පසුගියදා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් තිලකරත්න ඩිල්ෂාන් සමග, “ලක්බිම” ඉරිදා සංග්‍රහය වෙනුවෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක කැළුම් ශ්‍රීමාල් විසින් පවත්වන ලද සාකච්ඡා ඇසුරින් පළ කෙරුණු ලිපි පෙළේ අවසන් කොටසයි මේ. බිරිඳ මංජුලා ගැන, ආදරය ගැන, යාන වාහන ගැන, නපුරුකම් කළ අය ගැන, ව්‍යාපාරික කටයුතු ගැන, ඩිල්ස්කූප් පහර ගැන බොහෝ අප්‍රකට තොරතුරු මෙහිදී ඩිල්ෂාන් ‘ලක්බිම’ පාඨකයින් වෙනුවෙන් හෙළි කරයි.
මට මතකයි වරක් ඔබ පැයට කි.මී. 147ක වේගයෙන් එවපු පන්දුවකටත් ඩිල්ස්කූප් පහරක් එල්ල කළා…… මිෂෙල් ස්ටාට්ගෙ පන්දුවකට. ඔහු ඒ පහරින් මොන තරම් අන්ද මන්ද වුණාද කිව්වොත් කේන්තියෙන් ඔබ සිටින තැනට ඇවිත් මොනවද කියනව වගේ අපිට පෙනුණා……මොනවද ඇත්තටම එදා ඔහු කිව්වෙ?
ඔව්, ඔහු කේන්තියෙන් මගෙ ළඟට ආව. ඇවිත් මගේ දිහා බලාගෙන හිටිය. නමුත් කිසි දෙයක් කිව්වෙ නැහැ. සමහර විට මොනව කියන්නද කියල හිතාගන්න බැරුව යන්න ඇති. ඔහු කොහොමටවත් හිතන්න නැතුව ඇති අච්චර වේගෙන් එවපු පන්දුවට මම ඩිල්ස්කූප් පහරක් එල්ල කරයි කියල. මොකද ඒක හුඟක් අනතුරුදායක නිසා.
කඩුලු රකින්නා පවා ඔළුවට අත තියාගත්ත නේද?
ඔව්…… ඒ විතරක් නෙවෙයි. ක්‍රිකට් විස්තර විචාරය කර කර හිටපු අය පවා ඒ ගැන මහත් පුදුමයෙන් කතා කළා. මම පසුව හුඟක් ආසාවෙන් ඒ විස්තරයට සවන් දුන්නා.
ඩිල්ස්කූප් පහර නිසා ඔබ සිත් වේදනාවට පත්වුණු අවස්ථාත් තිබුණු බව මා අසා තිබෙනවා?
ඔව් , එහෙම අවස්ථා තිබුණා. සමහර අය මේ පහරට මගේ නම දැම්මටත් කැමැත්තක් දැක්වුවෙ නැහැ. ඔවුන් ඒ ගැන ඒ විදියට විරුද්ධත්වය දක්වන කොට මට ලොකු සිත් වේදනාවක් දැනුණ. අපේම සමහර අය එහෙම කරද්දි, මම මෙතැනදි හුඟක් ගරු කරනව එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක නසීර් හුසේන් වගේ අයට. ඔහු දැන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙක්. ඇත්තටම ඔහු තමයි මුල්වරට මේ නම දාමු නේද කියල මගෙන් ඇහුවෙ. ඔහුත් විස්තර විචාරයේ යෙදුන එක් තරගාවලියකදි මම දිගටම මේ පහර එල්ල කළා. අවසානයේ ඔහු මාව ඉන්ටවීව් කරද්දි ඇහුව මේ පහරට තවම නමක් නැහැ, අපි නමක් දාමු නේද කියල. ඒ වෙනකොට ඔවුන් අන්තර්ජාලය හරහා ක්‍රීඩා ලෝලීන්ගෙන් විමසලා තිබුණා මේකට ගැලපෙන නමක් ගැන. ඒ අතරින් ඔහු මට නම් පහක් විතර යෝජනා කළා. අන්තිමේ අපි මේ නම හොඳයි කියල තීරණය කළා.
