වීරයෙක් වෙන්න නියම වෙලාවට යන්න

අහස බබළන්නේ සඳ නිසාය. ගන අන්ධකාරය දුරලන්නට එක පුන් සඳක් වුව ප්‍රමාණවත්ය. තරු අතර පුන් සඳක්ව ගන අන්ධකාරය දුරැලූ ගුණ නැණ බෙලෙන් යුතු පුන් සඳක් වන් පුතෙක් ඊයේ අහසින් බැස ගියේය. ඒ පුතු අහසින් බැස යද්දීත් සඳ එළිය අහසේ ඉතිරි විය. සඳ එළිය අහසට දී බැස ගිය සඳ අන් කවරකුත් නොව ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටිනා මහේල ජයවර්ධනය. ඔහු ගෞරවාන්විතව අහසින් සමුගත් පුන් සඳක් බවට කළ හඳුන්වාදීමට කිසිවකුත් මා සමඟ උරණ නොවනු ඇත. මහේල අහසෙහි ඉතිරි කර තබා ගිය සඳ එළිය යට හිඳිමින් නික්ම ගිය සඳ ගැන සටහනක් තබන්නට මට සිතෙයි.

මෙය මහේල ජයවර්ධන නම් වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා පිළිබඳ සමාලෝචනයක් නොවන බව පළමුව කිව යුතුය. මහේල පුන් සඳක් වන්නේත් මහේල ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් බැස ගියත් ඔහුගේ වටිනාකම තවදුරටත් ක්‍රිකට් පිටියේ ශේෂ වන්නේත් එක් සුවිශේෂ කරුණක් නිසා බව මම විශ්වාස කරමි. එළිය අහසේ ඉතිරි කර තබා සඳ බැස යන න්‍යාය හරියටම ඉගෙන ගන්න නම් මහේලගේ ක්‍රිකට් ජීවිතය ඉතාම හොඳ පූර්වාදර්ශයකි. ඔහු ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන්නේ ව්‍යාපාරිකයන්ට, වෘත්තිකයන්ට පමණක් නොව ඕනෑම මනුෂ්‍යයකුට වුව තමන් ගත කරන ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්නේ කෙසේද කියන පාඩම කියාදෙන ගමන්ය.

අතහැරීම, නික්ම යෑම, ඉවත්වීම ආදී කිනම් නමකින් හැඳින්වුවද කවදා හෝ මේ තීරණය ගැනීමට අප කාටත් සිදුවේ. අප රැකියාවකට ගියත් සේවයෙන් ඉවත්විය යුතුයි යන තීරණය ගැනීමට දිනයක් එළැඹේ. අප ආහාරයක් ගත්තත් දැන් ඇති කියා සෑහීමට පත්විය යුතු අවස්ථාවක් එළැඹේ. අප කිසියම් නිලයක් දැරුවත් දැන් ඇති මේ නිලය තවත් කෙනකුට භාරදිය යුතුයි කියා තීරණය කළ යුතු දිනයක් එළැඹේ. අප ක්‍රීඩාවක් කළත් දැන් විශ්‍රාම ගත යුතුයි කියන නිගමනය ගත යුතු දිනයක් උදාවේ. අතහැරීම යනු කවදාකම හෝ උදාවන සදාතනික සත්‍යයකි. නමුත් වඩා වැදගත් වන්නේ ‘අතහැරීම’ කියන නිගමනයටත් වඩා අතහරින්නේ කුමන කාලයේදීද කියන ගැටලුවය. අතහැරීම සිදු කළ යුත්තේ තමන් සිටින තලයෙන් උපරිම තලයට පැමිණියාට පසුවය. ඕනම දෙයක සාර්ථකත්වය, මුදුන, එසේත් නැතිනම් උපරිමය, අත්හැරීම කියන නිගමනයට එළැඹීමට ඇති සුදුසුම කාලය බව මහේල ක්‍රියාවෙන්ම ප්‍රත්‍යක්ෂකර පෙන්වීය.

