මීට අවුරුදු හත අටකට ඉස්සර දී තමයි නුවන් අපට මුලින්ම හමුවුණේ. ඒ වෙද්දි නුවන් හිටියේ දෑස් අන්ධ තරුණයෙක් විදියටයි.
එදා නුවන් අම්මත් එක්ක ඇවිත් අපෙන් පුංචි ඉල්ලීමක් කළා. ඒ තමන්ගේ නොපෙනෙන ඇස්දෙක සුව කරගන්න උදව් කරන්න කියලයි.
එදා නුවන්ගේ පෙනීම ලබා ගත හැකි ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබුණා. ඒ ඉන්දියාවේ සංකර නේත්‍රාලය රෝහලින්. මේ රෝහල පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවරයි.
කෙසේ හෝ අවසානයේදී නුවන් ප්‍රසාද් ගැන අප අනුවේදනීය සටහනක් තැබුවා. එයින් පසුව නුවන්ට මේ ශල්‍යකර්මය සිදුකරගන්න අවස්ථාව ලැබුණා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරාවි නුවන්ගේ ඇස් අන්ධ
භාවයට පත්වුණේ කොහොමද… කියලා. ඒක තමයි මේ කතාවේ තිබෙන අනුවේදනීයම දෙය.
ආර්ථික අපහසුකම් මැද ජීවත් වුණු නුවන් බියගම ආයෝජන කලාපයේ රැකියාවට එද්දි වයස අවුරුදු 22 ක් විතර ඇති. එහි පිහිටි පෞද්ගලික ආයතනයකට ඇතුළත්ව සේවය කළ නුවන් ප්‍රසාද්ට ආදර වන්තියක් එහෙම හිටිය.
“ඇත්තටම මම ඒ වෙද්දි කොළඹ පෞද්ගලික ආයතනයකත් විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කළා. ඒ කාලයේදි තමයි මට ඇයව මුණ ගැසුණේ. ඊට පස්සේ අපි ආදරයෙන් බැඳුනා.”
කාලයක් මෙහෙම ගෙවී යද්දී තමයි නුවන් ඇයගේ ඉල්ලීමට අනුව බියගම ආයෝජන කලාපයේ රැකියාවකට ආවේ. “මෙහෙම ඉන්නකොට ඇයට මා ගැන සැකයක් හට ගත්තා. ඒ මම වෙනත් ගෑනු ළමයෙක් එක්ක යාළුයි කියලා.”
“කොහොම හරි මේ සැකය නිසා අපි අතර නොයෙකුත් වාද විවාද ඇතිවුණා.” අවසානයේදී ඇය මගෙන් පළිගත්තේ මේ ලෝකේ කිසිම ආදරවන්තියක් නොකරන විදිහේ මාර්ගයකට පිවිසිලයි.
තමන්ට ලබාගන්න බැරි දෙයකට ලෝබ හිතුණාම බොහෝ අය කරන්නේ ඒවා විනාශ කරන්න කටයුතු කරන එකයි. සැබෑ ආදරය තුළ එහෙම දුෂ්ට සිතුවිලි නැති වුණත් නුවන්ගේ පෙම්වතිය ඒ වෛරී මාර්ගයට පිවිසුණා. ඇය ඇසිඩ් බඳුනක් රැගෙන මග රැක හිටියා. ඊළඟට අනපේක්ෂිතව නුවන් ඉදිරියට ඇවිත් ඒ ඇසිඩ් බඳුන නුවන්ගේ මුහුණට දමලා ගැහුවා.
“මේ සිදුවීමෙන් මගේ ඇස් දෙකම නොපෙනී ගියා. ඇය දස වසරකට සිරගෙදරට නියම වුණා.” හිරගෙදරට ගිය ඇය මේ සිදුවීමෙන් පසුතැවිල්ලට පත්වෙන්න ඇති. මෙවැනි කෲර තීරණයකට පැමිණීම පිළිබඳවත් ඇය දුක් වෙන්න ඇති. ඒත් නුවන්ට එයින් පෙනීම ලැබුණේ නැහැ.
“මම අවුරුදු එකහමාරක් ගෙදරට වෙලා දුක් වෙවී හිටියා. මගේ අනාගත ජීවිතය ගැන හුඟාක් දුක් වුණා.” මේ සිද්ධිය වෙද්දී නුවන්ගේ තාත්තා ආගිය අතක් නැතිව අතුරුදන් වී සිටියා. ගෙදර හිටියේ අම්ම එක්ක නංගියි මල්ලියි විතරයි.
“ගෙදර වැඩිමහල් දරුවා හැටියට මට යුතුකම් ගොඩාක් ඉටුකරන්න තිබුණා. ඒත් අන්තිමට මම අසරණ වුණා. මගේ අම්ම මහ පාරට බැහැල මා වෙනුවෙන් ආධාර එකතු කරන්න පවා පෙළඹුණා. ඒ මාව කොහොම හරි සුවකරගන්න ඕන කියලා හිතලා.
අවසානයේදී නුවන් ඉන්දියාවේ ගියා. එහෙම ගිහින් එක් ඇහැක පෙනීම ලබාගත්තා. ඒ සංකීර්ණ සැත්කමකින් පසුව. “එදා මගේ එක් ඇසක පෙනීම ලබා ගන්න ශල්‍යකර්ම හතක් කළා. මගේම කටේ උඩු ඇන්දේ දත් දෙකක් ගලවල ඒ දත ඇහැ ඇතුලේ බද්ධ කරලා ඊට උඩින් ඇසේ සිවිය හැදුවා. ඇත්තම කියනවා නම් ඒ ශල්‍යකර්මය එක් ඇහැකට හොඳටම සාර්ථක වෙලා මට පේන්න ගත්තා.
දැනට වුණත් මම තනිවම ඇවිදින්නේ එහෙම හදපු ඇස ප්‍රයෝජනයට අරගෙනයි” නුවන් ප්‍රසාද් මේ ශල්‍යකර්මයෙන් වසර 7ක් පමණ පෙනීම ලැබුවා. ඒත් මෑතක සිට යළිත් ඒ පෙනීම තිබුණ ඇස දුර්වල වෙන්න පටන් ගත්තා.
අන්තිමට මම යළිත් වෛද්‍ය උපදෙස් ලබා ගත්තා. එහිදී දැනගත්තා බද්ධ කළ දත දියවී යන බව. දැන් යළිත් ඒ ඇස ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයි. ඒ සඳහා ඉන්දියාවටම යන්න ඕන.
මේ වෙනුවෙන් නුවන්ට රුපියල් ලක්ෂ 3 ක පමණ මුදලක් සොයාගන්න වෙලා. ඇත්තටම දැන් ඒ උදව්ව ලබාදෙන්න වෙන්නෙ මේ සටහන කියවන ඔයගොල්ලන්ටම තමයි.
“මම ජීවත් වෙන්නේ රැකියාවක් කරලා. ඒ මේ පෙනීම තියෙන ඇස ප්‍රයෝජනයට අරන්. දැන් මට පෙනීම නැති වුණොත් ඒක කරගන්නත් බැරි වෙනවා.
“ජීවිතේ බොහෝ දේ මට නැති වුණා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ අම්මා බලාගෙන ඇය ළඟින් ඉන්න එක විතරයි. ඒක කරගන්න නම් මම මේ ශල්‍යකර්මය කරගත යුතුයි.” නුවන් අපිත් එක්ක අවසන් වශයෙන් කිව්වා.