ක්‍රිකට් වලින් පොඩ්ඩක් වෙන පැත්තකට ගිහින් අපි ඔබේ පවුල් ජීවිතය ගැනත් ටිකක් කතා කරමු. මංජුලා ඔබේ ජීවිතයට එක් වුණාට පස්සෙ ඔබ වඩාත් සාර්ථක වුණා කියල හිතනවද?
ඔව්……අනිවාර්යයෙන්ම මම ඒ ගැන විශ්වාස කරනව. ඇය හමුවුණාට පස්සෙ මගෙ මනස හුඟක් නිදහස් වුනා. අර කතාවක් තියෙනවනෙ හැම සාර්ථක පිරිමියෙක් පිටුපසම යහපත් බිරිඳක් ඉන්නව කියල. මම හිතන්නෙ මා සම්බන්ධවත් ඒ කතාව සියයට සියයක් නිවැරදියි කියලයි. ඇය ඒ බව ඉතා හොඳින් ඔප්පු කර පෙන්වා තිබෙනව.
ඔබේ කටයුතු වෙනුවෙන් ඇය බොහෝ දේවල් කැප කළා කිව්වොත් නිවැරදියි?
ඔව්…..ඒක සම්පූර්ණ ඇත්ත. අපි විවාහ වෙන දවස්වල ඇය කලා ක්ෂේත්රයේ ජනප්‍රිය චරිතයක්. ඇයට වෙනම ගමනක් තිබුණා. නමුත් මංජුලා ඒ සියල්ල කැප කරල මගේ සාර්ථකත්වය වෙනුවෙන් ඉදිරිපත් වුණා.
ඇත්තටම ඇය මට බිරිඳක් විතරක් නොවෙයි. වෙලාවකට මිතුරියක්, වෙලාවකට මවක්, සහෝදරියක්, මේ හැම ආකාරයකින්ම ඇය මගේ කටයුතුවලට සහයෝගය ලබා දෙනව. ඇත්තම කිව්වොත් මංජුලා මුණගැහුණු එක මගේ ජීවිතයේ ලබපු ලොකුම වාසනාවක්.
අනික ඇය ඉතාම නිහතමානී කාන්තාවක්. අනික නිතරම මගේ කටයුතු අගය කරමින්, මා කෙරේ විශ්වාසයෙන් කටයුතු කරන කෙනෙක්. ඒ අනේයාන්‍ය අවබෝධය ඉතාම වැදගත්. මොකද අපි වැඩි කාලයක් පවුලෙන් වෙන්වෙලා, පිටරටවල කාලය ගතකරන්නෙ. ඉතින් අනේයාන්‍ය විශ්වාසය හා අවබෝධය නැත්නම් හැම දෙයක්ම අවුල් වෙන්න පුළුවන්.
සමහර අවස්ථාවල මම තරග දෙක තුනක් එක දිගට අසාර්ථක වුණොත් ඇය සේරම වැඩ නවත්තලා වහාම මම ඉන්න රටට එනවා. ඇවිත් මාත් එක්ක කතා කරලා මගේ මානසික තත්ත්වය හදලා මාව දිරිමත් කරනවා.
වරක් මට මතකයි ඉන්දියාවෙ පැවති ටෙස්ට් තරගාවලියකදි මම මුල් තරග දෙකේදී අසාර්ථක වෙලා, මානසික කඩා වැටීමකට ලක්වෙලා, හුඟක් කලකිරීමට පත් වෙලා හිටියා. ඒ වෙලාවෙ මංජුලා ඉන්දියාවට ඇවිත් මා එක්ක කතා කරලා, මගේ හිත හදලා මාව ධෛර්යමත් කළා. තුන්වැනි ටෙස්ට් තරගයේදි මට ශතකයක් ලබා ගන්න පුලුවන් වුණා. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මංජුලා වගේ බිරිඳක් ඉන්න එක ලොකු වරප්‍රසාදයක් කියලයි මට හිතෙන්නෙ. මම ඇයව හුඟක් අගය කරනවා.
දරුවන් ගැන?