‘අපරාදේ… මහේලට තව ටිකක් කල් සෙල්ලම් කරන්න තිබුණා.’ මහේල ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනාගෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි. ‘ඇයි මහේල මේ තරම් ඉක්මන් තීරණයක් ගත්තේ? ලකුණු අතර ඉන්න වෙලාවක ටෙස්ට් පිටියට සමුදෙන්න තීරණය කිරීම හරිම අපරාධයක්. මහේලගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය දෙස බලා සිටි බොහෝ ක්‍රිකට් විස්තර විචාරකයන් කීවේ එලෙසය. කවුරුන්් මොනවා කීවත් සාර්ථකත්වයේ හිණිපෙත්තේ සිටියදීම මහේල සිය තීරණය වෙනස් නොකෙළේය. මහේල ටෙස්ට් පිටියෙන් සමුගන්නා අවසන් තරගයේ ප්‍රේක්ෂකයකු ලෙස නරඹන්නන් අතර සිටි මට ඔහුගේ නික්ම යෑම සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ තිබුණ අදහස් දැනගන්නට ලැබිණි. සමුගන්න මොහොතේ පවා මහේල තුළ වූ ක්‍රීඩා විලාසයද සියැසින්ම දැකගන්නට ලැබිණි. විශිෂ්ටයකු ලෙස නික්ම යා යුත්තේ කෙසේද යන කාරණයට උදාහරණයක් සපයමින් මහේල ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නට තීරණය කළේ එලෙසය. ඔහුගේ නික්මයෑම දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන් අතරටද වේගයෙන් ඇදී ගියේ ඒ සමුගැනීමට ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබුණ නිසාය.

ක්‍රීඩාපිටියේදී දිගින් දිගටම අසාර්ථක වන තත්ත්වයක් තුළ මහේල මේ තීරණය ගත්තා නම් අපි ඔහුගේ නික්ම යෑම මේ තරම් ගැටලුවක් කර නොගන්නට ඉඩ තිබිණි. මහේල ටෙස්ට් පිටියට සමු දෙන්නේ ඔහු පිළිබඳ මතකය අමරණීය කරමින්ය. ක්‍රිකට් එපා වී හෝ නරඹන්නන්ට ක්‍රිකට් එපාවෙන තුරු බලා නොඉඳ ඔහුට ඔල්වරසන් නැඟෙන වකවානුවකදීම ඔහු නික්මයෑමේ දැඩි තීරණය ගත්තේය. දැන් මහේල ටෙස්ට් පිටියේ රැඳී සිටි කාලය තරමටම, නැතිනම් ඊටත් වඩා ප්‍රබලව ඔහු ටෙස්ට් පිටියෙන් සමුගත් දිනය ප්‍රේක්ෂකයාට මතකය.
වටිනාකම ඉතිරි කර, කතාකරන්න බොහෝ දේ ඉතිරි කර ඔහු තමන්ගේ වෘත්තියට ගෞරවාන්විතව සමු දුන්නේය.

