදෙන පොංගල් උත්සවය

දමිළ මාස ක්‍රමය අනුව වසරේ පළමුවන මාසය “තෛ” යනුවෙන් හැදින්වේ. සෑම වසරකම පළමුවන මාසයේ යෙදෙන “තෛපොන්ගල් උත්සවය” හින්දු බැතිමතුන්ගේ විශේෂ උත්සවයකි. හිරු හෙවත් සූර්යයාට ප්‍රණාමය දැක්වීම මෙම උත්සවයේ අරමුණයි. මෙම වසරේ අද දිනට තෛපොන්ගල් උත්සවය යෙදෙනු ලැබේ. හින්දු බැතිමතුන් විසින් මෙම උත්සවය ඉතා විශිෂ්ඨ ලෙස චාරිත්‍ර වාරිත්‍ර අනුව සිදු කරයි.
භාරතයේ හිරු දෙවියන් ඇදහීම ක්‍රිස්තු පූර්ව 2000 ත් 3000 ත් අතර පිහිටි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දී ද දක්නට ලැබෙන බැවින් තෛපොන්ගල් උත්සවයේ ආරම්භය ඒ යුගයේදී සිදු වූ ලෙස ට මත පළ වේ. ඒ අනුව බලන කළ ඉන්දියාවේ උත්සව අතරින් පැරණිතම උත්සවය තෛපොන්ගල් උත්සවයයි.
වසරක් පුරා හිරු තමන්ගේ ජීවනෝපාය සදහා ශක්තිය සපයමින් බවභෝග සම්පත් දියුණු කර දෙමින් කළ සේවයට කෘතගුණ පූර්වක ප්‍රණාමය පුද කිරිම මෙම උත්සවයේ එක් අරමුණක් වෙයි. අනෙක් අරමුණ වනුයේ හිරු දෙවිදු සතුටු කොට ලබන නව වසරේදීත් පෙර වසරේදී මෙන් ම තමන්ගේ කටයුතු සාර්ථක කර ගනිමින් සශ්‍රිකත්වයෙන් සෞභාග්‍යයයත් ලබා ගැනීම සදහා හිරු දෙවියන්ගේ පිහිට පතා සිටීමය.
අදට යෙදෙන මෙම උත්සවය සදහා හින්දු බැතිමත්තු දින ගණනක සිට ම සූදානම් වෙති. ගේ දොර පවිත්‍ර කරති. නිවසේ අඩුපාඩු සම්පූර්ණ කොට නව මුහුණුවරක් ගෙන දෙති. මෙම බැතිමතුන්ගේ විශේෂ ගෞරවාදරයට පත්වන්නේ හිරු සහ ගවයා ය. ගව සම්පත හින්දුන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූවකි. ශිව දෙවිදුන්ගේ වාහනය ලෙස සැලකෙන ගවයා තම ජීවනෝපාය සරිකර ගැනීමේ ආධාරකරුවෙකු ලෙස නොව තමන්ට සමාන වූ ගෞරවනීය කොටස් කරුවෙකු ලෙස සැලකීමට ඔවුහු පුරුදුව සිටිති.
අද දිනයේ එම උත්සවය සමරන නිවැසියෝ උදෑසනින් අවදි වෙති. ස්නානය කොට පිරිසිදු වී සිය නිවස පවිත්‍ර කොට හිරු දෙවියන්ට තම නිවසට පැමිණෙන ලෙස ඇරයුමක් ලෙසින් විචිත්‍රවත් ලෙස සැරසිලි කරති. වරිණවත් කළ සහල් පිටි, කහ කුඩු යොදා ගනිමින් සුදුසු ස්ථානයක “කෝලම්” නම් විචිත්‍රවත් රටා පොළොව මත නිර්මාණය කරති. මෙම රටාව මැද පුන්කලස, පොල්තෙල් පහන් තබති. පොල්තෙල් පහනින් නිවසේ සියලු දුක් දෝෂාන්ධකාර නිමාවී ගොස් නව ආලෝකයක් උදාවීමත් පුන් කළසින් සියලු යස ඉසුරු ළගා විමත් සංකේතවත් කරයි.
හිරු උදාවන මොහොත අදට යෙදෙන තෛපොන්ගල් උත්සවයේ සුවිශේෂ නැකතයි. ඒ මොහොතේ නිවසෙහි දොරටුව අසල නැගෙනහිර දෙසට මුහුණලා තැනු ළිපක් මත කිරි ඉතිරවිම කරයි. “පොංගල් බත” මෙම චාරිත්‍රවාරිත්‍ර අතර සුවිශේෂි තැනක් ගනී. මුං, තල, හකුරු සහ එළකිරි යොදා ඉතා රසවත්ව පිසිමින් මෙම බත සකස් කරනු ලබන්නේ නිවසින් පිටතදී ය. වසරක් පුරා තමන්ට දැක්වු අනුග්‍රහයට කළ ගුණ සැලකීමක් ලෙස සිරු දෙවිදුන්ට එම කිරි ආහාරය ප්‍රමුඛකොට පුද පූජා පැවැත්වේ. හිරු වෙනුවෙන් විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම තෛපොන්ගල් දිනයේදී ප්‍රධානත්වය දරණ අතර “මාට්ටු පොන්ගල්” ලෙස හැදින්වෙන දෙවන දිනය වෙන් වන්නේ ගවයින් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ය. ගව ගාල පිරිසිදු කිරීම සැරසිලි කිරීම වැනි කටයුතු ඒ අතර ප්‍රධාන වෙයි.පිරිසිදු කළ ගව ගාල මැද උයන තල- කජු ආදියෙන් රසවත් තළ පෝෂණිය කිරි බතක් හා රසකැවිලි ආදී ආහාර පාන ගවයින්ට වැළැදවීම ද මෙදින චාරිත්‍ර වෙයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...