ඇත්තටම මම ඔවුන්ට හුඟක් ආදරෙයි.. ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්න ගත්තු තීරණයටත් බලපෑවෙ මම දැන් ඔවුන් ළඟ ඉන්න ඕන කාලෙ කියන අදහසයි. දවස පුරා ක්‍රීඩා කරල, මොන තරම් වෙහෙසට පත්වෙලා ගෙදර ගියත් ඔවුන් දැකපු හැටියෙ ඒ හැම දෙයක්ම අමතක වෙලා හිතට ලොකු සහනයක් දැනෙනව.
බැට්, පෑඩ් උස්සගෙන පයින්, එහෙම නැත්නම් බස් එකෙන් ගිය මනුස්සයා දැන් සුඛොපභෝගී වාහනවලට ලොකු ආසාවක් දක්වන බව අපි දන්නවා. ලෝකයේ තියෙන අංක එකේ වාහන පවා ඔබ දැන් පාවිච්චි කරනවා.
හුඟක් දුක් විඳලයි කැළුම් අයියෙ මම මෙතනට ආවෙ. ඉතින් තමන්ට ආස දෙයක් කරන්න නිදහසක් තියෙන්න ඕන කියල මම හිතනව. අනික සල්ලිත් තියෙනව නං, තමන් ආස දේවල් කළාට වැරැද්දක් තියෙනව කියල මම හිතන්නෙ නැහැ. සමහරු අපි මෙහෙම ජීවත් වෙනවට ආස නැති බව මම දන්නව. සමහරුන්ට මේව බලන් ඉන්න බෑ. ඒත් මම හිතන්නෙ එහෙම හිතන්න අවශ්‍ය නෑ කියලයි. මේ සල්ලි අපි නිකං ඉඳල හම්බ කරපුව නෙවෙයි. හුඟක් දුක් විඳල මේ ගමන ආවෙ. අනික මම කිසිකෙනෙකුගෙන් තඹ සතේක දෙයක් අරගෙන නෑ. මම මහන්සි වෙලා හම්බ කරපු සල්ලිවලින් මම කැමති දෙයක් කළාට කවුරුවත් ඒකට අකැමැති වෙන්න වුවමනාවක් නැහැ. කොච්චර හම්බ කළත් වැඩක් නැහැ අපි ඒවයින් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව මැරිල ගියොත්. ඉතින් මං හිතන්නෙ ඉන්න ටිකේ සන්තෝසෙන් ජීවත් වෙන එක තමයි හොඳම දේ.
මේ වෙනකොට ගිහිල්ල නැති රටවල් මොනවද?
ක්‍රිකට් ගහන රටවල් ඇරුණම අනික් රටවල්වලට ගිහින් තියෙන්නෙ අඩුවෙන්. ඒත් දැන් ව්‍යාපාර කටයුතුත් එක්ක තව රටවල් වලට යන්න අදහසක් තියෙනව.
ව්‍යාපාර කටුයුතු වල අලුත් තත්ත්වය කොහොමද?
ටික කලකට කලින් මම ෆැෂන් ස්ටෝර් එකක් පවත්වගෙන ගියා. නමුත් ඒකට ප්‍රමාණවත් තරම් කාලයක් යොදවන්න මට පුලුවන් වුණේ නැහැ කාර්ය බහුලකම නිසා. ඒ නිසා ඒක ඒ තරම් සාර්ථක වුනේ නැහැ. නමුත් දැන් මායි මංජුලායි හිතාගෙන ඉන්නව අපි දෙන්න විතරක් සම්බන්ධ වෙලා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. දැන් අලුත් නමක් එහෙමත් තෝරාගනයි තියෙන්නෙ. ළඟදීම ඒ ව්‍යාපාරය දියත් කරන්න බලාපොරොත්තු වෙනව.
ඔබ ඇඳුම් පැළඳුම්වලට හුඟක් කැමති කෙනෙක්……එහෙම නේද?
ඔව් මම ඇඳුම්වලට, විලාසිතාවලට හුඟක් කැමතියි. මම විතරක් නෙවෙයි, මංජුලාත් ඒ වගේ තමයි.
චිත්‍රපටයක් කරන්නත් සුදානමක් තිබුණ නේද?