1997 අගෝස්තු 02 දින ටෙස්ට් වරම් ලබන මහේල සමුගන්නා විට ටෙස්ට් තරග 149කට ක්‍රීඩා කර තිබිණි. ක්‍රිකට් පිටියේදී තැබිය යුතු වාර්තා පිළිබඳ සිහියට ගත්තා නම් මහේලට ටෙස්ට් තරග 150 දක්වා යෑමට හොඳටම ඉඩකඩ තිබිණි. එසේ වූවානම් ටෙස්ට් තරග 150ක ක්‍රීඩා කළ ලංකාවේ පළමු ක්‍රීඩකයා වන්නේද ඔහුය. එපමණක් නොව මහේලගේ ඉක්මන් තීරණය නිසා ටෙස්ට් තරගයකදී ලකුණු ලබා ගැනීමේ දළ වේගය (Average) 50% බවට පත් කර ගැනීමේ අවස්ථාවද ඔහුට අහිමි විය. සමුගන්නා මොහොතේ එම අගය සටහන් වූයේ 49.84ක් ලෙසය. මේ තීරණය නිසා මහේලට ටෙස්ට් ලකුණු 12,000 සම්පූර්ණ කළ පළමු ලාංකික ක්‍රීඩකයා වීමේ අවස්ථාවද අහිමි විය. ටෙස්ට් ලකුණු 11,814ක් ලබා තිබුණු ඔහුට එම ඉලක්කය සම්පූර්ණ කරගැනීම සඳහා තවත් ඉතිරිව තිබුණේ ලකුණු 186ක් පමණි. මේවා ඔහුට සමුගැනීමේ තීරණය නොගෙන සිටියානම් පහසුවෙන්ම ළඟාවිය හැකිව තිබුණ වටිනාකම් කිහිපයක් පමණි. ක්‍රිකට් ක්‍රීඩකයකු වටා වටිනාකම් ගොඩනැඟෙන්නේ එවැනි අභියෝගාත්මක සීමාවන් පසු කළ විටය. නමුත් ඒ සියලු වටිනාකම් පසෙකලා මහේල ටෙස්ට් ජීවිතයට සමුදීමට තීරණය කළේය.

මහේලගේ ක්‍රීඩා විලාසය දෙස බැලූවිට ඔහුට තව අවුරුදු කිහිපයක් කිසිදු ගැටලුවකින් තොරව ටෙස්ට් කීඩා කළ හැකිව තිබුණ බව සහතිකය. ආරම්භයේදී ඔහු තුළින් අප දුටු ක්‍රීඩා විලාසයම සමුගන්නා මොහොතේද ඔහු තුළ රැඳී තිබිණි. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවාගේ දක්ෂතාව මැන බලන ප්‍රධාන නිර්ණායකයන් ලෙස Timing (කාලය මැන බැලීම) හඳුන්වා දිය හැකිය. විස්තර විචාරකයන් ‘කල්යල් මැන බලා එල්ල කළ පහරක්’ යනුවෙන් කියන්නේ ක්‍රීඩකයාගේ Timing විශිෂ්ට වූ විටය. පන්දුව පිත්තට ලබා ගන්නා කාලය මෙහිදී විස්තර කෙරේ. පිතිකරණ තාක්ෂණයෙන් ඉදිරියෙන්ම සිටින මහේල Timing අතින්ද ඉදිරියෙන්ම සිටින්නෙකි. අද මම මේ ලිපිය ලියන්නේ ඔහු පිතිකරුවකු ලෙස සිදුකළ කාලය මැන බැලීම ගැන කියන්නට නොව පිටියට සමුදීමේදී සිදුකළ කාලය මැන බැලීම ගැන කියන්නය.

සාමාන්‍යයෙන් කිසියම් පුද්ගලයෙක් ආයතනයකින් හෝ කිසියම් වෘත්තියකින් ඉවත්වන වෙලාව තීරණය කරන ක්‍රම දෙකක් තිබේ. තමන්ම ඒ තීරණය ගැනීම ඉන් පළමුවැන්නයි. දෙවැන්න වන්නේ තමන් නොවන වෙනත් කෙනකු ඒ තීරණය ගැනීමයි. ආයතන කළමනාකාරිත්වය තමන්ගේ සේවකයන්ට යන්න කියන අවස්ථා සේම ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන්ට නවතින්න කියන අවස්ථාද අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. මහේල ඒ තීරණය තමන් ගත යුතු බවට තීරණය කරන්නේ ඒ නිසාය.

