රාජිත සේනාරත්න මහතා , පවුලේ සාමාජිකයන් සිව්දෙනා ඇතුළු 14 දෙනකුට ලබන අප්‍රේල් 02 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරයි

-සිය වැඩිමහල් පුතු වන එක්‌සත් සේනාරත්න විසින් පාසල නිම වී නිවස බලා යමින් සිටි ගැහැනු ළමයකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස්‌ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සිව්දෙනා ඇතුළු 14 දෙනකුට ලබන අප්‍රේල් 02 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඊයේ (20 දා ) නියෝග කළේය. පැහැර ගැනීමට ලක්‌ වී ඇති දිනිති ආලේකා රණසිංහ මෙනවියගේ මවුපියන් වන පොල්හේන්ගොඩ ලයනල් එදිරිසිංහ මාවත පදිංචි ගාමිණී රණසිංහ මහතා හා දමිනි රොද්‍රිගෝ මහත්මිය ඉල්ලීමක්‌ කරමින් ගොනු කරනු ලැබූ පැමිණිල්ලක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් විනිසුරුවරයා එලෙස නියෝග කළේය.

ඇමැති සේනාරත්න මහතාගේ පුත් එක්‌සත් සේනාරත්න ඉකුත් වසරේ පෙබරවාරි 24 දා පාසල නිම වී නිවස බලා එමින් සිටි දිනිති ආලේකා දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවත්, ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇය මාදිවෙල ළමා රක්‍ෂණ අධිකාරිය භාරයට පත් කළ බවත් කියා සිටින පැමිණිලිකරුවන් පසුව දියණිය ඇගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදී නැවත පැහැර ගෙන ගොස්‌ ඇති බවත් කියා සිටී.
වෛද්‍ය රාජිත සේනාරත්න, ඔහුගේ බිරිඳ වෛද්‍ය සුජාතා සේනාරත්න, ඔවුන්ගේ පුතුන් වන එක්‌සත් සේනාරත්න හා චතුර සේනාරත්න ඇතුළු පුද්ගලයන් 14 දෙනකුත් නීතිපතිවරයා සහ පොලිස්‌පතිවරයාත් වගඋත්තරකරුවන් කරමින් මෙහි පැමිණිල්ල ගොනු කර ඇත. පැහැර ගැනීමට ලක්‌ වී ඇති සිය දියණියව අධිකරණය හමුවට කැඳවන ලෙසට ඉල්ලා සිටින පැමිණිලිකාර යුවළ ඇය පැහැරගෙන ගිය අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට නියෝග කරන ලෙස ද සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටී.

සිය දියණිය දෙවැනි වර පැහැර ගැනීමට ලක්‌ වූ පසුගිය වසරේ අප්‍රේල් 06 වැනිදා ඒ පිළිබඳව පිළියන්දල පොලිසියට පැමිණිලි කළ ද ඔවුන් නීතිය ක්‍රියාත්මක නොකළ බව ද පවසන පැමිණිලිකරුවන් පැහැර ගෙන යැම පිළිබඳව කාන්තා හා ළමා කාර්යාංශයට මෙන්ම පොලිස්‌ මූලස්‌ථානයට පැමිණිලි කළත් මේ වන තෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු බව ද දන්වා සිටී.

දියණියගේ පැහැරගෙන යැමෙන් තමන් දැඩි මානසික හා කායික පීඩාවට ලක්‌ව ඇති බව ද දේශපාලන බලපෑම් හේතුවෙන් නීතිය සාධාරණ අයුරින් ක්‍රියාත්මක නොවූ බව ද පෙන්වා දෙන පැමිණිලිකරුවන් දියණියව අධිකරණය හමුවට ගෙන්වා ඇය පැහැර ගෙන ගිය අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට නියෝගයක්‌ නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද පවසයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...