(සිනාසී) ඔව් එහෙම අදහසකුත් තිබුණ තමයි. කතාවක් එහෙමත් ලියාගෙන හිටිය. නමුත් කාර්යබහුලකම නිසා දැන්ම කෙරෙයිද කියන එක සැකයි. නමුත් කවද හරි එහෙම දෙයක් කරල කලාවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනව.
විශ්‍රාම ගියාට පස්සෙ තවදුරටත් පුහුණුකරුවකු හැටියට හෝ වෙනත් අංශයකින් ක්‍රිකට්වලට සේවයක් කරන්න අදහසක් නැද්ද?
පූර්ණ කාලීනව ක්‍රිකට් වෙනුවෙන් යෙදෙන්න මගේ අදහසක් නැහැ. නමුත් යමක් අර්ධ කාලීනව හරි කරනව නම් මම මුදල් බලාපොරොත්තුවෙන් නෙවෙයි, නොමිළේ ඒ දේ කරන්න මම කැමතියි. මගෙන් යමක් බලාපොරොත්තු වෙනව නම්, ඒක මට කරන්න පුලුවන් දෙයක් නම් මුදල් නොගෙන ඒ දේ කරන්න මම ඉදිරිපත් වෙයි. මම මේ තැනට ආවෙ ක්‍රිකට් නිසායි. ඉතින් ඒ ක්‍රීඩාව වෙනුවෙන් මට ඒ වගේ ප්‍රති උපකාරයක් කරන්න පුලුවන් වෙයි. විශේෂයෙන් ලාබාල ක්‍රීඩකයින් වෙනුවෙන් මට කරන්න පුලුවන් දෙයක් තියෙනව නම් ඒ දේ කරන්න මම කැමතියි.
පුංචි තැනකින් පටන් අරන් ඔබ අද සමාජයේ දැවැන්ත චරිතයක් බවට පත් වෙලා. මේ ආපු ගමන දිහා හැරිල බලනකොට ඔබ හම්බ කරගත්තු මිනිස්සු කව්ද? ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි අය?
හුඟක් මිනිස්සු හම්බ කළා කියල කියන්න පුලුවන්. නමුත් අවංකවම, සැපේදි විතරක් නොවෙයි දුකේදිත් අවංකවම ළඟ ඉන්න අය සුලු පිරිසයි ඉන්නෙ. නමුත් සමහර විට කවදාවත් මම ඇහැට දැකල නැති, මට මුහුණට මුහුණ මුණ ගැහිල නැති ආදරනීය ප්රේක්ෂකයො හුඟක් ඉන්න පුලුවන් මට හුඟක් අවංකව ආදරය කරන. ඒ අයට මම හැමදාමත් ගරු කරනව.
ඔබ ඊර්ෂ්‍යාවෙන් හුඟක් බැට කාපු කෙනෙක් කියල මම හිතනව? සමහර විට ළඟම හිටපු අයගෙන් පවා ඔබට යම් යම් ප්‍රශ්න ඇති වුණා.
ඔව්. ඔබ කියපු දේ ඇත්ත. මට සමහරු ඊර්ෂ්‍යා කළා කියල මටත් හිතෙනව. සමහරු වුවමනාවෙන්ම ප්‍රශ්න ඇති කළා. මට සමහර අවස්ථාවල උසාවි යන්න සිද්ධ වෙන විදියේ ප්‍රශ්න පවා ඇති කළා. මොනව වුණත් මම මේ කාටවත් වෛර කරන්නෙත් නැහැ, ඊර්ෂ්‍යා කරන්නෙත් නැහැ. මම කලිනුත් කිව්ව වගේ මම හුඟක් දුරට බෞද්ධ පරිසරයක, බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබමින් ජීවත් වෙන කෙනෙක්. මම මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇති වෙන හැම අවස්ථාවකම උන්වහන්සේලාගේ උපදෙස් ලබා ගන්නවා. ඒ නිසා මම කිසි කෙනෙක් එක්ක උරණ වෙන්නෙ නැහැ. හැම දෙයක් දිහාම නිහඬව, උපේක්ෂා සහගතව බලන්න උත්සාහ කරනව.