ඔහු මහත්මා ක්‍රීඩාවේ නියැළී මහත්මයෙක් විය. දැන් ඔහු මහත්මා ක්‍රීඩාවට මහත්මා ලෙස සමුදුන් ශේ‍ර්ෂ්ඨකයෙක් වෙයි. මහේල සෑම තරාතිරමකම සිටින සෑම පුද්ගලයකුටම වටිනා පාඩමක් උගන්වා තිබේ. ඕනෑම කෙනෙක්ට ඉවත් වන්න හොඳම වෙලාව තමා සිටිනා ක්‍ෂේත්‍රයේ මුදුනේ සිටින වෙලාවය. මීට සමාන පිළිගැනීමක් අලෙවිකරණයේදීද භාවිතයට ගැනෙයි. සාමාන්‍යයෙන් කිසියම් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් පාරිභෝගික ඇල්ම අඛණ්ඩව තබා ගැනීමට නම් ඒ නිෂ්පාදනය වරක් පාවිච්චි කළ පමණින් “තව පාවිච්චි කරන්න තිබුණානම්” කියන හැඟීම ඇති විය යුතුය. පාවිච්චි කළ පමණින්ම “අපෝ ආයෙත් නම් එපා” කියන සිතිවිල්ල පහළ වනවා නම් එම නිෂ්පාදනය නැවත අලෙවි කිරීම ගැටලුකාරීය. පාරිභෝගිකයා භාණ්ඩයක් හෝ සේවාවක් වැලඳගන්නේ ඔහුට ඒ දෙය එපා නොවන තරමටය. අද අප මහේලව වැලඳගන්නේද ඔහු අපට එපා වන තුරු නොසිට අවශ්‍යම මොහොතේ අපට සමු දුන් නිසාය.

මහේල ආරම්භයේ සිටම තීරණ ගැනීමට පමාවූ පුද්ගලයෙක් නොවේ. 2012 වර්ෂයේදී ගාල්ලේ පැවැති තරගයේදී ඔහු ලකුණු 91ක් ලබාසිටියදී දැවී යන්නේ උඩ පන්දුවක් ලබා දීම නිසාය. ඒ අවස්ථාවේ විනිසුරුතුමා දැවීයෑමක් බවට තහවුරු කර නොතිබියදී පවා මහේල ක්‍රීඩාගාරයට යෑමේ තීරණය ගත්තා මට මතකය. එදා ඔහු ගත් තීරණය අගයමින් එම අවුරුද්දේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ‘වසරේ ගුණගරුකම ක්‍රීඩකයා’ යන සම්මානයද මහේලට පිරිනැමීය.

ඉවත් වීමේ තීරණය හරිම වෙලාවට නොගත්විට පුද්ගල ප්‍රතිරූපවලට අත්වන ඉරණම අතිශය භයානකය. 1969දී ලිබියාවේ බලය අල්ලන ගඩාෆි මුල්කාලයේ ජනප්‍රසාදයට පත් නායකයෙකි. නමුත් වසර 40 වඩා බලයේ සිටීම නිසා ඔහුට ජනතා අප්‍රසාදය මැද මහමඟ මිය යන්නට සිදුවිය. මයිකේ‍රාසොෆ්ට් සමාගම සාර්ථකත්වයේ හිණිපෙත්තේ තිබියදී බිල් ගේට්ස් සමාගමෙන් ඉවත්වීමේ තීරණය ගත්තේය. ඒ 2008 වර්ෂයේදීය. ඔහු පූර්ණ කාලීනවම සිය වෘත්තීය ජීවිතයෙන් මෙසේ සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 53ක් පමණි. බිල්ගේට්ස් ඉවත්වීමට ගත් හදිසි තීරණය ඔහුව ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයකු බවට පත් කළේය. වීරයෙකු වන්නට අප කරන වැඩම පමණක් ප්‍රමාණවත් නොවේ. වැඩ යනු වීරයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකමක් පමණි. මහේලද තමන්ට පැවැරුණ වෘත්තිය අකුරටම ඉටු කළ ක්‍රීඩකයෙකි. නමුත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයකු වන්නේ ඉවත්වීමේ තීරණය කල්යල් මැන බලා ගත් නිසාය. මහේලගේ සමකාලීන පාසල් මිතුරකු ලෙස අද දින මා ඔහු ටෙස්ට් පිටිය හැර යෑමේ කනගාටුව අමතක කර ඔහුගත් තීන්දුවට ආචාරකරන්නේ ඒ නිසාය.

වාසනා සුරංගිකා විතානගේ

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...