මගේ ඒ නිහඬතාවය නිසා මම හුඟක් වෙලාවට ජයග්‍රහණය කරල තියෙනව. මට ඊර්ෂ්‍යා කරපු අය පස්සෙ පසුතැවිලි වෙලා තියෙනව. සමහරු හුඟක් දුක් විඳලත් තියෙනව. ඉතින් මට ඔවුන් ගැන තියෙන්නෙ කණගාටුවක් විතරයි. මම ඒ කිසිකෙනකුගෙන් පලි ගන්නවත්, ඔවුන්ට වෛර කරන්නවත් පියවර අරන් නැහැ. සමහර විට මට හොඳටම වෛර කරන කෙනෙක් වුණත් මුහුණට හම්බ වුණාම මම බොහොම සුහදව ‘හලෝ’ කියල කතා කරනව. ඔවුන්ට ඒක දරාගන්න බැරුව ඇති. සමහර විට රෑට නින්දට ගියාම වුණත් කල්පනා කරනව ඇති ‘මම මෙච්චර මේ මිනිහට නපුරුකම් කරද්දිත්, මේකා මට මේ විදියට කතා කළා නේද’ කියල. ඇත්තටම මට ඒකම ඇති.
මමත්, මගේ බිරිඳත් හුඟක් සතුටින් ජීවත් වෙන්නෙ. අපි කාටවත් ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරල නැහැ. මමයි, මංජුලායි අපේ දරුවන් සමග, අපේ දෙමව්පියන් සමග සතුටින්, සමාදානයෙන් ජීවත් වෙනවා. ඉතින් මං හිතන්නෙ ඒක තමයි ජීවිතේ කියන්නෙ.
ඔබ නිතරම මාධ්‍ය සමගත් බොහොම සුහදව, මිත්රශීලීව කටයුතු කරපු කෙනෙක්?
ඔව්. මම මාධ්‍යයට හුඟක් ගරු කරන කෙනෙක්. ඔවුන් තමයි නිතරම අපිට ශක්තියක් වෙමින් අපේ පිටිපස්සෙන් ඉන්නෙ. අපි හොඳ දෙයක් කළාම අපිට අගැයීමක් අරන් දෙනව. වැරැද්දක් කළාම ඒවා පෙන්නල දීල අපිට ඒ ගැන අවබෝධයක් ලබා දෙනව. ඔවුනුත් ක්‍රිකට් වෙනුවෙන් ලොකු සේවයක් කරන පිරිසක්.
ඔබ ටෙස්ට් ක්‍රිකට්වලින් සමුගත්තෙ වැඩිපුර මුදල් ලැබෙන ප්‍රාන්ත ක්‍රිකට්වලට යොමු වෙන්න කියලත් සමහරු කියනව අපිට ඇහිල තියෙනව?
ඒක කිසිම පදනමක් නැති කතාවක්. වරක් අයි.පී.එල්. තරගාවලියක් පවා අත ඇරල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එංගලන්ත සංචාරයකට මම සහභාගි වුණු විත්තිය ඔය වගේ කතා පතුරුවන අයට අමතක වෙලා ඇති. එහිදී මට අහිමි වුණු මුදල රුපියල් ලක්ෂ 200 කට වැඩියි. මම ඔය තරම්ම මුදල්වලට කෑදර කෙනෙක් නම් ඒ වගේ දෙයක් මගෙන් සිද්ධ වෙන එකක් නැහැ. අනික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීම නිසා මගේ කොන්ත්‍රාත් මුදලින් හරි අඩක්, ඒ කියන්නෙ සියයට පනහක් මට අහිමි වෙන බවත් සමහරු දන්නෙ නැතුව ඇති. වෙන රටක ගිහින් ප්‍රාන්ත ක්‍රිකට් සෙල්ලම් කළා කියල කවදාවත් මට ඒ තරම් මුදලක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මුදල් වැඩියෙන් හම්බ කරන්න ඕන නිසා මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා කියන එක, මම අර කියපු කාරණා කිසි දෙයක් ගැන දන්නෙ නැති අය, කිසිම පදනමක් නැතිව ගොතපු කතාවක් කියන එකත් මේ වෙලාවෙ කියන්න ඕනෙ.
lakbima.lk